දරුවන්ටත් දියවැඩියාව

දරුවන්ටත් දියවැඩියාව

දියවැඩියා සහ අන්තරාසර්ග රෝග පිළිබඳ

විශේෂඥ වෛද්‍ය

මනිල්ක සුමනතිලක

දියවැඩියා වසංගතය වර්තමානයේ මුළු ලොව වෙලාගත් සෞඛ්‍ය ගැටලුවක් බව ඔබ අප සියලුදෙනා දන්නා කරුණක්.

දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අග්නියාශයේ නිපදවන ඉන්සියුලින් නැමැති හෝර්මෝනය ස්‍රාවය අඩුවීම හෝ ස්‍රාවය වන ඉන්සියුලින් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමයි.

පළමුවැනි වර්ගයේ දියවැඩියාව Type 01 සහ දෙවැනි වර්ගයේ දියවැඩියාව Type 02 ලෙස දියවැඩියාව වර්ග දෙකකින් යුක්තයි. සමස්ථ දියවැඩියා රෝගීන්ගෙන් 90% - 95% දක්වා දක්නට ලැබෙන්නේ Type 02 දියවැඩියාව වන අතර සාමාන්‍ය වශයෙන් අවු. 35 - 40 ට වඩා වැඩි වයසින් යුත් පුද්ගලයන් ගොදුරු වන්නේ Type 02 දියවැඩියාවටයි.

Type 1 දියවැඩියාව

නමුත් ඔබට අද පවසන්නට යන්නේ Type 1 දියවැඩියාව පිළිබඳවයි. මේ Type 1 දියවැඩියාව පිළිබඳ ඔබ දැනුවත් කරන්නේ දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතාය.

Type 1 දියවැඩියාව වැළඳෙන්නේ ළමා පරපුරටය. විවිධ හේතූන් නිසා අග්නියාශයේදී ඉන්සියුලින් හෝර්මෝනය නිපදවන සෛල විනාශ වීම නිසාත් ඉන්සියුලින් ස්‍රාවය ඇන හිටීමෙන් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය සාමාන්‍ය ප්‍රමාණයකට පාලනය කරගත නොහැකි වීමත් මෙයට හේතුවයි.

විශේෂයෙන්ම Type 1 දියවැඩියා රෝගීන්ට මුළු ජීවිතය කාලය පුරා ඉන්සියුලින් නික්ෂේපණය (injection)  ලබා ගැනීමට අවශ්‍ය වේ.

විශේෂයෙන් Type 1 දියවැඩියාව ඇති වීට හේතු සාධකය බවට පත් වී ඇත්තේ ජානමය බලපෑම් මත බව පැවසුණද ඒ සඳහා ජානවල බලපෑම් 30% ක් පමණකට සීමාවක් තිබෙන අතර 70% ක් පරිසරයෙන් ඇතිවන බලපෑම් බැව් වත්මන් වෛද්‍ය විද්‍යාත්මක මතයයි.

සිහි මුර්ජාවීම

සාමාන්‍යයෙන් දියවැඩියා රෝගියෙකුට ඇතිවන රෝග ලක්ෂණයන් වන අධික පිපාසය, අධික ලෙස මුත්‍රා පිටවීම, ශරීරයේ බර අඩුවීම යනාදි ලක්ෂණ ඇති වුවත් ළමුන්ට දියවැඩියාව ඇති වීමේදී ඉතා ඉක්මණින් සිහි මුර්ජා තත්ත්වයට පත්විය හැකි වේ. මෙය නොපමාව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතු තත්ත්වයකි. මේ තත්ත්වය හඳුන්වන්නේ Diabetic Ketoacidosis  නමිනි. මෙහිදී වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ.

ඇතැම්විට Ketoacidosis තත්ත්වය හෝ යම්කිසි ආසාදන තත්ත්වයක් දරුවෙකුට ඇති වූ විට දරුවෙකුට දියවැඩියාව ඇත්දැයි සොයා ගැනීමට එය හේතුවක් විය හැක.

විශේෂයෙන් දරුවෙකුට දියවැඩියා තත්ත්වය නිසා සිහි මුර්ජා තත්ත්වයක් ඇති වීමට පෙර සාමාන්‍යයෙන් හුස්ම ගැනීමේ වේගය හා හුස්ම ගැනීමේ ගැඹුර වැඩි වේ. ඔවුන්ගේ ප්‍රාශ්වාස වාතයෙහි ඉදුණු පලතුරුවලට සමාන විශේෂිත “කීටෝන” ගන්ධයක් ඇති විය හැකියි.

ඉන්සියුලින් එන්නත

එබැවින් මෙකී රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වීම නිසා දරුවාට නොපමාව ප්‍රතිකාර ලබා දීමට දෙමව්පියන්ට හැකි වේ.

