දකුණු ආසියාෙවි ප්‍රථම අංග සම්පූර්ණ වකුගඩු රෝහල

දකුණු ආසියාෙවි ප්‍රථම අංග සම්පූර්ණ වකුගඩු රෝහල

චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල

නීරෝගි ප්‍රජාවක් යනු හැමවිටම මානව සමාජයේ දියුණුව පිළිබිඹු කරන ප්‍රධානතම සාධකයකි. විශේෂයෙන්ම රටක සංවර්ධනය තීරණය කරන මිනුම් දඬු අතර සෞඛ්‍යයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වනුයේ ඵලදායිතාව හා සෞඛ්‍යය අතර විශාල අන්තර් සම්බන්ධතාවක් ඇති බැවිනි.

එසේ වුවත් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට දැඩි තර්ජනයක් වී ඇති වකුගඩු රෝගය අද වන විට සමස්ත සමාජයටම බලපෑමක් සහිත ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවලින් එකක් බවට පත් වී ඇත. දිනෙන් දින සංඛ්‍යාත්මකව වර්ධනය වන මේ ගැටලුව තුළින් තවත් ගැටලු රාශියක් මතුවීම ද මෙහි සංකීර්ණ බව තව තවත් වැඩි කිරීමට හේතු වී ඇත. රෝගියා ඇතුළු එම පවුල්වලට මේ නිසා සිදුවන අගතිය අති මහත්ය. ඊට අමතරව ඉන් සමාජයටත්, රටටත් සිදුවන බලපෑම ද ඒ හා සමානය. එබැවින් මේ ගැටලුව හමුවේ වැඩිවන රෝගීන් වෙනුවෙන් ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් සැපයීම මෙන්ම රෝගය වළක්වා ගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය කිරීම ද අද ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

මේ අතර රජරට ප්‍රදේශයට බලපා ඇති වකුගඩු රෝග තත්ත්වය වඩාත් කතාබහට හා අවධානයට ලක්වන ගැටලුවකි. නිදන්ගත වකුගඩු රෝගය ඒ අතරින් විශේෂිතය.

එදා පුලතිසිපුරය අතීත රජ දවස පටන් රටට බත සැපයූ අභිමානවත් පුරවරයකි. ඒ වැව් බැඳි රාජ්‍යයේ අභිමානය පරදා, මතුව ඇති වකුගඩු රෝගය ජය ගැනීම අද ඇති ප්‍රධානතම අභියෝගය බවට පත්ව ඇත.

දිනෙන් දින මෙම ප්‍රදේශවල නිවෙසක් පාසා හඳුනා ගැනෙන රෝගීන් හේතුවෙන් නැතිනම් එහි සංඛ්‍යාත්මක වර්ධනය හේතුවෙන් එය ජාතික වශයෙන් බලපාන්නා වූ ගැටලුවක් ලෙස හඳුනා ගනිමින් අවශ්‍ය ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට හා ජාතික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ වකුගඩු රෝග සඳහාම වෙන් වූ ප්‍රතිකාර සේවා හා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට මෙන්ම රෝගය කල් තබා හඳුනාගැනීමට හා වලක්වා ගැනීමට කටයුතු කිරීමටත් එමෙන්ම වකුගඩු රෝගය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කරමින් රෝගයට ගොදුරු විය හැකි තත්ත්වයන් වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් සිදු කරමින් පවතින අතර එම සේවා ගුණාත්මකභාවයෙන් හා සුරක්ෂිතභාවයෙන් යුක්තව තවදුරටත් පුළුල් කිරීම මේ වන විට ප්‍රමුඛ අරමුණු අතර වේ.

නව අපේක්ෂා දැල්වුමක්

වකුගඩු රෝගයට ගොදුරු වු පුද්ගලයන්ගේ ජීවිතාපේක්ෂාව ඉහළ නැංවීම උදෙසා සිදු කළ යුතු කාර්යභාරයන් අතර අවශ්‍ය ප්‍රතිකාර සේවා තවදුරටත් පුළුල් කරමින් ඉදිකිරීමට යෝජිත චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය ලද දැවැන්ත ජයග්‍රහණයක් ලෙසින් හඳුන්වා දිය හැක. රුපියල් බිලියන 12 ක එසේත් නැතිනම් රුපියල් කෝටි එක්දහස් දෙසීයක වියදමින් ඉදි කිරිමට අපේක්ෂිත ජාතික වෘක්කවේද විශේෂිත රෝහල චීන රජයේ පූර්ණ ප්‍රදානයකි.

