වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් දියණිය දූෂණය කළේ පියා නොවන බව හෙළි වේ
අධිකරණ වෛද්‍ය විද්‍යාව

වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵලවලින් දියණිය දූෂණය කළේ පියා නොවන බව හෙළි වේ

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය

එස්.ඩී. චන්න පෙරේරා

සෑම අම්මා කෙනෙකුම, තාත්තා කෙනෙකුම තම දරුවන්ට දක්වන්නේ අසීමිත සෙනෙහසකි, ආදරයකි. තිරිසන් ලෝකයේ ද එය එසේමය. එහෙත් තම දියණියන්ට වින කරන පියවරු අප සමාජයේ ද නැතිවාම නොවේ. තම ලෙයින් උපන් දියණියන් අතවරයට ලක්වන්නේ බොහෝවිට එවන් පාපතර තාත්තලා අතිනි.

පසුගිය වසර කීපය තුළ තම තාත්තා අතින් අතවරයට ලක් වූ දියණියන් පිළිබඳ කතා පුවත් ජනමාධ්‍ය තුළින් වැඩිවශයෙන් දැකගත හැකි විය. එහෙත් එම ඇතැම් පුවත් පැටළිලි සහගත සිදුවීම්ය. එබැවින් මෙවන් සිදුවීම් පිළිබඳව තීන්දු ගත යුත්තේ සියලුම අංශයන්ගෙන් විධිමත් ලෙස කරුණු සොයා බැලීමෙන් පසුවය. මේ ඊට කදිම උදාහරණයක් සපයන සිදුවීමකි.

මෙම සිදුවීමට අදාළ පියා පේ‍්‍රමරත්න ලෙසත්, මව තිලකා ලෙසත් දියණිය ඉරේෂා ලෙසත් තරුණයා සුරංග ලෙසත් අපි හඳුන්වමු.

මේ 2006 වර්ෂයේ අග භාගයේදී පමණ හලාවතට ආසන්න ප්‍රදේශයකදී සිදු වූ සත්‍ය සිදුවීමකි. අගහිඟකම් පිරී තිබුණද පේ‍්‍රමරත්නත් තිලකාත් ගෙවූයේ ඉතා සාමකාමී ආදරණීය ජීවිතයකි. ප්‍රේමරත්නගේ රැකියාව වූයේ ප්‍රදේශයේ කුලී වැඩ කිරීමය. තිලකා රැකියාවක් නොකළාය. ඔවුනට සිටියේ එකම දියණියක් පමණි. ඇය ඉරේෂාය. ඉරේෂා පෙනුමැති සුන්දර දැරියක වූවාය. කුලී වැඩ කර ලැබෙන සෑම මුදලක්ම පේ‍්‍රමරත්න ගෙනවිත් දුන්නේ තිලකා අතටය. පේ‍්‍රමරත්න සිගරට් මත්පැන් කිසිවක් පසුපස ගියේ නැත. ඔහුට වුවමනා වූයේ අඩක්වත් වැඩ නිම නොකළ තම කුඩා නිවස සාදාගෙන බිරිඳත් දරුවාත් සමඟ සතුටින් සිටීමටය. ඔය අතරතුර තිලකා මැදපෙරදිග රැකියාවකට යාමට තීරණය කළේ නිවසේ ඉතිරි වැඩ කරගෙන දරුවාට ඉගැන්වීමට මුදල් අවශ්‍ය නිසාය. මුලදි අකමැති වුවද තිලකාගේ පෙරැත්ත මත පේ‍්‍රමරත්න ඇයගේ යෝජනාවට කැමති වූයේ වෙන කළ හැකි දෙයක් නොමැති බව ඔහුට ද වැටහී ගිය නිසාය. එවිට ඉරේෂා 13 වියට පා තැබුවා පමණි. අම්මා මැද පෙරදිග රැකියාවට යන විට ඉරේෂා 8 වසරේ ඉගෙනීම ලැබුවාය.

