‘කසානා’ රෝගයෙන් දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකියි

‘කසානා’ රෝගයෙන් දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකියි

මාවනැල්ල ගමගේ රෝහල

ජ්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ ගමගේ

පණු හොරි නමැති රෝගය විද්‍යාත්මකව හඳුන්වන්නේ “ස්කේබීස්” නමිනි. ජනවහරේ මෙය “කසානා” නමින් ද හැඳින්වේ. සාකොප්ටිස් ස්කෙබියස් නමැති කීඩෑවකු සම තුළ කුහර සෑදීමේ හේතුවෙන් සම අධික ලෙස කසන්නටත් ඒ හේතුවෙන් තුවාල වන්නටත් පටන් ගනී. මෙසේ තනාගත් කුහර තුළ බිත්තර දමන අතර එමගින් උන් තවදුරටත් බෝ වෙයි.

මීට අමතරව කුහර තුළ කීඩෑවන් බැහැර කරන අපද්‍රව්‍යවල විෂ නිසා අධික ලෙස කසන, රතු පැහැ වී බිබිලි නගන, චර්ම රෝගයක් ඇති වේ. අධික ලෙස කසන නිසා කසානා ලෙසත්, අවසානයේදී ඒවා සැරව සහිත තුවාල බවට පත්වන නිසා “පණු හොරි” ලෙස හඳුන්වනු ලැබේ.

පණුහොරි වැඩිපුරම දක්නට ලැබෙන්නේ අත්වල, විශේෂයෙන් ඇඟිලිකරු අතෙර්ය. මීට අමතරව වළලුකර, කකුලේ ඇඟිලි අතර ලිංගේන්ද්‍රියන් අවට සහ වැලිමිට ප්‍රදේශයේ ද පණු හොරි දැකගත හැක. බෙල්ලෙන් ඉහළ පණු හොරි දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

පණු හොරි ඇති කරන කීඩෑවා රෝගියෙකුගෙන් තව කෙනෙකුගේ ශරීරයට ස්පර්ශ වීම මඟින්, ඇඳුම් පැළඳුම් මඟින් හෝ ඇඳ ඇතිරිලි මඟින් මාරු වී ඔහුට ද රෝගය ඇති කළ හැක.

මෙය භයානක රෝගයක් ද....?

ප්‍රධාන වශයෙන් මෙය ඉතාමත් කරදරකාරී රෝගයකි. තැන නොතැන නොබලා කැසීමත්, කල් පවතින හොරි ඇතිවීමත් එයට හේතුවයි. එහෙත් කුඩා දරුවන්ගේ පණු හොරි බැක්ටීරියා විෂබීජ මඟින් ආසාදනයට ලක් වුවහොත් ඒවා වකුගඩුවලට බලපා, ඇකියුට් නෙෆ්රයිට්ස් (ඒජභබඥ ව්ඥනඩපඪබඪඵ) හෙවත් තීව්‍ර වකුගඩු ආසාදනය ඇති විය හැක. එවිට කුඩා දරුවන්ගේ ශරීරය ඉදිමීම සිදු වෙයි. මෙය භයානක රෝගී තත්තවයකි.

කළ යුත්තේ කුමක්ද?

ඔබේ දරුවාගේ හෝ ඔබේ ශරීරය තදින් කසන්නේ නම් (මෙය රාත්‍රී කාලයේදී වැඩිය) චර්මයේ හටගෙන ඇති බිබිල දෙස විමසිලිමත්ව බලන්න එවිට සමෙහි හෑරූ කුඩා කුහර තුළ දියර පිරි බිබිළි සේ දිස්විය හැක.

දරුවාට ස්කේබීස් රෝගය වැළඳී ඇතැයි ඔබ සිතන්නේ නම් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා දෙන තුරු ඔහු පාසල් යැවීමට සුදුසු නැත. මන්දයත් එය ලෙහෙසියෙන් අනෙක් පාසල් දරුවන්ට ද බෝ විය හැකි බැවිනි.

අධික කැසීමේ අවශ්‍යතාවය ඇති වූවොත් එය එතරම් හොඳ දෙයක් නොවේ. අපේ අත්වල විශේෂයෙන් නිය තුළ ඇති විෂබීජ එම කුහර තුළට ඇතුළු වී ආසාදනයට ලක් වී සැරව පිරුණු පණු හොරි ඇති විය හැක. “ස්කේබීස්” යනු එක් පුද්ගලයකුට පමණක් වැලඳී නතර වන රෝගයක් නොවේ. එය මුළු පවුලටම ලෙහෙසියෙන් වැලඳිය හැකි නිසා පවුලේ අනෙක් අයට ද රෝග ලක්ෂණ තිබේ දැයි පරීක්ෂා කර බැලිය යුතුය.

වෛද්‍ය ප්‍රතිකාරය

ඔබේ වෛද්‍යවරයා සිරුරේ ගැල්වීම සඳහා ආලේපයක් (බෙන්සයිල් බෙන්සොඒට් හෙවත් බී.බී.ක්‍රීම්, සල්ෆර් ඔයින්මන්ට් සහ ගැමා බෙන්සයිල් හෙක්සා ක්ලොරයිඩ්) නියම කරාවි. මෙය රෝගය වැලඳුන අය පමණක් නොව පවුලේ සියල්ලටම ආලේප කිරීම වැදගත්ය. ආලේපන මඟින් කීඩෑවන් විනාශ කරන දමන හෙයින් එය එක් ආකාරයක කෘමි නාශකයක් ලෙසද සැලකිය හැකිය.

වෛද්‍යවරයා ලබාදෙන ආලේපන බෙල්ලෙන් පහළ සිරුර පුරාම ආලේප කිරීම වැදගත්ය. ආලේපනයෙන් පසු එය දවසක් හෝ දෙකක් ශරීරයේ ගල්වා තිබුණු පසු සිරුර සෝදා හෝ ස්නානය කොට නැවත වරක් කලින් කළ අයුරින්ම ආලේපනය කළ හැක. තුන් වරකට වඩා ආලේපනය කිරීම සුදුසු නොවන්නේ එම ආලේපනයේ විෂ නිසා චර්මයට අමතර ආබාධ ඇති විය හැකි බැවිනි. අඳින ඇඳුම් සෝදා වේලා ඉස්තිරික්ක කොට නැවත ඇඳීමට ගැනීම වඩාත් සුදුසුය. එමඟින් කීඩෑවන් විනාශ වී යයි. කීඩෑවකුට රෙදිවල තනිව ජිවත් විය හැකි උපරිම කාලය දවස් හයක් පමණි.

ප්‍රතිකාරයකට වඩා වැළැක්වීම උතුම්ය.

පෞද්ගලික පිරිසිදුකම, ඇඳුම් පැළඳුම් සෝදා පිරිසිදු කොට ඇඳීම සහ පවුලේ කෙනෙකුට රෝග ලක්ෂණ පහළ වූ විට පවුලේ සියලුදෙනාම ප්‍රතිකාරයට ලක් වීම මඟින් රෝගය වසංගතයක අයුරින් පැතිරීම වළක්වා ගත හැක.

පාසල් ගුරුවරුන් රෝගය පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතා වැදගත්ය. රෝගයෙන් පෙළෙන දරුවන් හඳුනාගත් විගස ඔහු පාසලට පැමිණීම නවත්වා මවුපියන් මඟින් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කිරීම ඔවුන්ගේ යුතුකම ද වන්නේය.