චීන ශ්‍රී ලංකා මිතු දමේ ප්‍රතිඵලයක්

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින දිගු මිත්‍රත්වයේ එනම් වසර 60 ක මිතුදමේ ප්‍රතිඵලයක් අනුව ලැබුණු මෙම ප්‍රදානය 2015 දී සිදු කෙරුණු ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ චීන සංචාරයේ සාකච්ඡාවක ප්‍රතිඵලයකි.

එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු අනුව වකුගඩු රෝගීන්ගේ ගැටලු හා අඩු පහසුකම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ජනාධිපතිිතුමන්ගේ ඉල්ලීමක් අනුව චීන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙම අති නවීන වෘක්කවේද විශේෂිත රෝහල ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ 28 වැනි සැතපුම් කණුව අසල පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ සිට මීටර් 600 ක් පමණ කදුරුවෙල නගරය දෙසින් අක්කර 16 ක භූමි ප්‍රමාණයක ඉදිවන මේ ජාතික වෘක්කවේද විශේෂිත රෝහලට අවශ්‍ය භූමි ප්‍රමාණය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ මූලිකත්වයෙන් හා අධීක්ෂණය යටතේ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් ලබා දී තිබේ. ඒ අනුව රෝහලට අවශ්‍ය භූමි ප්‍රමාණය ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයෙන් ලබාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සිදු වී ඇත.

විශිෂ්ට නිර්මාණ සැලසුම

ඉපැරණි ශ්‍රී ලාංකේය හෙළ කලා විස්කම් මුසු වූ ගෘහ නිර්මාණ ශිල්පවලින් අලංකෘතව හා අති නවීන තාක්ෂණික ක්‍රමවේද සමඟ මුසුකොට ගොඩ නැංවෙන මෙම ජාතික වෘක්කවේද විශේෂිත රෝහල එහි නිර්මාණ සැලසුම හේතුවෙන් ද ජනතා අවධානයට පාත්‍ර වී තිබේ. විශේෂයෙන් මහනුවර මඟුල් මඩුවේ හා ඇම්බැක්ක දේවාලයේ කැටයම් මුසුව මෙම රෝහලට ඉතාම විශේෂිත හා අභිමානවත් පෙනුමක් එක් කර ඇත. තවද වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කර ඇති මෙම ගොඩනැගිලි සැලසුම අංශ ගණනාවකින් විශේෂිත වනු ඇත.

අංශ ගණනාවකින් සමන්විත අංග සම්පූර්ණ රෝහලක්

යෝජිත ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අති නවීනතම පහසුකම් රැසකින් සමන්විත අංග සම්පූර්ණ රෝහලකි.

අති නවීන හා අංග සම්පූර්ණ පහසුකම් සහිත අංශ ගණනාවක්

වර්ග මීටර් 25,210 ක මහල් සංකීර්ණ ගොඩනැඟිල්ලක් ලෙස ඉදිවන මෙම රෝහල රුධිර කාන්දුකරණ ඇඳන් 100 කින් සමන්විතය. බාහිර රෝගී අංශය, වෛද්‍ය තාක්ෂණික අංශය නේවාසික රෝගීන් සඳහා වන අංශය, පරිපාලන අංශය, පර්යේෂණ හා සංවර්ධන අංශය, ආසන 200 ක් පැනවිය හැකි අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය, සහයක සේවා අංශ, ආරක්ෂක සේවා අංශ, විශේෂ අවශ්‍යතා සහිත අය සඳහා වෙන් වූ පහසුකම්, ආහාර පිළියෙල කිරීම සඳහා වෙන් වූ මුළුතැන්ගේ පහසුකම්, භෝජනාගාර, විදුලි හා බලශක්ති ඒකක, ආරක්ෂක පද්ධති, වෛද්‍ය වායු සැපයුම් ඒකකය, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නවීනතම ක්‍රමවේද සහිත පහසුකම්, වාහන 300 ක් නවතා තැබිය හැකි රථ ගාල ඇතුළු අති විශාල පහසුකම් රැසකින් මෙම රෝහල සමන්විතය.

