ඔබේ දරුවාගේ කථනය ප්‍රමාද ද?

ඔබේ දරුවාගේ කථනය ප්‍රමාද ද?

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය
මිහිර වික්‍රමාරච්චි

මෙම ලිපියෙන් ඔබට දරුවාගේ කථනයේ ප්‍රමාදයක් තිබේද යන්න තේරුම් ගැනීමටත් ඒ පිළිබඳව ඔබ කළ යුතු සහ කළ හැකි දේ පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ.

ප්‍රමාදය දැන ගන්නේ කෙසේද?

දරුවාගේ කථනය නිසි වයසේදී තිබිය යුතු කථනයට වඩා මාස 6 වඩා ප්‍රමාද නම් එය සැලකිය යුතු ප්‍රමාදයක් වේ. උදාහරණයක් ලෙස දරුවකු අර්ථාන්විත වචන කීම සාමාන්‍යයෙන් මාස 7 -8 ආරම්භ වේ. දරුවාට වයස අවුරුදු 1 වන විටදීත් අර්ථාන්විතව වචන නොපවසයි නම් එය ප්‍රමාදයක් ලෙස සැලකිය හැක.

ඔබ කළ යුතු දේ කුමක්ද?

ඉහත සඳහන් පරිදි දරුවාගේ කථන ප්‍රමාදයක් ඔබ නිරීක්ෂණය කළ වහාම ළමා වෛද්‍ය විශේෂඥවරයකුගේ හෝ කථන සහ භාෂා චිකිත්සකවරයකු හමු වී සහාය ලබාගත යුතු වේ.

ප්‍රමාදයක් සිදු වීමට හේතු මොනවාද?

ඩවුන්ස් සහලක්ෂණය (Down’s Syndrome), ඔටිසම් (Autism), , මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy),, බිහිරි බව හෝ කන ඇසීමේ දුර්වලතාවයන් යනාදී තත්ත්ව ඇති දරුවන්ගේ කථනය ප්‍රමාදය. මෙම තත්ත්ව නොමැති දරුවන්ගේ ඇති කථන ප්‍රමාදය නිවසේදී දරුවාට කථනය ඉගෙන ගැනීමට නිසි පරිසරයක් නොමැති වීම හේතු වේ.

නිසි පරිසරය යනු කුමක්ද?

දරුවකු ඉගෙන ගැනීම මූලික වශයෙන් අනුකරණයෙන් සහ අසා සිටීමෙන් සිදු වේ. වර්තමානයේ කාර්යබහුල මාපියන් කුඩා දරුවන් තම මාපියන් හෝ මෙහෙකාරිය සමඟ හෝ නිවසේ රදවා තබා රැකියා සඳහා පිටත් වේ. බොහෝ නිවෙස්වල දරුවාට සෙල්ලමු බඩු කිහිපක් ලබාදී හෝ දරුවාට කාටුන් බැලීමට සලස්වා නිවැසියන් තම වැඩ කටයුතුවල නියැලේ. දරුවාගේ අවශ්‍යතාවයන් සඳහා ද කාලසටහනක් සදාගන්නේ ද නිවැසියන්ගේ පහසුව පිණිසය. මේ හේතුන් මත දරුවා සමඟ සිදුවන සන්නිවේදනය බොහෝදුරට අවම වේ. බොහෝ මාපියන් දරුවාගේ ඇ¼ඩීම නවතා ගැනීමට දරුවාට යමක් ඉල්ලීමට පෙරම එම දේ දරුවා අතට පත් කරනු ලැබේ. ඉහත අවස්ථා සලකා බැලීමේදී දරුවාට තමන්ට අවැසි දේ ඉල්ලීමට අවස්ථාවක් ලැබී නැත. එහෙත් දරුවාට අවැසි දේ කිසිදු වෙහෙසකින් තොරව දරුවාට ලැබී ඇත. මෙවැනි පරිසරයක් යටතේ දරුවා කිසිසේත්ම තමාට අවැසි දේ වචනයෙන් ඉල්ලීමට පුරුදු වන්නේ නැත. බොහෝවිට ඇඬීමෙන්, කෝපාකාරී හැසිරීම් රටා පෙන්වමින් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පෙළඹේ.

ඔබට කළ හැකි දේ කුමක්ද?

දරුවා සමඟ හොඳ සන්නිවේදනය තිබීම සඳහා අවශ්‍ය පරිසරය සකසා ගැනීම ඔබට කළ හැකි පිළියමක් වේ. රැකියාවක නියැලෙන දෙමාපියන් නම් දරුවා සමඟ නිවසේ රැඳෙන කාලයේ දරුවා සමඟ හොඳින් කතා බස් කිරීම සිදු කළ යුතුය. ඔබ දරුවා සමඟ නිවසේ සිටි නම් දරුවා සෙල්ලම් කරන විට දරුවා සමඟ එකතු වී සෙල්ලම් කරමින් එහි සිදුවන දේ විස්තර කරමින් සෙල්ලම් කරන්න.

දරුවා නින්දට යාමේදී හෝ ගමන් බිමන් යාමේදී දරුවට කතාන්දර කියාදීම දරුවන්ට ඔබින ළමා ගීත දරුවා සමඟ ගායනා කිරීම වැනි දේ සිදු කරන්න.

දරුවා සමඟ හොඳ සන්නිවේදන කලාවක් ගොඩ නගාගන්න. දරුවා කිසියම් දෙයක් ඉල්ලන තෙක් කිසිවක් නොදෙන්න. මෙහිදී හැකි පමණින් දරුවාගෙන් වචනයක් ලබා ගැනීමට උත්සාහ කරන්න.

දරුවා ඉල්ලන දේ නම ඔබ විසින් පවසා දරුවාට එය නැවත කීමට පවසන්න. එමෙන්ම කථන සහ භාෂා චිකිත්සකවරයෙකුගේ සහය ලබා ගැනීමට ද කටයුතු කරන්න.