හදිස්සියක් මොකද කරන්නේ?

හදිස්සියක් මොකද කරන්නේ?

අසනීපයක්, රෝගයක් ඇති වු විට අප ගෙදරදී කරන ප්‍රථමාධාර හා අත් බෙහෙත් බොහෝවිට රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට හෝ වෛද්‍යවරයාගේ කාර්යභාරය පහසු කිරීමට හෝ හේතු වේවි. මේ එවැනි ක්‍රියාකාරකම් කිහිපයකි.

හිසරදය

හිසරදය ඇති වීමට විවිධ හේතු පවතියි. ඒ නිසා නිතර හිසරදය ඇති වේ නම් වෛද්‍යවරයකු හමු වී හිසරදයේ මුල සොයා ගන්න.

ශරීරයේ අනෙක් බොහෝ කොටස් මෙන්ම මොළය ද සමන්විත වන්නේ 2/3 ක ජල ප්‍රමාණයකිනි. බොහෝවිට හිසරදයට හේතුව මොළය විජලනයට ලක්විම විය හැකිය. මේ නිසා හිසරදය ඇති වු විගස පිරිසිදු වතුර වීදුරු 2 -3 ක් පානය කර මොළය සජලනය කරන්න. එය හිසරදය තුරන් කිරීමට සමත් විය හැකිය.

මොළයේ ධමනි රුධිර නාල සංකෝචනය කිරීමට කැෆේන් සමත් නිසා කැෆේන් සහිත කෝපි වැනි පානයක් උණුවෙන් පානය කිරිම මඟින් සමහර හිසරද තත්ත්ව තුරන් කරයි.

හිසරදයෙන් මිදීමට පැය 6 කට වරක් ඔබට ගැලපෙන මාත්‍රාවෙන් පැරසිටමෝල් ඖෂධය ගැනීම සුදුසුය.

උණ

උණ යනු, රෝගයකට වඩා රෝග ලක්ෂණයකි. උණ ලෙස අප සඳහන් කරන්නේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 - 37.7 හෝ ෆැරන්හයිට් අංශක 97 - 98.4 හෝ දක්වා වන සාමාන්‍ය ශරීර උෂ්ණත්ව පරාසයන් ඉක්මවූ ගිය පසුවය.

ඉහළ ගිය ශරීර උෂ්ණත්වය අඩු කිරීම සඳහා

ඇඟ වැසෙන තුනී ඇඳුමක් හෝ පොරෝනාවක් හෝ හැර අන් සියලු ඇඳුම් (විශේෂයෙන් ඝනකම වැඩි) ගලවා දමන්න.

සිසිල් ජලයෙන් (ශීත හෝ උණුසුම් වතුර නොව ඇල් ජලයෙන්) පෙඟවූ තුවායක් හෝ රෙදි කඩකින් හෝ ඇඟ පිස දමන්න.

නළල මත සිසිල් ජලයෙන් පෙඟවූ තෙත තුවායක් (ලේන්සුවක් වැනි) එලන්න.

පැය 6 කට වරක් තම වයසට හා සිරුරේ බරට ගැලපෙන සේ පැරසිටමෝල් (මෙහිදී ඇස්පී‍්‍රන් ගැනීම ද කළ හැකි මුත් ඩෙංගු රෝගීන් හේතුකොට එය නැවත සිතා බැලිය යුතුය. කුඩා දරුවන්ට ඇස්පී‍්‍රන් ලබාදීම නොකළ යුතුය.) ඖෂධ ලබාගන්න.

ඖෂධය ගැනීමට පෙර පහසුවෙන් දිරවන කිසියම් ආහාරයක් හෝ කැඳ, සුප් වැනි දියර ආහාරයක් ලබාදීම සුදුසුය.

දියර වර්ග (ජලය, පලතුරු යුෂ, සුප්, කැඳ තේ ආදී) හැකි පමණ පානය කරන්න.

