කායික රෝග පිළිබඳ ගැටලු රැසකට පිළිතුරු
විශේෂඥ වෛද්‍ය හමුව

කායික රෝග පිළිබඳ ගැටලු රැසකට පිළිතුරු

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ප්‍රදීප් කුමාරසිංහ

කායික රෝග වෛද්‍යවරයෙක් වෙත යොමුවිය යුතු රෝග අවස්ථා මොනවාද?

කායික රෝග වෛද්‍යවරයෙක් වෙත රෝගියකු යොමුවිය යුතු අවස්ථා පිළිබඳ සලකා බැලුවහොත් ශල්‍යකර්ම මඟින් සුව කළ හැකි රෝග, ස්ත්‍රීන්ගේ ප්‍රසව හා නාරිවේදයට අදාළ රෝග, මානසික රෝග මෙන්ම ළමා රෝග හැරුණු විට සෙසු සියලු රෝග අවස්ථා කායික රෝග යටතට අදාළ වේ. කායික රෝග ප්‍රධාන කොටස් දෙකකි.ඒවා බෝ වන රෝග හා බෝ නොවන රෝග ලෙස වර්ග දෙකකට වෙන් වේ.

බෝ වන රෝග හා බෝ නොවන රෝග?

බෝ වන රෝග යනු විසබීජ ශරීරයට ඇතුළුවීම මඟින් ඇතිවන තත්ත්වයකි. එසේ ශරිරගත විය හැකි විසබීජ බැක්ටීරියා, දිලීර, වෛරස්, පරපෝෂිතයන්, Prion ලෙස වර්ග වලට වෙන් කළ හැකියි.

මීට අමතරව බෝ නොවන රෝග පිළිබඳ විමසා බැලුවහොත් ඉන් වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වන්නේ නිවැරදි නොවන පුද්ගලයාගේ දෛනික ජීවන රටාවය. මෙම රෝග අතරින් බහුතරයකට කිසිදු රෝග ලක්ෂණයක් පැහැදිලිව හඳුනා ගැනීම ඉතා අපහසු වේ. තවද මෙම බෝ නොවන රෝග ද මූලික රෝග අවස්ථා සහ ඒවා නිසා ඇතිවන වෙනත් රෝග තත්ත්ව ලෙසද නැවතත් බෙදා වෙන් කළ හැකියි. ඒ අනුව මූලික වශයෙන් දැකගත හැකි බෝ නොවන රෝග ලෙස දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරොල් අධිකවීම හා අක්මාවේ තෙල් තැන්පත්වීම පිළිබඳ හඳුන්වාදිය හැකියි. මෙම මූලිකව හඳුනාගත හැකි බෝ නොවන රෝග සඳහා නිසි ප්‍රතිකාර හෝ නිසි පාලනයක් සිදු නොකිරීමෙන් හෘදයාබාධ, ආඝාතය ආදී වෙනත් ද්වීතියික රෝග ද ඇතිවිය හැකියි. ඊට අමතරව ස්නායු රෝග, අක්ෂි රෝග, වකුගඩු මෙන්ම පාද ආශි‍්‍රත සංකූලතා ද ඇති විමේ අවධානමක් ද තිබේ.

ඉහත පැහැදිලි කළ රෝග තත්ත්වවලට අමතරව පිළිකාවන් ද බෝ නොවන රෝග යටතට වර්ග කළ හැකියි. මේ සඳහා බොහෝදුරට හේතුවන්නේ ජානමය බලපෑම හා පාරිසරික සාධකයි. මීට අමතරව ශරීරයෙන්ම ඇතිවන බෝ නොවන රෝග ද තිබෙන අතර ඒවා Autoimmune diseases  ලෙසින් හැඳින්වේ. මේ සඳහා මූලික හේතුවන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතාවන්ය. ඒ වගේම විවිධ අසාත්මිකතා ද කායික රෝග යටතට වර්ග වේ.

