වාචික පරීක්ෂණයට මුහුණ දෙන්න බැරිව අතපය වෙව්ලන්න පටන් ගත්තා

වාචික පරීක්ෂණයට මුහුණ දෙන්න බැරිව අතපය වෙව්ලන්න පටන් ගත්තා

කරාපිටිය ශික්ෂණ රෝහලේ

සංවර්ධන සහකාර (මානසික සෞඛ්‍යය)

මනෝ චිකිත්සක හා මනෝ විද්‍යා උපදේශිකා

නිල්මිණී හෙට්ටිගොඩ

පිරිසක් ඉදිරියේ කථා කරන විට, හද ගැස්ම වැඩි වෙනවා, දහඩිය දමනවා, අතපය ශීතල වෙනවා, ගොත ගැහෙනවා මේ හේතුවෙන් උපාධි අපේක්ෂිකාව සරසවියට සමුදෙයිද?

23 හැවිරිදි යශෝධා නාගරික පරිසරයක හැදුණ වැඩුණ දක්ෂතා පිරුණු දරුවෙකි. අධ්‍යාපනයට තිබූ දක්ෂතාවය හේතුවෙන්ම පළමුවර උසස් පෙළ විභාගය සමත් වුයේ් දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ලබා ගනිමින් දෙමාපිය හා ගුරුවරුන්ගේ බලාපොරොත්තු ඉටු කරමිනි. ඉහළින්ම සරසවි වරම් ලැබූ යශෝධා දහසකුත් සිතුම් පැතුම් පොදි බැඳගෙන සරසවියට ඇතුළු වුණා.

ඉතා සතුටින් සරසවි අධ්‍යාපන කටයුතුවල නියැලුනු ඇය හිටි හැටියේම තම දෙමාපියන්ට බල කරන්න පටන් ගත්තේ තමාව ගෙදර රැගෙන යන ලෙසයි. මෙයින් දැඩිලෙස කලබලයට පත් දෙමාපියන්, කෙසේ හෝ ඇයගේ උපාධි පාඨමාලාව අවසන් කර නැවත ගෙදර එන ලෙස ඇයව අස්වැසුවා. තවත් දින කිහිපයකින් ඇය තම ජීවිතයෙන් පලා යාමට සිතා සිටියත් ඊට පෙර ඇයට නිවසට පැමිණීමට අවශ්‍ය බව ඇය දැඩි ලෙසම කියා සිටියා. මේ පිළිබඳව දෙමාපියන් ඇයගෙන් කරුණු විමසුවත් ඇය මුනිවත රැක්කා. දැඩි අපහසුවට පත් වූ ඇගේ මව්පියන් ඇයව නිවසට රැගෙනවිත් මනෝ චිකිත්සකවරයෙකු වෙත යොමු කළා.

වෘත්තියෙන් ගුරුවරුන් දෙපළක් වූ මෙම දෙමාපියන් තම දරුවාගේ ගැටලුවට ඉක්මන් හා නිසි පිළිතුරු සෙවීමට මනෝ චිකිත්සකවරයෙකුගේ සහාය පැතීමට බුද්ධිමත් වුණා.

ක්‍රමයෙන් මනෝ චිකිත්සකවරයා යශෝධාගේ ගැටලුව අධ්‍යයනය කරනු ලැබුවා. තව නොබෝ දිනකින් යශෝධාට තම පළමු වසර විභාගයේ වාචික පරීක්ෂණය වෙත ඉදිරිපත් වීමට ඇති බව ඇය පවසා සිටියා. මේ සඳහා ඉදිරිපත් වීම කිසිසේත්ම කළ නොහැකි බැවින් ඇය නිවසට පැමිණියේ සරසවියට සමු දෙන අදහසින්. එහෙත් ලිඛිත පරීක්ෂණයට මනාව මුහුණ දී තිබූ යශෝධා උපරිම ලකුණු බලාපොරොත්තුවෙන් හිටියේ. ඇයට තිබූ ලොකුම අපහසුව පිරිසක් ඉදිරියේ කතා කිරීමයි. සරසවියේ පළමු විභාගයේ ලිඛිත පරීක්ෂණ අවසන් කළ ඇය, තමාට ඉදිරියේදී මුහුණ දීමට ඇති වාචික පරීක්ෂණය පිළිබඳව නොසිතා සිටීමට උත්සාහ කළා. මෙසේ වාචික පරීක්ෂණය අමතක කරන විට ඇය ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කළා.

