කුඩා අවධියේ ඇදුම රෝගියකු නොවුණත් වැඩිහිටි වියේදී ඇදුම ඇතිවිය හැකියි

කුඩා අවධියේ ඇදුම රෝගියකු නොවුණත් වැඩිහිටි වියේදී ඇදුම ඇතිවිය හැකියි

මාවනැල්ල ගමගේ රෝහල

ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ ගමගේ

ඇදුම බොහෝවිට ඇති වන්නේ ළමයින්ට හා තරුණ අයට බව බොහෝදෙනාගේ මතය වේ. කෙසේ වෙතත් සමහර අයට මුළු ජීවිත කාලයේදීම වරින් වර අඩු වැඩි වෙමින් ඇදුම ඇතිවිය හැකිය.

ඊට අමතරව සමහරුන්ට ජීවිතයේ ප්‍රථමවරට වැඩිහිටි වියේදී ඇදුම ඇතිවිය හැකිය.

අප වයස්ගත වනවිට අනෙක් ඉන්ද්‍රියයන් මෙන්ම ක්‍රමයෙන් පෙණහලු ද වයස් ගත විම හෙවත් දුර්වල වීම අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ප්‍රශ්වාස උපරිම වේගය ද ක්‍රමයෙන් අඩු වේ.

වැඩිහිටි වියේදී ප්‍රථම වරට ඇති වන ඇදුම රෝගී තත්ත්වය බොහෝවිට අධික වූත් කරදරකාරි වූත් එකකි. එබැවින් සමහරවිට ඔවුනට ප්‍රෙඩ්නිසොලෝන් වැනි ස්ටීරොයිඩ් පෙති වර්ග ගැනීමට සිදු වීමට පුළුවන.

වැඩිහිටි වියට පත් වූවන්ට ඇදුම වැළඳුණ විට හටගන්නා වඩාත් කැපී පෙනෙන රෝග ලක්ෂණය නම් හතියයි. සුළු වැඩක් කළත් හතිය මතු වේ. මීට අමතරව පපුවේ තද ගතිය, කැස්ස, සහ රූං රූං ශබ්දය හටගනී.

වැඩිහිටි වියේදී පපුවේ තද ගතිය සහ හතිය ඇති වීමට හේතු වන තවත් රෝගයක් වන්නේ හෘදයේ රුධිර නාල සිහින් වීම නිසා හටගන්නා ඇන්ජයිනා (චදඨඪදච) නම් තත්ත්වයයි. එබැවින් ඇදුම රෝගය හෘද රෝගයක් ලෙසත්, හෘද රෝග ඇදුම රෝගය ලෙසත් වරදවා තේරුම් ගැනීමට ඉඩ තිබේ.

මීට අමතරව වැඩිහිටියන් හට කලාතුරකින් හෘදයාබාධ සහ ඇදුම රෝගය එක විට ඇතිවිය හැකි බවද මතක තබාගත යුතුය. එබැවින් වැඩිහිටියන් හට ඇදුම රෝග ලක්ෂණ මතු වූ විට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරවාගෙන නිවැරැදිව රෝගය විනිශ්චය කිරීම ඉතා වැදගත්ය.

ඇදුම ළමයින්ට වැළඳුන ද, තරුණයන්ට වැළඳුන ද, වැඩිහිටියන්ට වැළඳුන ද ලබාදෙන ප්‍රතිකාරය එකමය. එහෙත් ආඝ්‍රාණක ඖෂධ භාවිතයේදී භාවිත කරනු ලබන මෙවලම වැඩිහිටියන්ට ගැලපෙන අයුරින් තෝරා ගැනීම ඉතා වැදගත්ය.

නිවාරක ඖෂධ

සමනක සහ නිවාරක ඖෂධ ඉසින ඉන්හේලරය සහ රොටර් කැප් නම් උපකරණය ආතරයිටිස් හෙවත් හන්දිපත් රෝගයෙන් පෙළෙන වැඩිහිටියන්ට පාවිච්චි කිරිම අපහසුය. එබැවින් ඒ සඳහා විශේෂිත උපකරණ භාවිතා කළ යුතු වේ. විශාල ප්‍රමාණයේ ස්පේසරයක් තුළට ඉන්හේලරය මඟින් ඉසින ඖෂධය යවා එය හෙමින් අඝ්‍රාණය කිරීමට සැලැස්වීමට වැඩිහිටියන්ට සුදුසු එක් ක්‍රමයකි.