අධික රුධිර පීඩන තත්ත්වය

ජීවන රටාව ආශි‍්‍රතව ඇතිවන බෝ නොවන රෝග අතරින් ඉතා සුලබව දැකගත හැකි රෝගයක් ලෙස මේ පිළිබඳ හඳුන්වාදිය හැකියි. මෙම රෝගී තත්ත්වයේදී බෝ නොවන රෝග යටතට වැටෙන අනෙකුත් බෝ නොවන රෝග මෙන්ම පූර්ව රෝග ලක්ෂණ ඉතා පැහැදිලිව හඳුනාගත නොහැකි වේ. නමුත් අධික රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන රෝගීන් අතුරින් ඉතා සුළුතරයකට වමනය, ඔලුව කරකැවිල්ල වැනි රෝග ලක්ෂණ තිබෙන බව පැවසුවත් බහුතරයකට එවැනි ලක්ෂණ හඳුනාගත නොහැකි වේ. මෙම රුධිරගත පීඩනය මනාලෙස පාලනය කිරීම ඉතා වැදගත් වන අතර එසේ නොකිරීමෙන් අංශභාග, වකුගඩු හානිවීම, හා හෘදයාබාධ ආදී රෝග ද්වීතික වශයෙන් ඇතිවිය හැකියි.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ට වැඩි අයකුට අධික රුධිර පීඩන තත්ත්වයක් තිබෙනවා නම් ඊට හේතුව දෛනික ජීවන රටාවේ ගැටලුවක් විය හැකියි. නමුත් අවුරුදු 40 ට අඩු අයකුට නම් ඒ සඳහා හේතුවිය හැක්කේ වෙනත් රෝග අවස්ථාවක් විය හැකියි. ඒ අනුව අවුරුදු 40 ට අඩු පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට පෙර පරීක්ෂණ ගණනාවක් සිදු කළ යුතුයි. හේතුව අදාළ රෝගයට බලපා ඇති හේතුව ඇතැම්විට වකුගඩු, රුධිර වාහිනී හෝ හොර්මෝන ග්‍රන්ථි ආශි‍්‍රත රෝගයක් විය හැකියි.

කොලෙස්ටරෝල් අධික වීම

බෝ නොවන රෝග තත්ත්ව යටතට වැටෙන තවත් රෝග අවස්ථාවක් ලෙස කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම පිළිබඳ හැඳින්විය හැකියි. මේ නිසා හෘදයාබාධ, ආඝාතය ඇති වීමේ ප්‍රවණතාව ඉතා වැඩි කරනු ලැබේ. තවද මෙහි විශේෂත්වය වන්නේ මූලිකව කිසිදු රෝග ලක්ෂණයක් හඳුනා ගැනීමට නොහැකි වීමයි. කොලෙස්ටරෝල් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් වන අතර ඒවා හොඳ සහ නරක කොලෙස්ටරෝල් ලෙස වර්ග කළ හැකියි. මෙම කොලෙස්ටරෝල් අගයන් වෙන් වශයෙන් පරීක්ෂා කර බලා ගත යුතු අතර ඒ සඳහා සිදු කෙරෙන පරීක්ෂණය ලිපිඩ් ප්‍රොෆයිල් ලෙසින් හැඳින්වේ.

සාමාන්‍යයෙන් මෙම පරික්ෂණය සඳහා පැය 12 ක කාලයක් නිරාහාරව සිටිය යුතු නමුත් ජලය ජලය පානය කිරීම ගැටලුවක් නොවේ. යම් අයකුගේ ශරීරයේ පැවතිය යුතු කොලෙස්ටරෝල් මට්ටම තීරණය වන්නේ ශරීරයේ පවතින අනෙකුත් රෝග තත්ත්ව අනුවයි. උදාහරණයක් ලෙස දියවැඩියා රෝගියකුගේ ශරීරයේ පැවතිය යුතු කොලෙස්ටරෝල් මට්ටම දියවැඩියාව නොමැති අයකුගේ කොලෙස්ටරෝල් මට්ටම්න් වෙනස් වනු ලැබේ.

අක්මාවේ තෙල් තැන්පත්වීම ගැටලුකාරීද?

අක්මාවේ තෙල් තැන්පත් වීමත් බෝ නොවන රෝග යටතට අයත් රෝගයක්. මෙහිදීත් රෝග ලක්ෂණ දැකගත නොහැකි නමුත් ඇතැම් විට බඩපුරවා දැමීම, උදරය ආශි‍්‍රත අපහසුතා ආදී ඇතැම් ලක්ෂණ දැකගත හැකියි. මේ තත්ත්වය අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවක් මඟින් හඳුනාගත හැකියි. තවද මධ්‍යසාර භාවිතා නොකරන අයටත් අක්මාවේ තෙල් තැන්පත් වීම නිසා සිරෝසිස් රෝග තත්ත්වයක් ඇති වේ. විශේෂයෙන්ම මෙරට කාන්තාවන්ගෙන් වැඩි පිරිසකට සිරෝසිස් ඇති වන්නේ අක්මාවේ තෙල් තැන්පත් විම නිසයි. සාමාන්‍යයෙන් කැලරි අධික ආහාර භාවිතය නිසා එහි අතිරික්තය අක්මාවේ තෙල් වශයෙන් තැන්පත්වීම මූලිකව මෙහිදී සිදු වේ.

