දතක් ඇසුරින් අන්ධ වූ ඇසට පෙනීම ලබා දුන් විප්ලවීය සැත්කම

දතක් ඇසුරින් අන්ධ වූ ඇසට පෙනීම ලබා දුන් විප්ලවීය සැත්කම

හතලිස් තුන් හැවිරිදි ඉයන් ටිබෙට්ස් ෆෝක් ලිෆ්ට් රථයක රියෙදුරෙකු වූ අතර එංගලන්තයේ ෂ්‍රොප්ෂයර් (Shropshire) ප්‍රාන්තයේ ටෙල්ෆඩ් නගරයේ තම බිරිඳ හා නිවුන් දරුවන් දෙදෙනා සමඟ ජීවත් වන්නේය.

එහෙත් ඔහුට තම බිරිඳ වූ ඇලෙක්ස් හෝ සිව්වැනි වියේ පසුවන නිවුන් දරුවන් දෙස පැහැදිලි ලෙස බැලිය නොහැකි තත්ත්වයක පසුවිය. ඒ රැකියා කරන අතරතුරදී 1999 දී ඇති වූ අනතුරක් නිසා එක් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ අතර අනෙක් ඇසේ පෙනීම ඉතාම දුර්වල තත්ත්වයක පැවතීම නිසාය.

ඔහු එදා සිට තම පවුල දුටුවේ අපැහැදිලි දසුනක් ලෙසටය. “මම ඔවුන් දුටුවේ ඡායාවන් ලෙසටයි. පැහැදිලිව ඔවුන්ගේ මුහුණු පෙනුණේ නෑ” යැයි ඔහු පැවසිය.

ඒ නිසාම ඔහු මෙම විප්ලවීය ශල්‍යකර්මයට මුහුණ දීමට කැමැත්ත පළ කළේය.

Osteo - odonto - keratoprosthesis (OOKP) යනුවෙන් හඳුන්වනු ලබන මෙම වෛද්‍ය හාස්කම අනුව දතක් තුළින් ලොව බැලිම යනුවෙන් සඳහන් කළහොත් ඔබ ඇත්ත වශයෙන්ම පුදුමයට පත්වනු නොඅනුමානය.

ඒ අනුව ටිබෙට්ස් ගේ මුවින් දතක් ගලවා එහි සියුම් උපකරණයකින් සිදුරක් විද තුළට ප්ලාස්ටික් කාචයක් ඇතුළු කරනවා. ඉන් පසුව ඔහුගේම කම්මුල ඇතුළතින් සමේ කොටසක් ගෙන කාචය සහිත දත ඇස තුළ රඳවූ පසු එයට බද්ධ කරනු ලබයි.

එසේ මාස කිහිපයක් ගත වූ පසු ඇසේ පවතින පටක දත හොඳින් ග්‍රහණය කළ පසු එයට රුධිර සංසරණය ලැබෙනු ඇත. ඉන්පසුව ඇසේ කෝනියාව සිදුරු කොට කාචය සහිත දත ඇස් කුහරයට බද්ධ කරනු ලැබිය. දත සහ සම ඔහුගේම සිරුරට අයත් නිසා එය සිරුර මඟින් ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බව ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටෝපර් ලියූ පැවසීය.

දැනට ඉයන්ට සියයට 40 ක පමණ පෙනීම පවතින අතර ඔහුගේ දත සහිත නව ඇස රෝස පැහැයක් ගෙන ඇති අතර කළු පැහැති ඉංගිරියාවකින් යුක්ත වේ.

එතෙක් ඡායාවක් ලෙස දුටු ඔහුගේ බිරිඳ ඇලෙක්ස් හා නිවුන් දරුවන් වන කැලම් සහ රයන් ඉතාම හොඳින් දැකීමේ හැකියාව ටිබෙට්ස්ට හිමි වී තිබීම ඇත්ත වශයෙන්ම වෛද්‍ය හාස්කමක් ලෙස සැලකේ.

එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයෙය් බ්‍රයිටන් හි සසෙක්ස් අක්ෂි රෝහලේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ක්‍රිස්ටෝපර් ලියූ විසින් පමණක් දැනට එම වෛද්‍ය හාස්කම සිදු කරනු ලබන අතර එම සියුම් ශල්‍යකර්මය පිළිබඳ හැදැරීම සඳහා ඉතාලියේ ගියෙන්කාලෝ ෆැල්සිනෙල් නමැති අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා සමඟ කටයුතු කිරීමට සිදුවිය.

ඉතාලි ජාතික බෙනෙඩෙට්ටෝ ස්ට්‍රැම්පෙල්ලි නමැති අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් මෙම විල්පවීය ශල්‍යකර්මය අරඹනු ලැබූ අතර ගියෙන්කාලෝ ෆැල්සිනෙල්ලි නමැති ඉතාලි අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා විසින් එය වැඩි දියුණු කරන ලදී.

ක්‍රිස්ටෝපර් ලියූ ඉතාලියට ගොස් ෆැල්සිනෙල්ලි වෛද්‍යවරයා ගේ ගුරුහරුකම් අනුව එය ප්‍රගුණ කළ අතර ඒ සඳහා ඔහුට භාෂාව ද හැදෑරීමට සිදුවිය.

මෙම විප්ලවීය අක්ෂි ශල්‍යකර්මය මතින් පෙනීම ලබාගත හැකි අක්ෂි ආබාධ සීමාසහිත බව පවසන ලියු වෛද්‍යවරයා මෙහි පෙනීම ද සදාකාලිකව පවතිම සිදුවිය නොහැකි බවද පවසයි.

“කෙසේ වෙතත් මට ජිවිත කාලයම මේ පෙනීම ඕනේ නෑ. මෙතෙක් මගේ බිරිඳයි දරුවනුයි නොදැක සිටි මට මෙය ඉතාම හොඳ අවස්ථාවක් ඒ හොඳටම ඇති” යැයි ටිබෙට්ස් පවසයි.