දහනව වසරක කෝමාවකින් පසු ඇහැරුණු රෝගියෙක්

දහනව වසරක කෝමාවකින් පසු ඇහැරුණු රෝගියෙක්

කොමියුනිස්ට් පාලන සමයේ කෝමා තත්ත්වයට පත් වූ අයෙකු 19 වසරකට පසු ප්‍රකෘති ලෝකයට පිවිස තමාගේ මව් රට කොමිනියුස්ට් පාලනයෙන් මිදී නිදහස් රටක් බවට පත් වි සිටින අන්දම දැක අතිශය පුදුමයට පත් වූ පුවතක් පෝලන්තයෙන් වාර්තා වේ.

මේ එම අපූර්ව කතා පුවතයි

ජෑන් ග්‍රෙෂෙස්කි දුම්රිය සේවකයෙකු විය. 1988 වසරේදී දුම්රියක පෙට්ටි දෙකක් එකට අමුණා දැමීමට යාමේදී ග්‍රෙෂෙස්කිට දරුණු අනතුරකට මුහුණ දීමට සිදුවිය. ඒ කෝමා තත්ත්වයට පත් වීමයි. ඔහු පරික්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ ඔහුට වසර තුන, හතරකට වඩා ජීවත් වීමේ වරම් නැති බවය. එයට හේතුªව වශයෙන් ඔවුන් පෙන්වා දුන්නේ ග්‍රෙෂෙස්කි ගේ මොළයේ පිළිකා තත්ත්වයක් පැවතීමයි.

වෛද්‍යවරුන්ට ඔහු වෙනුවෙන් කළ හැකි ප්‍රතිකාරයක් නොමැති වූ නිසා ග්‍රෙෂෙස්කිගේ බිරිඳ ගර්ට්රූඩ් ඔහුව තම නිවසට ගෙන ගියේ හොඳින් බලා කියා ගැනීමටය.

මේ අයුරින් කෝමා තත්ත්වයේ පසුවන අය ජීවත් කරවීම ගැන නොයෙකුත් මති මතාන්තර පැවති අතර ඇතැමුන් ග්‍රෙෂෙස්කිට ඉයුතෙන්සියා යනුවෙන් හඳුන්වනු ලබන නීති්‍යානුකූලව ප්‍රාණය නිරුක්ත කිරීම කළ හැකි යැයි පැවසූහ. එවිට ඔහුගෙග් බිරිඳ තුළ මහත් කෝපයක් ඇති වූ බවත් ඇය ඔවුනට බැන වැදී පන්නා ගත් බවද පැවසේ. ග්‍රෙෂෙස්කිගේ බිරිඳ තුළ දැඩි විශ්වාසයක් පැවතුණේ කවදා හෝ ඔහු ප්‍රකෘති තත්ත්වයට පත්වනු ඇති බවය.

19 වසරකට පසු ග්‍රෙෂෙස්කි ගේ බිරිඳගේ සිහිනය සැබෑ විය. ග්‍රෙෂෙස්කි නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වනවිට පෝලන්තය කොමුයිනිස්ට් පාලනයෙන් බැහැර වී තිබීම ඔහුට අදහා ගත නොහැකි කරුණක් විය.

මෙම වෛද්‍ය හාස්කම කාගේත් විමතියට හේතු වූ අතර, මෙම වෙනස ගැන මහත් සේ පුදුමයට පත් වූයේ ඔහුගේ ජීවිතය ගැන බලාපොරොත්තු සුන්කර සිටි වෛද්‍යවරුන්ය.

ප්‍රකෘති තත්ත්වයට පත් වූ මුල් දින වලදී ඔහු කතා කළ වදන් එතරම් පැහැදිලි තත්ත්වයේ නොතිබුණු අතර ක්‍රමයෙන් කාලයත් සමඟ අදහස් ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්ත්තවයට පත් විය.

“දැන් එයාට අතීත සිදුවීම් සියල්ලම මතකයට නැගෙනවා. අපේ විවාහය, දරුවන්ගේ විවාහයන් ආදී සියල්ලම ක්‍රමයෙන් මතකයට නැංවෙනවා.” යැයි ඔහුගේ බිරිඳ ගර්ට්රූඩ් පැවසුවාය. වසර 19 ක් තිස්සේ ඔහුගේ සැප දුක් බලා කියාගෙන ඔහුගේ සිරුර හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම කෙරේ විශේෂ අවධානයකින් පසු වූ ගර්ට්රූඩ් තමාගේ ජීවිතය රැකදීමට මහත් පරිශ්‍රමයක් දැරූ නිසා තම ප්‍රාණය ආරක්ෂා වූ බව ග්‍රෙෂේකි පැවසීය.

මළ සිරුරක් ලෙස සිටි ජෑන් ග්‍රෙෂෙස්කි නැවත ජීවත් විමේ වරම් ලැබීම සත්‍ය වශයෙන්ම වෛද්‍ය හාස්කමක් ලෙස ඉතිහාසය ගතවනු ඇත.

තුසිත මලලසේකර