අධික ස්ථුලතාවත් රෝගයක් වශයෙන් සැලකෙනවාද?

අධික ස්ථුලතාව වර්තමානය වන විට රෝගී තත්ත්වයක් වශයෙන් සලකනු ලැබේ. මේ හේතුවෙන් රෝග ගණනාවකට මුහුණ දීමට සිදුවන අතර විශේෂයෙන් බෝ නොවන රෝග වලට මුහුණ දීමට සිදුවීම ඉතා බරපතළ ගැටලුවක්.

බෝ වන රෝග අතුරින් සුලබ රෝග මොනවාද?

මේ යටතේ සාකච්ඡාවට ලක් වන්නේ විසබීජ මඟින් ඇති රෝග තත්ත්වයන්ය. මෙම රෝග සඳහා හේතුකාරක විසබීජ වර්ග රැසකි. ඒවා වෛරස්, බැක්ටීරියා පරපෝෂිතයන්, දිලීර ලෙස හැඳින්වේ. මෙම ප්‍රධාන වර්ගවලට අමතරව ර්‍ථපඪධද ලෙස වර්තමානයේ හඳුනාගත් බෝ වන රෝග ඇති වීමට බලපාන හේතුකාරකයක් ද තිබේ. මේ අතුරින් වර්තමානයේ බහුලව දක්නට ලැබෙන බෝ වන රෝග අතර වෛරස් හා බැක්ටීරියා නිසා ඇති වන රෝග ඉතා සුලබ රෝග ලෙස හඳුනාගත හැකියි.

වෛරස් හා බැක්ටීරියා නිසා ඇතිවන රෝග අතර වෙනස කුමක්ද?

සාමාන්‍යයෙන් වෛරස් රෝගයක් බැක්ටීරියාවන් නිසා ඇතිවන රෝගයකින් එකිනෙකට වෙනස් වේ. ඒ අනුව බැක්ටීරියාවන් නිසා ඇතිවන රෝගවලට ආවේණික පොදු ලක්ෂණ ද වෛරස් නිසා ඇතිවන රෝගවලට ආවේණික පොදු ලක්ෂණ ද වෙන් වශයෙන් හඳුනාගත හැකියි. ඒවගේම වෛරස් රෝගවලට ප්‍රතිජීවක මඟින් ප්‍රයෝජනයක් නොමැති අතර බැක්ටීරියාවන් නිසා ඇතිවන රෝග සඳහා එමඟින් ප්‍රතිකාර සිදු කෙරෙයි. නමුත් වෛරස් විනාශ කිරීම සඳහා ප්‍රතිකාර පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයක් සඳහා පමණි.

කෙසේ වෙතත් බොහෝ වෛරස් රෝග ස්වභාවිකවම ශරීර ප්‍රතිශක්තිකරණය මඟින් විනාශ වී යන අතර එසේ විනාශ නොවුණොහොත් නිෂ්චිත ප්‍රතිකාරයක් නොමැති කමින් අදාළ රෝගියා මරණයට පවා පත්විය හැකියි. වෛරස් රෝග සඳහා උදාහරණ ලෙස ඩෙංගු, සරම්ප, පැපොල, ජලභීතිකාව දැක්විය හැකියි. මෙම උදාහරණ අතුරින් බොහෝ වෛරස් රෝග සඳහා ප්‍රතිවෛරස් ප්‍රතිකාර නොමැති අතර සංකූලතා ඇති නොවුණහොත් රෝගය සුව අතට පත් වේ. නමුත් පැපොල වැනි රෝග සඳහා නම් ප්‍රතිවෛරස් පවතින නමුත් දැනට වසර 20 කට පමණ පෙර ඒ සඳහා ද නිශ්චිත ප්‍රතිචාරයක් නොතිබුණි. කෙසේ වෙතත් මෙවන් වෛරස් රෝගයකින් අනතුරුව සුවය ලබන රෝගියකුට විශාල ප්‍රතිශක්තිකරණ හැකියාවක් ශරීරය තුළ පවතින නිසා නැවත නැවත එකම වෛරස් කාණ්ඩය නිසා රෝග ඇති වීමේ අවධානමක් නොමැත. එසේ වුවත් බැක්ටීරියා නිසා ඇතිවන රෝග නැවත නැවත ඇති වීමේ අවධානමක් තිබේ. ඒ වගේම වෛරස් නිසා ඇතිවන රෝග සඳහා බොහෝදුරට එන්නත් වැඩි ප්‍රමාණයක් තිබෙන අතර බැක්ටීරියා සඳහා පවතින්නේ අඩු එන්නත් ප්‍රමාණයකි.

