විරහව විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නොවේ

විරහව විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නොවේ

මානසික රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

සුසිල් කුලතිලක

ආදරය එක් රසයකි. විරහව තවත් රසයකි. නමුත් එකිනෙකට වෙනස් නමුත් රසයෙන් නොවෙනස් මේ වචනවල වෙනස වටහා ගන්නට තරම් වර්තමාන පෙම්වතුන්ට නොහැකිද? එක් අතෙකින් ඔවුන් ආදරය නිසා හැඟීම් බරය. තවත් අතෙකින් විරහව අත් විඳින තැනදී පෙරටත් වඩා හැඟීම් බරය. මේ කුමන ආකාරයකට අත් වින්දත් ආදරයත් ඒ නිසා ඇතිවන විරහවත් අප විසින් විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නොවන බව මේ අත්දැකීම හරහා ඔබට මනාව අවබෝධ වේවි.

වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 18කි. මෙවර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය හැදෑරීමට බලාපොරොත්තු වන මා දැනට වසරකට පමණ පෙර සිට පිරිමි ළමයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යමි. නමුත් මම ඔහුට ආදරේ තරම් ඔහු මට ආදරේ නොමැති බවක් හැඟෙයි. ඔහු වෙනත් ගැහැනු ළමයෙක් සමඟ සම්බන්ධතාවක් පවත්වනාවා මගේ අතටම හසුවිය. මට ඔහු අවංකව ආදරය නොකිරීමට මට මහත් වදයක්. ඒ නිසා කීපවරක් අසනීප වී මා හට රෝහල් ගත වීමට සිදුවිය. ඒ නිසා තෙවරක් මා සියදිවි නසා ගැනීමට ද තැත් කළා. ඒ පමණක් නොවේ ඔහු අධික ලෙස මත්පැනට ලොල් වූ අයෙක්. නමුත් මා නිසා ඔහු එම පුරුදුවලින් නිදහස් වී ඇත. දැන් ඔහු මගෙන් ඈත්වන බවත් වෙනත් ගැහැනු ළමයින්ට සිත යොමු කරන බවත් මට යම් සැකයක් තිබේ. මම ඉතා අපහසුවෙන් ඔහුව උපකාර පන්ති වලට සහභාගී කරවා ගත් අතර ඔහු දැන් අධ්‍යාපනය කටයුතුවල හොඳින් නිරත වේ. එසේ වුවත් වෛද්‍යතුමනි, මා මේ වනවිට අධ්‍යාපනය හා අනෙක් හැම අතින්ම පහත් මට්ටමකට වැටී ඇත. මට දැන් මේ හැමදේම අත්හැර දැමීමට සිතෙයි. එසේ වුවත් මගේ මූලික වුවමනාව අධ්‍යාපනයෙන් ඉහළටමයාමටයි. දැන් මට නිතර හිසේ හා පපුවේ කැක්කුමක් ඇති වේ. විටෙක එය දරාගත නොහැක. “ආදරය යනු කුමක්දැයි වටහා ගන්න”

“ආදරය” යන්න බොහෝ දෙනා සරලව හැඳින්වුවත් මනෝ වෛද්‍ය විද්‍යාවට අනුව මිනිස් සිතේ ඇතිවන තරමක සංකීර්ණ හැඟීමක් ලෙසින් හැඳින්විය හැකියි. ඉහත සිදුවීමට අදාළව මෙම තරුණිය ඇයගේ පෙම්වතාට දක්වා ඇත්තේ පිවිතුරු ආදරයකි. ඒ නිසාවෙන් පෙම්වතාගේ බීමට ඇබ්බැහි වීම ආදී නරක පුරුදුවලින් මඟහරවා ගැනීමටත් අධ්‍යාපනයට හැකි තරම් හිත නැඹුරු කිරීමත් වැනි යහපත් පරාර්ථකාමී කැපකිරීමක් සිදු කර ඇත. නමුත් සාමාන්‍ය සමාජය පිළිබඳ විමසා බලන විට අපි යම් අයෙකුට පමණටත් වඩා ආදරය කළත් අපට නැවතත් එම ආදරය පෙරළා බලාපොරොත්තු විය නොහැක. ඇයට මුහුණ දීමට සිදු වී ඇත්තේ ඉහත පැහැදිලි කළ තත්ත්වයකටය.

