පිරිත් පැන් කියා සිහි විසඥවීමට බෙහෙත් පොවා ජංගම දුරකථනය සොරාගෙන

පිරිත් පැන් කියා සිහි විසඥවීමට බෙහෙත් පොවා ජංගම දුරකථනය සොරාගෙන

කොළඹ ජාතික රෝහලේ

තොරතුරු ක්නේද්‍රයේ කාර්යභාර

හෙදි නිලධාරිණී

ජී. ශි‍්‍රයන්ගනී

ළදරු සහ වයස්ගත සමහර රෝගීන් පිළිබඳ මතක සටහන් දීර්ඝ කාලයක් අපේ සිත්වල නොමැකී පවතිනවා. ඒ හුඟක් ඒවා සිත් කකියවන සිද්ධීන් වීම විශේෂත්වයක්.

වාට්ටුවෙන් දිවා රෑ ඇසෙන එවන් දුක් වේදනා අඳෙීනා නිසා අපේ නෙත් අගටත් කඳුළක් නැගෙනා අවස්ථාත් නැතිවාම නොවෙයි. ඒ කොහොම වුණත් ඒ මානුෂීය හැඟීම්වලින් එපිටට ගොසින් නිතරම බුද්ධියට ඉඩ දිය යුතු වග හෙදියකට අමුතුවෙන් ඒත්තු ගැන්විය යුත්තක් නොවෙයි. කොහොම නමුත් හෙදියත් මේ සමාජයේම තවත් එක් සාමාජිකාවක් නිසාවෙන් වෘත්තීය ජීවිතයේදී රෝගීන් ඇසුරේ ලබන සමහර අත්දැකීම් ඇයත් තිගස්සවන සුළු ඒවා විය හැක. මා කියන්නට උත්සාහ දැරුවේ රෝහලේ ලෙඩ ඇඳේ අද සැතපෙන රෝගියෙක් ඇතැම් විට හෙට උදෑසන වනවිට අපි හැමෝටම ජීවිතෙන් සමුදෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැතිනම් ඇත්තටම රෝහල තමන්ටයි කියලා හවුහරණක් අහිමි හුඟ දෙනෙකුගේ හිසට සෙවණ සලසන ස්ථානය වන අවස්ථාත් කොතෙකුත් අප දැක තිබෙනවා. ඒ හැරෙන්නට අනුන්ගේ රැවටිලි මුසාබස්වලට ගොදුරක් වී අන්තිමේදී ලෙඩ ඇඳ උරුම වුණු අහිංසකයන් සහ අහිංසකාවියන් පිළිබඳ කඳුළු මතක හෙදියන් විදියට අපට අපේම මතක දහරා අතරින් තෝරා බේරා වෙන් කරගන්නත් පුළුවන්. ඒ ඉතින් විවේක පාඩුවේ අපටත් අපේම ඉපැරණි මතක අලුත් කර ගනිමින් කල්පනාවක නියැලෙන්නට තරම් ඉඩක් ලැබුණු විටෙකම පමණයි.

කරදරවලට අකරතැබ්බවලට ලක් වුණු කාන්තාවකගේ මතකයක් තමයි මේ. ඇය ආගමට දහමට නැඹුරු වැඩිමහලු දරුවන් ද සිටින මැදිවියේ පසුවන්නියක්. පුන් පොහෝදාට නොවරදවාම සිල් රකින ඇය බෞද්ධ උපාසිකාවක්. මේ කියන්නට යන දිනයේත් උදෑසනින්ම ඇය සිල් සමාදන්ව තිබුණේ කැලණියේ විහාරස්ථානයක.

සවස් යාමයේ සිල් පවාරණයෙන් පස්සේ රාත්‍රියේදී මේ උපාසිකාව නිවෙස බලා යාමටයි මහමඟට බැස්සේ. ඒත් ඒ යන මඟ අතරතුර තැනක තිබුණාය කියන මල් වෙඩි සන්දර්ශනයක් නරඹන්නට ඇයට ඇවිටිලි කළේ ඇයගේම මිතුරියක්. ඒ කීමට පිටුපාන්නට බැරිකමට වගෙයි ඇයත් ඒ කණ්ඩායමට එකතු වෙන්නේ.

කොහොම නමුත් මඟ දිගට තිබුණු දන්සල් තොරණ, පහන් කූඩු සන්දර්ශන මැද එක් තැනකදී මේ උපාසිකාව තනි වෙනවා. ඒත් එයින් කලබල නොවූ ඇය ඉදිරියට පියවර මැන්නේ එහාට මෙහාට වුණු මිතුරියන් ජන ගංගාව අතුරින් යළි කොයිවේලේ හෝ මතුවේය යන අපේක්ෂාව ඇතිවයි.

එහෙත් එවිට එක්වරම ඇය ඉදිරියේ මතු වූයේ ඇය දන්නා හඳුනන මුහුණක් නම් නොවෙයි. ඒ වුණත් පුදුමාකාර ළෙන්ගතුකමක් සහ හිතමිතුරුකමක් මුහුණේ තවරා ගනිමින්මයි ඒ තැනැත්තා ඇයව අමතන්නේ.

“මෙන්න අම්මේ අම්මාත් දෝතට ගන්න. දෝතට අරන් බොන්න. මූණ හෝදන්න එපා. ඒක පිරිත් පැනට කරන අගෞරවයක් කියලා හුඟක් අය දන්නේ නැහැ....”

සිතේ තිබුණු ශ්‍රද්ධාවට මේ අහිංසක මාතාව ඔහු ඉදිරියේ අත පානවා. එවිට සුදු රෙදි කඩකින් වසාගත් මැටි කළයෙන් පෙරා ඔහු ඇයගේ දෝතට වත් කරන්නේ සිහිල් දියක්. දෙවරක් නොසිතාම ශ්‍රද්ධාවෙන් ඇය ඒ දිය දෝත බිවූ වග නම් ඇයට හොඳින්ම මතකයි.

ඒ මිසෙක ඉක්බිතිව සිදුවුණු කිසිවක මතකයක් ඇයට නම් නොවෙයි. කඩවත ප්‍රදේශයේ අතුරු පාරක වැටී සිටියදියි වන්දනා නඩයක පිරිසක් ඇයව රෝහලට ගෙනෙන්නේ.

පිරිත් පැන්ය කියමින් ඇයට අමුත්තා පෙවූ දියේ දිය වූ යම් විෂ රසායනිකයක් බලපෑමෙන් ඇයගේ සිහි විසඥවන්නට ඇතැයි යන කරුණයි අනුමාන කෙරුණේ. ඒ හැරෙන්නට ඇය දුෂණය වීමකට ලක් වූවා දැයි සොයා බලන්නටත් යෙදුණා. ඒ වනවිටත් ඇයගේ අත් බෑගය අතුරුදන්වයි තිබුණේ.

මුදල් පසුම්බිය ජංගම දුරකතනය ආදියට අමතරව සිල් සමාදන්වන නිසා ගැලවූ ඇයගේ මංගල මුදුව හා කරාබු ජෝඩුවත් අත් බෑගයේම තිබූ බවයි දිනක් නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් පසුව සුවය ලබා රෝහලින් පිටවන විටත් ඇය අපට හඬමින් කීවේ....,