එහෙත් තව සතියක් තුළ ඇයට තම වාචික පරීක්ෂණය අවසන් කිරීමට නියමිතව තිබුණා. මේ කාලය තුළ ඇයට නිතර නිතරම තම ඉදිරිපත් කිරීම පිළිබඳව කල්පනා වුණා. මේ එක්කම ඇයට හද ගැස්ම වැඩි වන බවත්, අත්වලට දහඩිය දැමීමත්, උගුරකට වියලෙන බවකුත්, ඔක්කාර ගතියකුත් දැඩි නොසන්සුන් බවකුත් දැනෙන්න පටන් ගත්තාය. වාචික පරීක්ෂණයට ඇත්තේ තව දින දෙකක් පමණයි. ඇය කෙසේ හෝ පරික්ෂණයට මුහුණ දෙන අටියෙන් තම ඉදිරිපත් කිරීම කරන අයුරු මනසින් මෙනෙහි කළා. මේ අවස්ථාවේ ඇයගේ ඉහත රෝග ලක්ෂණ ඉහළ යන බවත්, සියළුම කරුණු අමතක වී ගෙන යන බවකුත් දැනුණා. මේ හේතුවෙන් ඇගේ බිය දෙගුණ තෙගුණ වෙන්නට පටන් ගත්තා. ඒ නිසා ඇය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණා. විශේෂ කායික අසනීපයක් නොමැති බවත් ඒ නිසා ප්‍රතිකාර අවශ්‍යය නොවන බවත් වෛද්‍ය නිගමනය වුණා.

මෙලෙස අවිනිශ්චිත බවකින් පෙළෙමින් සිටි යශෝධාට තම වාචික පරික්ෂණයට මුහුණ දෙන දිනය උදා වුණා. උදේ ඉඳන්ම ඔක්කාර ගතිය, නිතර දැනෙන මුත්‍රා බර, හෘද ස්පන්දනයේ වේගවත් බව ඇයව අපහසුවට පත් කළා. මෙම තත්ත්වය කෙසේ හෝ පාලනය කර ගනිමියි සිතා ඇය එම පරීක්ෂණය පැවැත්වෙන ශාලාව වෙත නියමිත වෙලාවට පිය නැගුවා. එහිදී ඉහත ලක්ෂණ දැඩිව අත්දකිනු ලැබූ යශෝධාට තමාට තමාව පාලනය කරගත නොහැකිවේවි යන බියක්, සියළුම කරුණු අමතක වන බවකුත් ඇයට දැනෙන්නට වුණා. ඉන්පසු ඇය නැවතත් නේවාසිකාගාරය වෙත පියනැගුවේ තවත් අයෙකුගේ සහය ද ඇතුවයි.

මෙම තත්ත්වයය සමාජ භීතිකාව ලෙස හඳුන්වනවා. (ඉධජඪචත ර්‍ථඡධඡඪච) මෙම තත්ත්වය යටතේ මනෝ චිකිත්සකවරයෙකු වෙත යොමු කරන ලද යශෝධා උපදේශනය හා මනෝ ප්‍රතිකාර තුළින්, සති කිහිපයක් තුළ පූර්ණ සුවය ලැබුවා. පසුව නැවතත් ඇය සරසවිය බලා පිටත් වූ අතර, අදාල වාචික පරීක්ෂණවලට ද ඉතා හොඳින් මුහුණ දෙමින් තම කණ්ඩායමේ ඉහළම ලකුණු ලබා ගත් ළමයින් අතරට එකතු වුණා.

මොකක්ද මේ සමාජ භීතිකාව කියන්නෙ?

මෙහිදී පුද්ගලයා තුළ ප්‍රධාන වශයෙන්ම ඇති වෙන්නෙ තමා ගැන අන් අය විවේචනශීලිව බලන්නේ යන හැඟීමයි. එමෙන්ම අන් අය තමා පිළිබඳව අවධානයෙන් පසු වන්නේය සහ ඔවුන් තමාව අවතක්සේරු කරාවි යන අහේතුකවාදි බියක් මොවුන් තුළ දක්නට ලැබේ. මෙහිදී ඍණ සිතිවිලි (Negative Thoughts)  ලෙස අන් අය තමාව අදක්ෂයෙකු බව, අඩුපාඩු සහිත පුද්ගලයකු බව, තමාගෙග් පෞරුෂයෙහි යම් අඩුපාඩු සහිත බවක් ඇතැයි ලෙස හැඟෙනු ඇතැයි මොවූහු නිතර බියෙන් පසු වෙති. මෙම හීනමානි සිතිවිලි හේතුවෙන් මොවුන් සමාජ ඇසුරට අධිකව බිය වෙති. මෙහිදී අන් අය තමාව විවේචනය කරාවි යන අනියත බිය චකිතය හේතුවෙන් සමාජ ඇසුරෙහිද දහඩිය දැමීම, මුහුණ රතුවීම, සියුම් වෙව්ලීම, වචන පැටලීම වැනි ලක්ෂණ අත්දකී. මෙහිදී අන් අයට තම වෙනස පෙනේවි යන බියත්, ලැජ්ජාවත් මෙන්ම තමන් මේ අවස්ථාවේ යම් නොගැලපෙන දෙයක් කරාවි යන බිය දැඩිව දැනේ.