එසේම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩල සඳහා වන නේවාසිකාගාර පහසුකම් ඉතා ක්‍රමානුකූල හා අංග සම්පූර්ණ පහසුකම්වලින් යුක්තව සැලසුම් කර ඇත.

ZONE PLANNING ක්‍රමය

රෝහල් පරිශ්‍රයක් තුළ ඊට අදාළ අංශ ඉතා ක්‍රමානුකූලව යෝග්‍ය ස්ථාන අනුව සැලසුම් කිරිම බෙහෙවින් වැදගත් වේ.

විසබීජ එකිනෙක මුහු නොවන පරිදි රෝහල් අංශවල කටයුතු ක්‍රියාත්මක කිරීමට (Zoning Concept) එය බෙහෙවින් අදාළ වේ.

ජාතික වෘක්කවේද විශේෂිත රෝහල මුළුමනින්ම එවැනි සැලසුමක් ඇතිව ගොඩ නංවෙන රෝහලකි.

දිවා කාල විශේෂ ප්‍රතිකාර සේවය (Day Care Wards)

රුධිරකාන්දුකරණ ප්‍රතිකාරවලට අදාළ විශේෂ දිවා කාල ප්‍රතිකාර සේවය ද විශේෂිතය. ඇඳන් අටකින් යුත් දිවා කාල ප්‍රතිකාර වාට්ටුව රෝගීන්ගේ සුවසහනය වෙනුවෙන් මනාව කැප වන විශේෂිත අංශයක් ලෙසින් දැක්විය හැක.

වෛද්‍ය තාක්ෂණික සේවා

මේ යටතේ ලොව තාක්ෂණිකව දියුණු කරන ලද විකිරණ පරික්ෂණ සේවා ගණනාවක් ක්‍රියාත්මක වනු ඇත. සී ටී, අල්ට්‍රාසවුන්ඩ් ස්කැන්, Digital Imaging  ආදී ඉතා නවීනතම ඩිජිටල් තාක්ෂණික සේවා මෙහිදී රෝගියාට හිමි වේ. මෙම නවීන ක්‍රම තුළින් රෝගියාට වඩා සෞඛ්‍යාරක්ෂිත හා ගුණාත්මක සේවාවන් ලැබීමේ අවස්ථාව උදා වේ. අංග සම්පූර්ණ රසායනාගාරය ද මෙම රෝහලේ නවින අංශ අතර විශේෂිත වනු ඇත.

විශේෂ වෛද්‍ය පර්යේෂණාගාරය

විවිධ වෛද්‍ය පරික්ෂණ සිදු කිරීමේ කටයුතුවලට අමතරව පර්යේෂකයන් සඳහාම වන අංග සම්පූර්ණ පහසුකම්වලින් යුත් පරීක්ෂණාගාරයක් මෙහි ස්ථාපිත කෙරෙනු ඇත. වකුගඩු රෝගවලට අදාළ මූල හේතු හඳුනා ගැනීම සඳහා වන පර්යේෂණ සඳහා මෙම පර්යේෂණාගාරය මනා පිටිවහලක් සපයනු ඇත.

අංග සම්පූර්ණ ශල්‍යාගාර

අංග සම්පූර්ණ ශල්‍යාගාර ඒකකයකින් සමන්විත මෙම රෝහල වගගඩු හා අවයව බද්ධ කිරීමේ අංශයක් (තෝරාගත් ශල්‍යකර්ම සඳහා) නිර්වින්දන ඒකකයක්, ශල්‍ය දැඩි සත්කාර ඒකකයක්, වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් යන අංශවලින් සමන්විතය. ඇඳන් 10 බැගින් වූ ශල්‍යාගාර දෙකක් ඒ අනුව මෙම රෝහලට ඇතුළත් වේ.