විදුලි පංකාවක් දැමීම කළ හැකි මුත් එය කෙළින්ම සිරුරට විදින සේ නොතබන්න.

කාමරයේ ජනෙල් කවුළු විවෘත කර වාතය හොඳින් කාමරය තුළ සංසරණය වන්නට වගබලා ගන්න.

පැය කිහිපයක් තුළ උණ අඩු නොවුණහොත් හෝ වලිප්පුව වැනි අතුරු ආබාධ ඇති වුවහොත් වෛද්‍යවරයකු හමුවන්න.

කම්පනය

ශරීරයෙන් බැහැරට හෝ ශරීරය ඇතුළට හෝ රුධිරය ගැලීම (ලේ වහනය වීම) නිසා මෙන්ම වමනය, පාචනය, පිළිස්සීම වැනි හේතු නිසා රුධිර පීඩනය පහළ වැටීම නිසාද කම්පනය ඇතිවිය හැකිය.

නොගැඹුරු ලෙස සෙමෙන් හුස්ම ගැනීම, සුදුමැලි වීම, වේගයෙන් එහෙත් යාන්තමින් නාඩි වැටීම, මලානික බව මෙහිදී දැකිය හැකි ලක්ෂණය.

කම්පනයට පත් තැනැත්තා බිම දිගා කර, දෙපා උකුල් ප්‍රදේශයට වඩා ඉහළින් සිටින සේ තබන්න. එමඟින් අවශ්‍ය වැදගත් ඉන්ද්‍රියයන්ට හොඳින් රුධිරය ගලා යාමට සලස්වයි. කිසිවක් බීමට හෝ දුම් ඉරීමට ඉඩ නොදෙන්න. රෝගියාට හොඳින් රෙද්දක් පොරවා රෝහලක් හෝ වෛද්‍යවරයකු වෙත ගෙන යන්න.

ක්ලාන්තය

ක්ලාන්ත ගතියක් ඇතිවන බව හැඟුණ වහාම බිම දිගා වී දෙපා ඉහළට ඔසවා තබාගන්න. එවිට ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය වැඩිපුර මොළයට ලැබීම මඟින් ක්ලාන්තය පහව යා හැකිය. වැතිර සිටින විට තදින් හුස්ම වාර 2 -3 ක් ගැනීම ද ප්‍රයෝජනවත්ය.

එසේ බිම වැතිරිය නොහැකි තැනක ඔබ සිටින්නේ නම් බිම ඉඳගෙන හිස දණහිස් අතරින් පහතට යන සේ තබාගන්න. ක්ලාන්ත තත්ත්වය පහව යනතුරු මේ ආකාරයට සිටිමින් පසුව උණු තේ කෝප්පයක් හෝ වතුර වීදුරුවක් පානය කරන්න.

සෙනඟ පිරුණු දුම්රියක හෝ බස්රියක හෝ සිටගෙන ගමන් කරන විට ක්ලාන්ත ගතියක් දැනුන හොත් වළලු කර (ඇස්වටය) ප්‍රදේශයෙන් දෙපා එකිනෙක හරහා යවා, දෑත් මිට මොළවා ගන්න. එය රුධිර පීඩනය ඉහළ යවා ක්ලාන්ත ගතිය මඟ හැරීමට සමත්ය.

හදිසියේ ඇඳෙන් හෝ වාඩිවී සිටින පුටුවෙන් නැඟිටින විට හිස කරකැවෙන හෝ ක්ලාන්ත ගතියක් හෝ දැනේ නම් දෑත් හිසට ඉහළට යන සේ ඔසවා මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ගලා යාමට සලස්වන්න. එසේම තමන් සිටින ඉරියව්ව වෙනස් කිරීමට පළමු (උදා. ඉඳගෙන සිටින තැනින් නැගිටිමට පෙර) මෙන්ම සිටගෙන සිට ඇවිදීමට පෙර මඳ වේලාවක් තමන් සිටි ඉරියව්වෙන් සිට ඉරියව්ව වෙනස් කරන්න.