වියපත් වීමත් සමඟ නොයෙක් ආකාරයේ වෙනත් රෝග ද ඇති වේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, හන්ධිපත් රෝග, මල බද්ධය, අජීර්ණය සහ අංශභාගය වැනි රෝග ඉන් සමහරකි. ඇදුම රෝගය සමඟ මේ රෝග එකක් හෝ කිහිපයක් ඇති වුණ හොත් ඖෂධ වර්ග රාශියක් ගැනීමට සිදු වේ. මෙය කරදරකාරී තත්ත්වයකි. එබැවින් දිනපතා ගන්නා සියලු ප්‍රතිකාර ගැන හදාරා සරල පහසු ක්‍රමයකට ඖෂධ සැකසීම ඔබගේ වෛද්‍යවරයාට බාර කරන්න.

වියපත් වන විට ඖෂධ නිසා හටගන්නා අතුරු ආබාධවල ප්‍රමාණය ද වැඩි වේ. ඇදුම වැඩි වූ විට ගනු ලබන ස්ටීරොයිඩ් කාණ්ඩයේ පෙති නිසා ඔස්ටියෝ පොරෝසියාව හෙවත් ඇට දුර්වලවීමත්, සම තුනීවීමත්, සමෙහි ලේ පැල්ලම් හට ගැනීමත්, තුවාල සුව වීමේ වේගය අඩුවීමටත් පුළුවන.

වැඩිහිටියන්ට වැළඳෙන ඇදුම බොහෝවිට සම්පූර්ණයෙන් සුව වෙන්නේ නැත. අකැමැත්තෙන් වුව ද ජීවිතයේ ඉතිරි කාලය පුරාම ඇදුම රෝගයට ප්‍රතිකාර ගැනීමට සිදු වනු ඇත.

වෛද්‍ය උපදෙස් අනුව නියමිත ප්‍රතිකාරය දිනපතා ගන්නේ නම් එය තමන්ගේ එදිනෙදා ජීවිතයට කරදරයක් නොවන අයුරින් පාලනය කර ගැනීමට හැකි වනු ඇත.

වියපත් වනවිට වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන් විවිධ වේ. සමහරු ගෙවත්තේ වැඩ කිරීමට කැමැති වේ. තවත් සමහරෙකුට අවශ්‍ය වන්නේ දිනපතා කඩයට ගොස් බඩු ගෙන ඒමට පමණි. වෙනත් වැඩිහිටියෙකුට අවශ්‍ය වන්නේ දිනපතා යහළුවන් හමු වීමට ගොස් කාඩ් සෙල්ලම් කිරීමටය. මෙවන් වැඩිහිටියන් ඇදුම රෝගයෙන් පෙළේ නම් ඔහුගේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් පමණක් ප්‍රතිකාරයේ මාත්‍රාව සැකසීම ප්‍රමාණවත්ය. එබැවින් වැඩිහිටියාගේ ජීවන රටා පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් වීම වැදගත්ය.

ඇදුම ප්‍රථමවරට වැඩිහිටි වියේදි ඇතිවිය හැකිය.

ඇන්ජයිනා නම් වූ හාදයාබාධයත් ඇදුමත් වෙන් කර හඳුනා ගැනීමට අපහසු විය හැකිය.

ඇදුම සඳහා භාවිතා කරන ඖෂධ නිසා හටගන්නා අතුරු ආබාධ වැඩිහිටියන් හට වැඩිපුර ඇතිවිය හැකිය.

වැඩිහිටියන් ගේ දින චර්යාවට ගැළපෙන අයුරින් ඇදුම ප්‍රතිකාරය සැකසුව හොත් ඔහුට සුවදායක ජිවිතයක් ගත කිරීමට හැකි වනු ඇත.

ඖෂධ සහ ඇදුම

ඇදුම රෝගීන්ගෙන් සියයට පහකට පමණ ඇස්පී‍්‍රන් ගත් විට ඇදුම වැඩි විය හැක. මෙය සමහර විට ඉන් පෙර ඇති නොවී, එකවරම ඇතිවිය හැකිය. ආතරයිටීස් හෙවත් හන්දිපත් රෝග සඳහා ගනු ලබන ඉබුප්‍රොෆේන්, ඩයික්ලොෆිනැක් සහ ඉන්ඩොමෙතසීන් වැනි ඖෂධයන් ද ඇදුම විසර්ජකයන් ලෙස ක්‍රියා කළ හැක.

අධි රුධිර පීඩනය සහ හෘදයාබාධයන් සඳහා ගනු ලබන බීටා - බ්ලොකර්ස් කාණ්ඩයට අයත් ප්‍රොප්‍රැනලෝල් (ඉන්ඩිරාල්) සහ ඇටනලෝල් වැනි ඖෂධ නිසා ද ඇදුම ඇති විය හැකිය. ඇසේ පීඩනය වැඩි වීම නිසා හටගන්නා “ග්ලෝකෝමා” නමැති රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස ඇසට දමන බින්දුවල ද බීටා බ්ලොකර්ස් අඩංගු විය හැකිය. ඒ බිංදු ඇසට දැමූ විට ඇදුම රෝගය මතු විය හැකිය.

