දරුවන්ට අනතුරු සිදුවන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කමින්

දරුවන්ට අනතුරු සිදුවන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කමින්

ජාතික රෝහලේ

පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

පුෂ්පා රම්‍යාණි සොයිසා

සාමාන්‍යයෙන් එදිනෙදා ජිවිතයේදී පුද්ගලයන් විවිධ අනතුරුවලට මුහුණ දෙන අතර ඊට හේතු වන්නේ බොහෝ දුරට ඔවුන්ගේම නොසැලකිලිමත් භාවයයි. මෙය වැඩිහිටියන්ටත් වඩා කුඩා දරුවන් සම්බන්ධව ඉතාම සුලබව කතා බහ කළ හැකියි. ඊට හේතුව ඔවුන්ගේ දැනුම් තේරුම් කමක් නොමැති නිසා වැඩිහිටියන්ගේ අවධානය ගිලිහෙන ක්ෂණයෙන් ඔවුන් අනතුරු පසුපස හඹා යන බැවිණි. ඒ වගේම නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටින්නට නොහැකි වන නිසා දරුවන් සිටින නිවෙස්වල පරිසරය නිතරම නිරතුරුව පිරිසුදුව තබා ගැනීමට උත්සාහ කළ යුතුයි. එපමණක් නොව දරුවන්ගේ ඇස ගැටෙන පරිදි අනතුරු වලට අත වනන කිසිවක් නොතැබිය යුතුයි. ඊට හේතු වන්නේ මෙසේ සිදුවන අනතුරු නිසා දරුවන් මරණයට පවා පත්විය හැකි නිසයි.

විශේෂයෙන් යන්තම් බහ තෝරන අවධියේ පසුවන දරුවන් මෙවන් අනතුරු සඳහා පහසුවෙන් ගොදුරු වේ. ඔවුන් නිතරම නිවස පුරා පොළව මත වැටි වැටී ඇවිදීමට උත්සාහ කරන අතර බිම වැටී ඇති කුමන හෝ දෙයක් වේවා කටේ දමා ගැනීමට පෙළඹෙයි. දෙමාපියන් කෙතරම් ඒ පිළිබඳ අවධානයෙන් සිටීමට උත්සාහ කළත් ඔවුන්ගේ අවධානය ගිලිහෙන සුළු හෝ අවස්ථාවකදී දරුවා යම් යම් අවදානම් තත්ත්වයන්ට ගොදුරු විය හැකියි. මේ ආකාරයට දරුවා කටේ දමා ගැනීමට හැකි බොහෝමයක් ද්‍රව්‍ය නිවස පුරා සොයා ගැනීමට හැකිය. ඒ අතර කාසි, බොත්තම්, ඇට වර්ග, පබලු, හැකරැල්ලන්, කුරුමිණියන් වැනි සතුන් පමණක් නොව විවිධ විෂ ද්‍රව්‍යද වේ.

ඒ නිසා පෙරදි පැහැදිලි කළ ආකාරයට කිසිම විටක එවැනි වයසේ පසුවන දරුවන් නිවසේ සිටින විටක ඔවුන්ගේ අතට හසුවන පරිදි කිසිදෙයක් නොතැබිය යුතුයි. ඉහත පැහැදිලි කළ ආකාරයේ කුමන හෝ දෙයක් වේවා දරුවෙකු හදිසියේ කටේ දමා ගතහොත් වැඩිහිටියන් ලෙස කලබයට පත් වීමෙන් තොරව එය ඉවත් කිරීමට උත්සාහ කළ යුතුයි. උදාහරණයක් ලෙස කාසියක් වැනි දෙයක් උගුරේ සිර කර ගතහොත් ඔවුන්ගේ ස්වසන මාර්ගය කුඩා නිසා හුස්ම ගැනීමටවත් නොහැකිව දෑසෙන් කඳුළු පිටවන තරමේ දරුවා යම් අපහසුතාවයකට පත්විය හැකියි. නමුත් කිසිවිටෙක උගුරේ සිරවී පවතින දේ ඉවත් කිරීමට ඔබගේ අත දරුවාගේ මුඛයට දැමිමට උත්සාහ නොකරන්න. පසුව දරුවාට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී උගුරේ සිරවූ දේ පිටතට ගැනීමට උත්සාහ කළ යුතුයි. එම ප්‍රථමාධාර ප්‍රමාණවත් නොවන්නේ නම් වහාම රෝහලක් කරා රැගෙන යාමට කටයුතු කරන්න.

මීට අමතරව මීයන්, කුහුඹුවන් වැනි සතුන් මර්ධනය කිරිමට තබන ලද විෂ ද්‍රව්‍යයද ඇතැම් දරුවන් නොදැනුවත්වම මුඛයේ හොවා ගැනීමට යොමු වේ. එවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් දරුවාව රෝහලක් කරා රැගෙන යන්න. නමුත් ඊට වඩා වැදගත් වන්නේ අනතුරක් සිදුවීමට ප්‍රථම එය වළක්වා ගැනීමට කටයුතු කිරීමයි. ඒ නිසා කුඩා දරුවන් සිටින නිවෙස්වල පරිසරය නිතරම පිරිසිදුව පිළිවෙලකට පමණක් නොව අනතුරක් සිදු වේ යැයි අනුමාන කළ හැකි කිසිවක් දරුවකුගේ අතට ලඟා විය නොහැකි තැනකින් තැබීමට වගබලා ගත යුතුයි.විශේෂයෙන්ම එවැනි දේ දරුවාට අත පෙවිමට නොහැකි උස් තැනකින් තබන්න අමතක කරන්න එපා.බොහෝ දරුවන්ට එවැනි අනතුරු සිදු වන්නේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කමින් වන බැවින් දරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින්න.