දින, සති, මාස ගෙවී ගියේය. පේ‍්‍රමරත්න තම දියණිය හැකි අයුරින් බලා කියා ගත්තේය. 2006 වසරේ එක්තරා දිනෙක හලාවත පොලීසියට පැමිණිල්ලක් කිරීමට යොවුන් වියේ පසු වූ ගැහැණු දරුවකු පැමිණියාය. ඒ ඉරේෂාය. ඉකිගසමින් පොලිස් නිළධාරීන් ඉදිරියේ ඉරේෂා පැවසුවේ තමන්ගේ තාත්තා මීට සතියකට පෙර තමාව දූෂණය කළ බවය. ඒ වනවිට ඉරේෂාගේ වයස අවුරුදු 15 කි. පොලිස් නිළධාරීන් ඉරේෂා පැවසූ සියල්ල සටහන් කර ගත්තේය. පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඉරේෂාගේ පියා, ප්‍රේමරත්න අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පේ‍්‍රමරත්න පවසා තිබුණේ මේ කතාව අමූලික බොරුවක් බවය. කෙසේ හෝ ඉරේෂාගේ ප්‍රකාශය මත පේ‍්‍රමරත්න අත්අඩංගුවට පත්විය. එහෙත් පොලිසියට මෙය විශාල ගැටලුවක් විය. දියණිය කියන්නේ තම පියා අතින් සතියකට පෙර තමන් අතවරයට ලක් වූ බවය.

පියා කියන්නේ එය සම්පූර්ණ අසත්‍යයක් බවය. අවසානයේ මෙම ගැටලුව එවකට හලාවත රෝහලේ අධිකරණ වෛද්‍යවරයාව සිටි විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතාට යොමු විය. චන්න පෙරේරා මහතා ඉරේෂාව කැඳවූයේය. ඒ, මෙම ගැටලුවේ සායනික ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයා බැලීමටය. එහිදී ද ඉරේෂා ඉතාම පැහැදිලි ලෙස සඳහන් කර සිටියේ මීට සතියකට පෙර තම තාත්තා අතින් තමන් අතවරයට ලක් වූ බවය. ඉන්පසුව වෛද්‍යවරයාට අවශ්‍ය වූයේ ඉරේෂාගේ ශරීරය පරීක්ෂා කිරීමටය. මෙවැනි පරීක්ෂණයක් සඳහා දූෂණයට ලක් වූ කාන්තාවගේ ලිංගික ප්‍රදේශය ඇතුළු සම්පූර්ණ ශරීරයම පරීක්ෂාවට ලක් කළ යුතු නිසා ඒ සඳහා එම කාන්තාවගේ කැමැත්ත අවශ්‍ය වේ. වයස අවුරුදු 18 ට අඩු දැරියකගේ නම් ඒ සඳහා මවගේ හෝ පියාගේ කැමැත්ත අවශ්‍ය වේ. ඉරේෂා 15 වෙනි වියේ පසුව වූ යුවතියක නිසාත් ඇයගේ මව විදෙස් ගතව ඇති නිසා මෙන්ම පියා අත්අඩංගුවේ පසුවන නිසාත්, ඉරේෂා වෙනුවෙන් කැමැත්ත පල කිරීමට කිසිවකු නොවීය. එහිදී වෛද්‍යවරයා පොලිසියට පැවසුවේ මේ සඳහා මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන එන ලෙසය.

විශේෂඥ වෛද්‍ය චන්න, ඉරේෂා සායනික පරීක්ෂණය ලක් කළේය. එහිදී වෛද්‍යවරයාට පෙනී ගියේ මීට වසරක පමණ කාලයක පටන් ඉරේෂා ලිංගික සබඳතා පවත්වා ඇති බවය. කිසියම් යුවතියක් ලිංගිකව පුරුෂයකු සමඟ එක් වූ පළමු දිනයේ කන්‍යාපටලය බිඳීමෙන් මෙන්ම පළමු ලිංගික එක් විමෙන් යෝනි මාර්ගයේ ඇතිවන තුවාල දින කීපයක් ගත වනතුරු පවතී. යෝනි මාර්ගයේ ඇතිවන මෙම තුවාල සහ සීරිම් වෛද්‍යවරයකුට මනාව හඳුනාගත හැකිය. එසේ වුවද කාලයක් තිස්සේ ලිංගිකව එක්වන විට කාන්තාවගේ යෝනි මාර්ගයේ එවැනි තුවාල ඇති නොවේ. ඉරේෂාගේ යෝනි මාර්ගය තුළ එවැනි අලුත් තුවාල වෛද්‍යවරයා නිරීක්ෂණය නොකළේය. එහෙත් ඉරේෂා පවසා සිටින්නේ තම පියා මීට සතියකට පෙර තමන්ව අතවරයට ලක් කළ බවය. එදින මෙම පරීක්ෂණය අවසන් වනවිට සවස් වූ බැවින් ඉරේෂා නිවසට පිටත් කර හැරියේ පසුදා නැවත තමන් හමුවන බව දන්වමිනි. එහෙත් වෛද්‍ය චන්න එදින සවස ඉරේෂාගේ පියා පේ‍්‍රමරත්න තමන් වෙත කැඳවා ප්‍රශ්න කළේය. එහිදී වෛද්‍යවරයා ඉදිරියේ හඬා වැටෙමින් ප්‍රේමරත්න කියා සිටියේ මෙච්චර කාලයක් තමන් ඇහැක් වගේ බලාගත්ත තමන්ගේ දරුවාට තමන් විසින් මෙවැනි අපරාධයක් සිදු නොකළ බවය.