තවද මොවුන්ගෙන් පිරිසක්, සමාජ අවස්ථාවල තමාට පාලනය කරගත නොහැකිව යම් නුසුදුසු ශාරීරික ක්‍රියාවන් සිදු වේවි යන අහේතුක බියකින් දැඩිව අසහනයට පත් වෙති. නිතර මලපහ කිරීමට අවශ්‍යය වේවි, මුත්‍රා පිටවීම පාලනයකින් තොරව සිදු ෙවිව්, ආමවාතය පිටවේවි, ආමාශයේ ඇතිවන ශබ්ද අන් අයට දැනේවි යන සිතිවිලිවල එල්බගෙන සිටී. එමෙන්ම පිරිසක් ඉදිරියෙහි කතා කිරීමේදී, යම් ඉදිරිපත් කිරීමක් කිරීමේදී (Presentation)  තමාට කියාගන්න දෙයක් නැති වේවි (හිස්බව), කරුණු අමතක වේවි, යම් නොගැලපෙන දෙයක් කියවේවි යන බියක් ඒ හේතුවෙන් අන් අය ඉදිරියේ තමාට ලැජ්ජාවීමට සිදුවේවි යන අනියත බියකින් මොවුහු පීඩා විදිති.

කොහොමද මේ තත්ත්වය හඳුනා ගන්නේ?

මොනවද මෙහි ලක්ෂණ?

පිරිසක් ඉදිරියේ කතා කිරීමට බිය වීම

පාසල් ළමයෙකු නම් පන්ති කාමරයේදී යම් ප්‍රශ්නයකට උත්තර දීම ගුරුවරයෙකුගෙන් ප්‍රශ්න ඇසීම නොකරයි.

පෝලිමක සිටගෙන සිටීම ද මොවුන්ව අපහසුවට පත් කරයි.

උත්සව අවස්ථාවකට සහභාගි වීමට බිය

අන් අය ඉදිරියේ දුරකථන ඇමතුමක් ලබා ගැනීමට, දුරකථන ඇමතුමකට පිළිතුරු දීමට මොවුන්ට අපහසුය.

පොදු වැසිකිලි භාවිතය, පොදු ප්‍රවාහන සේවය තුළ ගමන් කිරීමද මොවුනට අපහසුය.

ඉහත අවස්ථා මඟහැරීමට පුරුදු වීම තුළින් තාවකාලික සහනයක් ලබා ගැනීමට මොවූහු පෙළඹෙති. තවත් සමහරු මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙති. මෙම සමාජ භීතිකාවෙන් පෙලෙන අයගේ මූලිකවම ලක්ෂණයක් නම් තවත් අයෙකු සමඟ සංවාදයෙහි යෙදෙන විට අනෙකාගේ මුහුණ දෙස එක එල්ලේ නොබැලීමයි. (noor eye contact)  මෙසේ සමාජ අවස්ථා මඟහරින විට පුද්ගලයා හුදකලාවීම, අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණීම, රැකියා කටයුතු නිසිපරිදි සිදු කිරීමට අපහසුවීම එමඟින් පුද්ගල ක්‍රියාකාරීත්වයෙහි පරිහානියක් දක්නට පුළුවන.

මෙම තත්ත්වය සුව කළ හැකිද?

ඔව්. මෙය පූර්ව වශයෙන්ම මනෝ ප්‍රතිකාර හා උපදේශනය එමඟින්ම සුවකළ හැකි තත්ත්වයකි. බොහෝවිට ඖෂධ ප්‍රතිකාර අවශ්‍යය නොවේ. මෙවැනි අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමත්, පළපුරුදු මනෝ චිකිත්සකවරයෙකු වෙත යොමු වීමත් එමඟින් සමාජ භීතිකා තත්ත්වයෙන් ඔබටත් පූර්ණ වශයෙන් මිදීමට හැකි වේ.