රුධිර කාන්දුකරණ අංශය

රුධිර කාන්දුකරණය සඳහා මේ වන විට ලෝකයේ භාවිත වන නවීනතම පහසුකම්වලින් මෙම ඒකකය සමන්විත වේ. ලෝකයේ වෙනත් රටවල භාවිත වන ආකාරයෙන්ම (විශේෂ පුටු භාවිතය ආදී) මෙහි ප්‍රතිකාර සැලසුම් කිරීම විශේෂත්වයක් ලෙස හඳුන්වා දිය හැක.

නීල හරිත සංකල්පයට මුල්තැන දේ

දකුණු ආසියාවේ ප්‍රථම අංග සම්පූර්ණ වකුගඩු රෝහල වශයෙන් ඉදිවන මෙම ජාතික වෘක්කවේද විශේෂිත රෝහල සොබා දහමට අවනත, සොබා දහමට සමාගාමී පිළිවෙත් අනුගමනය කරන වැඩ පිළිවෙල රැසක් සහිත රෝහලක් වීම අවධානයට පාත්‍ර වන කරුණකි.

සොබා දහමේ හරිත පැහැය රෝගියාගේ සුව සහනයට මනා පිටිවහලක් ලෙස මුසු කිරීමේ අදහස පෙරදැරිව ගහ කොළ, පිරිසුදු වාතය ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය වැනි සාධක වැඩි වශයෙන් මෙම රෝහල් පරිශ්‍රය තුළ ඉස්මතු වන ආකාරයට මෙහි නිර්මාණ සැලැසුම් සිදුකර ඇත. මෙම නිර්මාණ සැලැසුමට අනුව රෝගියාට මෙන්ම ඔවුන්ගේ ඥාතින් හටද ‘නිවෙස’ වැනි හැඟීමක් ලබාදීමට එමඟින් කටයුතු කර ඇත.

දැනුම හා හැකියා සියල්ල එක තැනකට

තෝරාගත් රෝගීන් වෙනුවෙන්ම විශේෂිතව, සංකල්පමය සැලැසුමකට අනුව ඉදිවන මෙම චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදි කෙරුණු රෝහල් අභිබවා ඉහළට ඔසවා තැබෙන විශේෂ සාධක ගණනාවකින් සමන්විතය.

රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සෙසු සියලු අංශවල කාර්යය මණ්ඩල පොළොන්නරුව වැනි කොළඹින් ඈත ප්‍රදේශයක රඳවා ගැනීමට ඇති අභියෝග මැනැවින් අධ්‍යයනය කරමින් එම අවශ්‍යතා සපුරන පරිදි සැලසුම් කර ඇති පලදායී සැලසුම් මඟින් රෝහලේ සේවාව හා එහි ගුණාත්මකභාවය ඉතා මැනවින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව මෙම රෝහලේ සේවා දායකත්වය සපයන වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයකට හා හෙද කාර්යය මණ්ඩලයේ විශාල ප්‍රමාණයකට ඉතා සුවිශේෂිව සැකසූ නේවාසික පහසුකම් සැලැසුම් කොට තිබේ.

තිරසාර අනාගත සැලසුම්

වසර 2020 දී සාදා නිම කිරීමට අපේක්ෂිත මෙම රෝහල් භූමියේ සෑම බිම් අඟලක් පාසා ඉතාමත් මැනවින් සැලසුම් කර ඇත්තේ තිරසාර අනාගත සැලැසුම් හා අපේක්ෂා මනාව සැලකිල්ලට ගනිමින්ය.

ඒ අනුව රෝහලේ අනාගත සැලසුම් සඳහා වෙන් කරන ලද වෙනමම භූමි ප්‍රමාණයක් මෙම රෝහල සතුය. ඒ අනුව අනාගතයේදී මෙම රෝහලට අදාළ යම් සැලැසුමක් සිදුකිරීම හෝ වෙනත් ඉදි කිරීම් කටයුත්තක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් චීන රජය සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා කර ඇත.