පළමු වර්ගයේ දියවැඩියාවට කළ යුතු ප්‍රතිකාර Type 1 දියවැඩියාව කළ යුතු එකම ප්‍රතිකාර ක්‍රමය වන්නේ ඉන්සියුලින් එන්නත් මඟින් ලබා දීමය.

සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට මෙන් නොව කුඩා දරුවෙකුට දියවැඩියාව වැළඳුණු විට මුළු පවුලේ සියලුදෙනාම මහත් අසහනකාරී තත්ත්වයකට පත් වේ.

හේතුව වන්නේ දරුවාගේ මුළු ජීවිත කාලය පුරාම මෙම Type 1 දියවැඩියාවට ප්‍රතිකාර ගත යුතු වීමයි. මෙවැනි අවස්ථාවල තම දරුවා මානසික ආතතියට ලක් වන්නට ඉඩ නොදී ධනාත්මක භාවයක් සහ ධෛර්්‍යයමත්භාවයක් දරුවාට ලබා දීම ඉතා වටිනා කරුණකි.

සාමාන්‍ය ජීවිතයක් ගත කළහැක

කුඩා අවදියේදි දියවැඩියාව වැළඳුණ ද නිසි අයුරින් වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් සහ නිසි ප්‍රතිකාර වෙත යොමු වීමෙන් දරුවාට වෙනත් දරුවෙකු මෙන් සාමාන්‍ය ජිවිතයක් ගත කළ හැක. ඒ බව දෙමව්පියන් දැනුවත්ව සිටිය යුතු වේ.

විශේෂයෙන්ම තම දරු පැටියා දියවැඩියා රෝගියකු බව පත් වී තිබේ නම් ඒ පිළිබඳ දෙමව්පියන්ට ව්‍යාකූල තත්ත්වයක් ඇති වීමට දෙමව්පියන් ඉඩ ඇත. ඇතැම් දෙමව්පියන් සමහර තම දරුවා දියවැඩියා රෝගියකු බවට පිළිගැනීමට පවා අපොහොසත් වේ.

එබැවින් දියවැඩියාව පිළිබඳ මනා අවබෝධයක් ලබාගෙන දරුවාට ලබාදිය යුතු ඉන්සියුලින් ප්‍රමාණය සහ ආහාර රටාව පිළිබඳ දැනුවත් වීමත් වෛද්‍ය උපදෙස් නිරන්තරයෙන් පිළිපැදීමත් අවශ්‍ය වේ.

දියවැඩියා රෝගී දරුවෙකු සිටින මවක් දැනගත යුතු කරුණු

1. විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරා ගැනීම වෛද්‍ය උපදෙස් පිළිපැදීම හා සායනවලට සහභාගි වීම

2. නිසි ආහාර රටාවකට යොමු කිරීම සඳහා පෝෂණ වේදියකුගේ සහාය පැතීම විශේෂයෙන් දරුවාගේ ක්‍රියාකාරකම්, ක්‍රීඩා අනුකූලව මෙය සැකසිය යුතු වේ.

3. දරුවාගේ ගුරුවරුන්ට මේ තත්ත්වය පහදා දීම. විශේෂයෙන් හයිපොග්ලයිසීමිය (රුධිරයේ සීනි අඩුවීම) පිළිබඳ දැනුවත් කිරීම

4. සිතෙහි හට ගන්න ඝෘණාත්මක හැඟීම් පිළිබඳ වෛද්‍යවරයා සමඟ පැවසීම

5. මෙවැනි දරුවන්ට අධික ආරක්ෂාව, අනවශ්‍ය කරුණාව, හෝ අනවශ්‍ය අවධානය නොදැක්විය යුතුය. මෙයට හේතුව මෙය දරුවාගේ සාමාන්‍ය ජීවිතයට බාධාවක් වන බැවිණි.

දරුවාට දියවැඩියාව පාලනයට හිතකර ආහාර අඩුවකින් තොරව ලබාදිම. රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය පාලනය කිරීම, ඉන්සියුලින් මාත්‍රාව විටින් විට වෛද්‍ය උපදෙස් මත වෙනස් කිරීම

දියවැඩියාව පාසලේ ක්‍රියාකාරකම්, අධ්‍යාපන කටයුතු වලට කිසිදු බාධාවක් නැත. ඉන්සියුලින් භාවිතා කර ක්‍රීඩා ලෝකයේ හිනි පෙත්තට නැගී ක්‍රීඩකයන් මෙන්ම නොයෙකුත් ක්ෂේත්‍රවල මුලසුන හොබවන දියවැඩියා රෝගීන් ගැන දරුවා දැනුවත් කරන්න.

උපන් දින සාද, මංගල උත්සව වලට දරුවා යැවීමට අවශ්‍ය වේ. අනිකුත් දරුවන් මෙන් සාමාන්‍ය දරුවෙකු ලෙස මෙම දරුවාට හැසිරෙන්නට දෙන්න. ග්ලූකෝස් අඩු ආහාර diabetic jam - diabetic chocolate  භාවිතය නුසුදුසුය.