සාමාන්‍යයෙන් ප්‍රතිකාර පවතින වෛරස් රෝග ද තිබෙන අතර එම රෝග සඳහා උදාහරණ වශයෙන් පැපොල, හෙපටයිටීස් B,C,  ඉන්ෆ්ලුවැන්සා A(H1N1) සඳහා ඖෂධ තිබේ. ඒ වගේම HIV වෛරසය සඳහා ද වෛරසය විනාශ කිරීමට ප්‍රතිකාර නොමැති වුවත් එය පාලනය කිරීමට ප්‍රතිකාර පවතින බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ඩෙංගු වැනි රෝගී තත්ත්වයක් සලකා බැලුවහොත් සංකූලතා පාලනය කිරීමට පමණක් මේ සඳහා ප්‍රතිකාර පවතින අතර ජලභීතිකාව වැනි රෝග තත්ත්ව සඳහා නම් කිසිදු ප්‍රතිවෛරසයක් නොමැති බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. නමුත් ජලභීතිකාව සඳහා ද අදාළ රෝගකාරක වෛරසය ශරීර ගත වීමට පෙර එන්නතක් ලබා ගැනීම මඟින් රෝගය නිසා මිය යාම වළක්වා ගත හැකියි. නමුත් එසේ නොවුණහොත් අනිවාර්යයෙන්ම රෝගියා මිය යනු ලැබේ. බැක්ටීරියා නිසා ඇතිවන රෝග තත්ත්ව සඳහා උදාහරණ ලෙස මී උණ, උණ සන්නිපාතය, මුත්‍රා ආසාදන ආදිය පිළිබඳ හඳුනාගත හැකියි. නමුත් එම රෝග ද පෙර පැහැදිලි කළ ලෙස ප්‍රතිජීවක ලබා ගැනීම හරහා සාර්ථකව සුව කළ හැකියි.

දිලීර හා පරපෝෂිත රෝග මොනවාද?

පරපෝෂිතයන් නිසා ඇතිවන රෝග අතරින් මැලේරියාව ලොව පුරා ව්‍යාප්ත රෝගී තත්ත්වයක්. නමුත් වාසනාවට එය මේ වන විට ලංකාවෙන් සම්පූර්ණයෙන්ම තුරන්ව ගොස් අවසන්. තවද දිලීර රෝග නිසාද බෝ වන රෝග ඇතිවන අතර එවන් ආසාදන පුද්ලයෙකුගේ සම ආශි‍්‍රතව දැක ගත හැකියි. නමුත් HIV ආසාදනයකදී ශරීර ප්‍රතිශක්තිය දුර්වලවීම නිසා මෙම දිලීර ආසාදන ශරීර අභ්‍යන්තරයේ විවිධ කොටස් ආශි‍්‍රතව ද ඇති වීමේ ඉඩ කඩක් තිබේ. කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් සලකා බලන කල බෝ වන රෝග බෝ නොවන රෝග සමඟ සංසන්දනාත්මකව බැලීමේදී ඉතා අඩු අගයක පවතිනු ලැබේ. නමුත් බෝ වන රෝග කිහිපයක් පමණක් ඉතා තර්ජනාත්මකව පවතිනු ලැබේ. එම රෝග අතර ඩෙංගු, මී උණ ප්‍රධාන වේ.

ශරීරයේ ප්‍රතිශක්තිකරණ දුර්වලවීම නිසා ඇතිවන රෝග මොනවාද?

මෙවැනි රෝගත් බෝ නොවන රෝග කාණ්ඩයට අයත් වේ. නමුත් මීට බලපාන්නේ පෙර පැහැදිලි කළ පරදි ජීවන රටාවේ ගැටලු නොවන අතර ඒ සඳහා හේතුවන්නේ ශරීර ප්‍රතිශක්තිකරණය ආශි‍්‍රත විකෘතිතාවන්ය. මීට උදාහරණ ලෙස ඔස්ටියෝ ආතරයිටීස්, සුදු කබර, SLE වැනි රෝග තත්ත්ව පිළිබඳ හඳුන්වාදිය හැකියි. මෙවැනි තත්ත්වයකදී අදාළ පුද්ගලයාගේ ශරීරයට, ශරීර අභ්‍යන්තර සහ බාහිර දේ අතර වෙනස එසේ නැතිනම් ශරීරයට ඇතිවන තර්ජනාත්මක සංඝටක වෙන් කර හඳුනා ගැනීම අපහසු වේ. මේ නිසා ශරීර අභ්‍යන්තර තත්ත්වයන්ට ද බාහිර තර්ජන ලෙස සලකා ක්‍රියාකාරී වීමට පටන් ගනු ලැබේ.