එබැවින් යම් ඖෂධයක් ගෙන ටික වේලාවක් ගත වූ පසු හෝ ටික දිනක් ඇතුළත හතිය, පපුවේ තද ගතිය, කැස්ස සහ රූං රූං ශබ්දය ඇති වුණොත් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න. එය ඇදුම රෝගය විය හැකිය.

ඇදුම රෝගයට හේතුව ඖෂධයක් නම්, කළ යුත්තේ මුළු ජීවිත කාලය පුරාම ඒ ඖෂධය නොගෙන සිටීමය.

ආහාර සහ ඇදුම

රෝගී වෛද්‍ය හමුව අවසානයේදී කෑමට සහ බීමට සුදුසු වන නුසුදුසු ආහාර පිළිබඳ ව අසා දැන ගැනීමට අප රටේ උදවිය දක්වන්නේ ලොකු උනන්දුවකි. එය හොඳ පුරුද්දකි.

ඇදුම රෝගයෙන් පෙළෙන හැම කෙනෙකුටම නුසුදුසු පොදු ආහාර වර්ග නොමැත. එහෙත් ඒ ඒ පුද්ගලයා අනුව ඔහුට විශේෂිත වූ ඔරොත්තු නොදෙන අසාත්මික ආහාර වර්ග තිබෙන්නට පුළුවන.

පොදුවේ ගත් කල ආහාර නිසා අසාත්මිකතාවන් හෝ ඇදුම ඇති වන්නේ සුළු කොටසකට පමණි. අමාරුම කාර්යය නම් ඒ අය සහ අසාත්මික වන ආහාරය නිවැරදිව හඳුනා ගැනීමයි.

එක් ඇදුම රෝගියෙකු අසාත්මිකතාව දක්වන ආහාරයක් තවත් ඇදුම රෝගියෙකුට අසාත්මිකතාවක් හෝ ඇදුම ඇති කරන්නේ නැත. එබැවින් මට අහිතකර වූ ආහාරය ඔබට අහිතකර නොවීමට පුළුවන.

අසාත්මිකතා

අන්නාසි කා විනාඩි කිහිපයකින් මගේ ඇඟ පුරා පලු මතු වීමත් ඇදුම රෝග ලක්ෂණ මතු වීමත් සිදු වේ. ඒ නිසා ඇදුම රෝගීන් සියලු දෙනාටම අන්නාසි අගුණ යැයි නිගමනය කිරිම වැරැදිය. තමාට නුසුදුසු ආහාරය කුමක්දැයි තෝරා බේරා ගැනීම සඳහා රෝගියා දැනුවත් කිරීම මෙහිදී වැදගත්ය.

දිනපතා තමා ගන්නා ආහාර දින පොතක සටහන් කරගෙන ඇදුම ඇති වන්නේ කිනම් ආහාරයක් ගත් දිනයන්හි දි දැයි විමසිලිමත්ව බැලීමෙන් ඔබට අහිතකර ආහාර වර්ගය හඳුනා ගැනීමට සමහරවිට පුළුවන් වේවි.

රටකජු - මුරුංගා

සමහර අය රටකජු ආහාරයට ගත් විට ඇදුම ඇති වේ. මුරුංගා ආහාරයට ගත් විගස ඇඟේ පලු මතු වී ඇදුම රෝගය ඇතිවන රෝගියෙක් මට හමු වී තිබේ.

හඳුනාගැනීමට අපහසු ම, ඇදුම ඇති කරවන ආහාර වර්ග දෙක නම් තිරිඟු සහ කිරි නිෂ්පාදනයි. එදිනෙදා ජිවිතයේදී ඒවා නොකා නොබී ජීවත් වීම ද අපහසුය. එවන් අවස්ථාවන්හි දී ආහාරය පිළිබඳව නොතකා ඇදුමට ප්‍රතිකාර ගෙන රෝග ලක්ෂණ මඟහරවා ගැනීම වඩාත් උචිතය.

ආහාර වර්ග සීතල සහ උෂ්ණ ලෙස වර්ග කිරීමට අප රටේ බොහෝ අය පෙළඹෙති. එක් ප්‍රදේශයක උෂ්ණ ලෙස හඳුන්වන ආහාර තවත් ප්‍රදේශයක දී ශිත ලෙස හඳුන්වන අවස්ථා තිබේ. ශීත ලෙස හඳුන්වනු ලබන ආහාර ඇදුම රෝගීන්ට අගුණයයි සමහරුන්ගේ මතයයි. එහෙත් උෂ්ණ ආහාර අනුභව කළ විට අසාත්මිකතාවන් ඇති වේ යැයි ඇතැම්හු කියති. මෙය පරස්පර විරෝදි මත දෙකකි. එබැවින් මට නම් සිතෙන්නේ ආහාර උෂ්ණ හෝ ශීත ලෙස නම් කිරීමට යාම මුලාවක් බවයි.