දීර්ඝකාලීන අධ්‍යයනයක ප්‍රතිඵලයක්

රෝහල් භූමිය තෝරා ගැනීමේ කටයුත්තේදී ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යයනයන් රැසක් සිදුකර තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව පසුගිය වසර පනහක කාලය තුළ කාලගුණික තත්ත්වයන්, සුළං දිශා අධ්‍යයනය කිරීම මෙන්ම භූගත සමීක්ෂණ ගණනාවක් සිදු කොට තිබේ. ස්වභාවික ආපදා පිළිබඳ අධ්‍යයනයන් ද ඊට ඇතුළත්ය. එවැනි ගැඹුරු විශ්ලේෂිත අධ්‍යයනයන් ගණනාවකින් අනතුරුව මෙම භූමිය රෝහල සඳහා තෝරාගෙන තිබීම ද විශේෂිත වේ.

අපද්‍රව්‍ය බැහැර කිරීම වගකීමෙන් සිදු කරයි

රෝහලෙන් මුදාහරින අපද්‍රව්‍ය සියල්ලක් නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින් විධිමත් ලෙස බැහැර කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව අපද්‍රව්‍ය අවදානමෙන් තොරව බැහැර කිරිම මඟින් පරිසරයට තර්ජනයක් ඇතිවීමේ ඉඩකඩ මුළුමනින්ම වළක්වනු ඇත.

විශිෂ්ට ආයෝජනයක් බවට පත්කර ගැනීම සඳහා තළ හැකි දේ

රෝහල ඉදි කිරීම සඳහා වැයවන පිරිවැය සමස්ත ලාංකේය පුරවැසියන්ගේ නිරෝගීභාවයේ පැතුම වන අතර එය තවදුරටත් ශක්තිමක් කිරීමට හා පුළුල් කිරීමට කළ හැකි දේ බොහෝය.

අනාගතයේදී මෙම රෝහල ශ්‍රී ලාංකික අනන්‍යතාව ලොවට විදහාපාන වකුගඩු ප්‍රතිකාර කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට අතිගරු ජනාධිපතිතුමන්ගේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර ඇත.

පොළොන්නරුවෙන් එපිට ඈත ගම් දනව් දක්වා සෙත සැලසේ

යෝජිත ජාතික වෘක්කවේද විශේෂිත රෝහල පොළොන්නරුවෙන් එපිට ගම් දනව් අති විහල ප්‍රමාණයක ජනතාවට සෙත සලසන රෝහලක් වනු ඇත.

ඒ අනුව පළාත් ගණනාවක හා දිස්ත්‍රික්ක ගණනාවක අති විශාල ජනතාවකට මෙම රෝහල ඉමහත් බලාපොරොත්තුවක් වනු ඇත. විශේෂයෙන් උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව වැනි ප්‍රදේශ ගණනාවක් මේ යටතේ ආවරණය වේ.

නිර්මාණ සැලසුම්කරණය

මෙම නිර්මාණ සැලසුම චීිනයේ බීජිං ඉන්ස්ටිටියුට් ඔෆ් ආකිටෙක්චරල් ඩිසයින් සමාගම විසින් සිදු කොට ඇත. එම සමාගම විසින් මෙයට පෙර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ නෙළුම් පොකුණ රඟහල හා කොළඹ නෙළුම් කුළුණේ නිර්මාණ සැලසුම් සිදු කළ ආයතනය වීම ද විශේෂත්වයකි.

ඉතා දිගු කාලයක් පුරා මනා සැලකිල්ලෙන් හා ඉමහත් පරිශ්‍රමයක් දරමින් සැලසුම් කරන ලද චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අනාගතයේ අපේක්ෂා දෑසින් හා අපේක්ෂා දහසක් සිත් හි දරා සිටින රෝගීනට මෙන්ම ඔවුන්ගේ පවුල්වලට පමණක් නොව මුළු රටටම නිරෝගීභාවය හා සැනසුම ගෙනෙන ස්ථානයක් වනු දැකීම මේ දැවැන්ත ව්‍යාපෘතියේ සැබෑ අපේක්ෂාවයි.