ඔබත් ඔබේ දෑස ගැන සැලකිලිමත් ද?

ඔබත් ඔබේ දෑස ගැන සැලකිලිමත් ද?

මිහිර වික්‍රමාරච්චි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිනිසාට වර්තමානයේදී නවීන තාක්ෂණයෙන් වෙන්ව කටයුතු කිරීම ඉතා අපහසු වී තිබේ. තාක්ෂණය හා මිනිසා අතර සබැඳියාව ඒ තරමින් එකිනෙකා සමඟ බද්ධව පැවතීම ඊට හේතුවයි. කෙසේ වෙතත් තාක්ෂණයත් සමඟ ඒකාත්මිකව යන ගමනට ඉතා හොඳ සබඳතාවක් ඇති කිරීමට වැදගත් වන මිනිසාගේ ඉන්ද්‍රියය පද්ධති නිරෝගිව පවත්වා ගැනීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. ඒ සඳහා පුරෝගාමී කාර්යභාර්යයක් ඉටු කරන මිනිස් ශරීරයේ ඉන්ද්‍රියයන් අතර මිනිස් ඇසට වැඩි වැදගත්කමක් හිමි වේ.

ඔක්තෝබර් මාසයේ 12 වැනිදාට යෙදෙන ලෝක අක්ෂි දිනය නිමිති කරගෙන මෙවර ලිපිය මඟින් සාකච්ඡා වන්නේ ඔබගේ අක්ෂි සෞඛ්‍යය පිළිබඳවයි.

ස්වභාව ධර්මයේ සුවිශේෂි නිර්මාණයක් වන මිනිස් ඇස මිනිසාගේ ජිවිතය හා සමාන වටිනාකමකින් යුතු බව පැවසෙන්නේ ඉන් ඉටුවන මෙහෙය සීමා කොට දැක්විය නොහැකි කාර්යභාර්ය නිසාවෙන්ය.

උපතේ සිට මිය යන මොහොත දක්වාම ඉන් ඉටුවන මෙහෙය පුදුමාකාරයි. ඒ නිසාම සෑම විටෙකම අක්ෂි සෞඛ්‍ය පිළිබඳව ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතු අතර එම අවධානය කෙසේ විය යුතු දැයි අද අපි විමසා බලමු.

සාමාන්‍යයෙන් දරුවකු පාසල් යාම ආරම්භ කරන වකවානුවේදී එනම් පාසලට යැවීමට පෙර අනිවාර්යයෙන්ම අක්ෂි පරීක්ෂාවකට ලක් කළ යුතුයි.

මෙම පරීක්ෂණය වෛද්‍යවරයෙක් විසින් සිදු කළ යුතු වීම ද ඉතා විශේෂිතයි. මීට අමතරව ඔබට එසේත් නැතිනම් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට ඇතිවන විවිධාකාර අක්ෂි ගත රෝග තත්ත්ව පිළිබඳව ද හොඳ අවධානයකින් කටයුතු කළ යුතු අතර ඇස් රතු වීම, කසන සුලු ස්වභාවය ආදී ඇස ආශි‍්‍රතව බලපාන විවිධාකාර ගැටලුකාරී තත්ත්ව පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි.

එවන් අවස්ථාවක අක්ෂි වෛද්‍යවරයෙක් වෙත යොමු වී අදාළ රෝග හේතුව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර නොපමාව ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඇස ආශි‍්‍රත අසාමාන්‍ය පිහිටීම්, විකෘතිතා පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.

ඔබට එසේත් නැතිනම් පවුලේ අයෙකුට ඇසේ වපර තත්ත්වයක් තිබේ නම් එවැනි තත්ත්වයක් වෛද්‍ය උපදෙස් පැතිය යුතු අවස්ථාවක් බවද මතක තබා ගත යුතුයි. ඇතැම් අය මෙවැනි තත්ත්වයන් “පිං වපරය” වැනි හණ මිටි අදහස් ඇතිව විවිධ අර්ථකථනයන් ලබාදී අදාළ ගැටලුවව අතිශය සාමාන්‍ය තත්ත්වයක් බවට කරුණු පැහැදිලි කළත් එහි යම් තර්ජනාත්මක සෞඛ්‍ය පණිවිඩයක් අන්තර්ගත වන බව පිළිගත යුතුයි.