ඔබ පැටලී ඇත්තේ මතභේදයක

ඔබ තවදුරටත් ඔහුගේ ආදරය අයදිනවාද මතු දිනයක ඔහු ලැබෙන තෙක් බලා සිටිනවාද? ඔහුව හා ඔබේ කැපවීමෙන් යුතු ආදරය මෙතැනින් නවතා දමා එය සොඳුරු අත්දැකීමක් කරගන්නවා ද යන මතභේදයේ ඔබ පැටලී ඇත. ඔහු වෙනත් අයෙකුට බැඳී ඇත්නම් ඔබගේ කැපකිරීම් ගැන සිතමින් හැඟීම් බර වී ඔහු පසුපස හබා යාම බුද්ධිමත් බවින් යුතු ඔබ වැනි අයකුට සුදුසු නොවේ. නමුත් හැඟීමට වහල් වීම ආදරයේ ස්වභාවයයි. එසේ වුවත් ඔබට ගැලපෙන පුද්ගලයා මොහු දැයි තීරණය කිරීමට කාලයට තරමක් ඉඩ ලබා දෙන්න.

කාලය හැමදේම විසඳාවි

මේ මොහොතේ ඔහු හැර වෙනත් අයෙක් පිළිබඳ ඔබට නොසිතෙනවා ඇති. නමුත් එසේ සිතා ආදරය කර විවාහ වූ ඇතැම්දෙනා පසුව යම් යම් පසුතැවීම්වලට ලක් වේ. සැබැවින්ම තමා කෙතරම් ආදරය කරන පුද්ගලයකු වුවත් තේරුම් ගැනීමට ඔබට උපකාරී වන එකම උපකාරය වන්නේ කාලයයි. ඒ නිසා පිටතින් සිට ඔබගේ තත්ත්වය දෙස බලන අයෙකුට එහි නියම තත්ත්වය අවබෝධ කරගත හැකි වේ.

ජීවිතයේ ඔබගේ සහකරුවා තෝරා ගන්නා විට හැඟීමට වගේම බුද්ධියටත් තැනක් දෙන්න

බුද්ධිය මෝරන්නේ වයස සහ අත්දැකීම් සමඟ පරිණත වීමත් සමඟය. එපමණක් නොවේ විශේෂයෙන් නව යොවුන් වියේ පසුවෙමින් සිටින නිසා තිරණ ගැනීම සඳහා ඉක්මන් වීම එතරම් නුවණට හුරු නොවේ. මෙසේ කාලයට ඉඩදීම මඟින් විවිධ පුද්ගලයන් හඳුනා ගැනීමටත්, ඔබට ඇත්තටම ආදරය කරන්නේ කවුදැයි හඳුනා ගැනීමටත් අවසානයේදී ඒ හරහා ඔබත් දැඩි සේ ආදරය කරන ඔබටත් ඒ ආකාරයෙන්ම පෙරළා ආදරය කරන නියම සුදුස්සා තෝරා ගැනීමට ඔබට මඟ පාදාවී.

ඔබට දැනෙන මේ වේදනාව දරාගෙන ඔබ ඉදිරියට ගියොත් කාලය ඔබට විවිධ විකල්ප මීට දීමට සපයාවි.

ඔබේ හිත හදාගන්නේ කොහොමද?

විරහව යනු අහිමි වූ ආදරයේ සුන්දර වූ රසයකි. ඉදිරි අනාගතයේදී ඔබ ඔහු වෙනුවෙන් කළ කැපකිරීම, වරදින් මුදවා ගැනීමට කළ උත්සාහයෙන් නිතරම ඔබේ මනසට දැනෙනවා ඇති. ඒ නිසා සිතේ ඇතිවන වේදනාව දරාගෙන සිටීමෙන් නමුත් කාලය විසින් ඒ වේදනාව තුනීකොට එය ඉවත දමනු ඇත.

ඔබ මෙහිදී නොකළ යුත්තේ කුමක්ද?

ඔබගේ ආදර පිළිබඳ එන සිතුවිලි සමුදායේ දිගින් දිගටම එලබගෙන නොසිටින්න. ඔබ කෑම ගන්නා විට, නින්දට යනවිට පාඩම් කරන විට, ඔහු ගැනත් ඔහුට සම්බන්ධ ආදරය ගැනත් ඔබට සිතේ නම් වහාම ඉන් ඉවත් වීමට කටයුතු කළ යුතු වේ.