පසුවදා උදේ වරුවේ වෛද්‍ය චන්න හමුවට ඉරේෂා පැමිණියේය. පොලිස් නිලධාරින් ද අසල සිටියහ. එදින ද ඉරේෂා පැවසුවේ මීට සතියකට පෙර තම පියා තමන්ට අතවර කළ බවය. මෙම ප්‍රශ්න කිරීම සිදුවන අතරතුර ඒ අසල තිබූ ජනේලයකින් වයස අවුරුදු 23 ක පමණ තරුණයකු විමසිල්ලෙන් එබී බලා සිටිනු වෛද්‍යවරයා දුටුවේය. ඔහු කවුදැයි විමසූ විට පොලිස් නිලධාරීන් පවසා සිටියේ ඉරේෂා පොලිසියට පැමිණියේ එම තරුණයා සමඟ බවය. ඔහුගේ නම සුරංග බවත්, සුරංග අයියා තමන්ගේ ගමේ අයකු බවත් ඉරේෂා පවසා සිටියාය. වෛද්‍යවරයා නැවත ඉරේෂා දෙසට හැරුණේය. “දරුවෝ ඔයාගෙ තාත්තා ඊයේ මා ළඟට ඇවිත් අඬ අඬා කිව්ව කවදාවත් මගේ අතින් මේ වගේ දෙයක් වෙලා නැහැ කියලා. එයා පුදුම වෙනවා ඔයා කියන කතාව ගැන. ඔයා තව ටිකකින් ඇවිත් මා එක්ක ආයෙත් කතා කරන්න......” කියා වෛද්‍යවරයා ඉරේෂාට පැවසුවේය.

වෛද්‍ය චන්නගේ කාමරයෙන් පිටතට ගිය විගසම ඉරේෂා නැවතත් වෛද්‍ය චන්න ඉදිරියට පැමිණියේ මහා හයියෙන් හඬාගෙනය. “අනේ ඩොක්ටර් මගේ තාත්තා නිර්දෝෂයි. සුරංග අයිය අතින් තමයි මට මේ දේ සිද්ධ වුණේ. දැන් අවුරුදු එක හමාරක් විතර වෙනවා සුරංග අයියත් මමත් යාළු වෙලා. අපි දෙන්නා දැන් අවුරුද්දක විතර ඉඳලා ලිංගිකව හැසිරෙනවා. අපේ තාත්තා මේ බව දැනගනියි කියල තමයි සුරංග අයිය කිව්වේ තාත්තගෙ අතින් මට කරදර වුණා කියලා පොලිසියට කියමුයි කීවේ. තාත්තා පොලිසියට අහු වුණාම අපි දෙන්නට නිදහසේ ඉන්න පුළුවන් කියාල සුරංග අයියා කිව්වා. සුරංග අයියගේ කීමටයි මම මේ බොරුව කිව්වේ.” ඉරේෂා සියල්ල පැවසුවාය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සුරංගව අත්අඩංගුවට ගත්තේය. ඒ, බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදටය. පේ‍්‍රමරත්න නිදහස් විය. පේ‍්‍රමරත්නගේ නිදහසට හේතු වූයේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරාගේ සායනික පරීක්ෂණ වාර්තාවය.

සත්‍ය සිදුවීමක් ඇසුරෙනි

මෙහ එන නම් ගම් මනංකල්පිතය