මන්ද යත් එවැනි රෝග ලක්ෂණයක් ඇතැම්විට නොසලකා හැරියහොත් එය ඔබගේ බාහිර ස්වරූපයට පමණක් නොව ඇතැම්විට රෝගී තත්ත්වයක ලක්ෂණයක් වූවොත් සදාකලික අන්ධ භාවයට පවා හේතුවක් විය හැකියි.

විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් පිළිබඳ සලකා බැලීමේදී ඔවුන්ට යම් අක්ෂි දුර්වලතාවක් ඇති බවට ඉඟි කෙරෙන විවිධ බාහිර ලක්ෂණයන් දැකගත හැකියි. එම ලක්ෂණ අතර පාඩම් කිරීමට අදිමදි කිරීම, විභාගවලදී අඩු ලකුණු ගැනීම, පොත් කියවීමට ඇති අකමැත්ත මෙන්ම තවත් නොයෙකුත් තත්ත්වයන් මේ යටතේදී දැකගත හැකියි. ඇතැම් මාපියන් මෙවැනි ලක්ෂණ මූලික කරගෙන දරුවන්ට දඬුවම් පැමිණවීම, අවවාද කිරිම වැනි දේ කළත් පෙර පැහැදිලි කළ ලෙස මෙම තත්ත්වයට අක්ෂි දුර්වලතාවයක් වැනි සාධාරණ හේතුවක් තිබේ දැයි මූලිකව විමසා බැලිය යුතු වේ.

මීට අමතරව ඇතැම් රෝග තත්ත්ව මූලික කරගෙන ද පෙනීම ආශි‍්‍රත විවිධ ගැටලුකාරී තත්ත්ව ඇති විය හැකියි. විශේෂයෙන් ඔබට හෝ ඔබගේ පවුලේ අයකුට අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගි තත්ත්ව තිබේ නම් අනිවාර්යයෙන්ම අවම වශයෙන් වසරකට වතාවක් අක්ෂි වෛද්‍යවරයෙක් හමු වී ඇස් පරීක්ෂා කර ගැනීම ද ඉතා වැදගත්.

තවද වයස අවුරුදු 40 ට වැඩි වීම ද ඔබට අක්ෂි පරීක්ෂාවකට සුදුසු කාලය එළඹ ඇති බවට කෙරෙන සංඥාවකි. විශේෂයෙන් වයස අවුරුදු 40 ඉක්ම වූ අයෙක් නම් ඔබගේ පෙනීම් තත්ත්වය, ඔබගේ දෘෂ්ටි පරාසය පිළිබඳ දැනුවත් වී සිටීම ඉතා වැදගත්. ඒ වගේම වයස අවුරුදු 40 ඉක්මවා යාම ග්ලූකෝමා තත්ත්වය සඳහා ප්‍රධානතම හේතුවකි. ඇතැම් විට මෙම තත්ත්වය ආරම්භයේදී මුල්කාලීනව හඳුනා නොගත හොත් සදාකාලික අන්ධභාවයට පවා ඔබට මුහුණ දීමට සිදුවිය හැකියි.

වයසත් සමඟ ඇතිවන අක්ෂි ආබාධ පිළිබඳ විමසා බැලීමේදී “හතලිස් ඇඳිරිය” පිළිබඳව ද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ හැකියි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පසුවීමත් සමඟ ඇතිවන මෙම අක්ෂි ආබාධයේදී කෙටි දුර දැකීමේ අපහසුතාවත් සමඟම හිස කැක්කුම් තත්ත්වයක් ඇති වේ. කෙසේ වෙතත් මෙවැනි රෝගී තත්ත්ව පිළිබඳ ඉතා හොඳ අවධානයකින් කටයුතු කිරීම ඉතා වැදගත් වනවා මෙන්ම ඒවා හඳුනාගත් වහාම අවශ්‍ය පිළියම් යෙදීමෙන් ඔබගේ පණ හා සමාන දෑස ජීවිතයේ බොහෝ කලක් ආරක්ෂාකාරීව පවත්වා ගත හැකියි.