පොළොන්නරුව වකුගඩු ආරක්ෂණ පදනම

පොළොන්නරුව වකුගඩු ආරක්ෂණ පදනම

ශාස්ත්‍රපති පූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත හිමි

සභාපති පොළොන්නරුව වකුගඩු ආරක්ෂණ පදනම

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ම ඔවුන්ගේ සුබ සාධනයට ම වෙන් වු සංවිධානයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් වකුගඩු ආරක්ෂණ පදනම කටයුතු කරයි.

ශාස්ත්‍රපති පූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත හිමියන් විසින් මේ පදනමේ මුලාරම්භය වෙනුවෙන් කටයුතු සම්පාදනය කර ඇති අතර එහි සභාපතිත්වය දරන්නේද උන්වහන්සේය. විශේෂයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මුලික උපදේශකත්වය හා ආශිර්වාදය ඇතුව මේ පදනම පවත්වා ගෙන යනු ලබයි. මෙහි දී විශේෂයෙන්ම රෝහලට පැමිණෙන රෝගීන්ගේ දුෂ්කරතා හඳුනාගෙන සුබ සාධන කටයුතු වලට යොමු කෙරේ.

රෝගීන් සිටින පවුල්වල ආර්ථික දුෂ්කරතා හඳුනාගනිමින් ඔවුන්ට දිරියක්වීම උදෙසා මුල්‍යමය ආධාරයක් ලෙස රු. 10,000/- මුදලක් මාසිකව ලබාදීමට මේ ආරක්ෂණ පදනමෙන් කටයුතු සලසා ඇත. මේ තත්ත්වය නිසා ආර්ථික, මානසිකව හා සමාජයීය ලෙස පීඩාවට පත්ව ඇති ඔවුන්ගේ පවුල්වලට යම් සහනයක් ලැබෙනු ඇත.

විශේෂයෙන්ම රැකියාවක් නැති හෝ ස්ථිර ජීවමෝපාය මාර්ගයක් නොමැති රෝගීන් සොයා වකුගඩු රෝගීන්ට මෙසේ සුබසාධන කටයුතු කිරීම සිදු කෙරේ. මෙහි ප්‍රධාන කටයුත්තක් ලෙස වකුගඩු බද්ධ කරන ලද රෝගීන් සහ රුධිර කාන්දුකරණ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ආහාර පාන, මෙන්ම මිලදී ගැනිමට අපහසු වැඩි මිලක් වැයවන වර්ගයේ ඖෂධ වර්ග සොයා බලා ලබාදීම ද සිදුකෙරේ. මේ සඳහා ලබාදෙන්නේ බොහෝ විට මුල්‍යමය ආධාරයි.

වකුගඩු රෝගයෙන් පියා හෝ මව මිය ගොස් ඇති පවුලේ පාසල් යන වයසේ ළමයි ඇත්නම් ඔවුන්ගේ සියළු අධ්‍යාපන කටයුතු නිමාවන තෙක් මුල්‍යමය ආධාර සපයනු ඇත. පැය 4ක උපරිම කාල වේලාවක් ගෙන ලේ පිරිසුදු කරන්නට එන රෝගීන් වෙනුවෙන් රෝහලෙන් ලබා දෙන ආහාරවලට අමතරව උදේ ආහාරය ලබාදීමට කටයුතු කිරීම ඉටු කරන තවත් සත්කාරයකි. ච්ඪචතරඵඪඵ සඳහා පැමිණෙන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය සුදු වස්ත්‍රවලට අමතරව පැමිණෙන රුධිර කාන්දුකරණය කරන රෝගීන්ට සුදු වස්ත්‍ර ලබාදීමට ද මේ ආරක්ෂණ පදනම කටයුතු කරයි.

මේ සඳහා උද වූ උපකාර පදනමට ලැබනේනේ එහි සාමාජික සංඛ්‍යාව, ස්වේච්ඡා, සංවිධාන, රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ප්‍රජාව, රටේ හිතවතුන් හා භික්ෂූන් වහන්සේලා මඟිනි. අතිගරු ජනාධිපතිතුමාගේ පුර්ණ ආශිර්වාදය හා දායකත්වය ඇතිව පිහිටවා ඇති මෙම පදනම මැදිරිගිරිය, වැලිකන්ද වැනි දුර බැහැරින් පැමිණෙන රෝගීන්ට නැවත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් සේවාවන් අනුග්‍රහදායකත්වයක් ෙමි පදනම වෙත ලබාදීමට ද එකඟතාවය පළකර ඇත. එමෙන්ම පොළොන්නරුව ශ්‍රී ලංගම හි සේවක පිරිසෙහි දිනක වැටුප වන රුපියල් 425,000/- ක මුදලක් ශාස්ත්‍රපති පූජ්‍ය කොබෙයිතුඩුවේ විජිත හිමියන් ඇරැඹු මේ වකුගඩු ආරක්ෂණ පදනමට යොමු කර ඇත්තේ රෝගීන්ගේ සුබ සාධනයටයි. ඊට අමතරව ෂින්ය්යොන් ආයතනයෙන් ද මේ වකුගඩු ආරක්ෂණ පදනම කරගෙන යන සත්කාර වැඩ පිළිවෙලට මූල්‍යමය දායකත්වය දී ඇත.

වකුගඩු රෝගයෙන් වළක්වා ගැනීමට නම් ඊට අදාළව එන හේතු කාරණා වලින් ඔවුන්ව බේරා ගත යුතුයි. ඒ සඳහා ඔවුන්ට මුලින් දැනුවත් විම් කළ යුතුව ඇත. එබැවින් ප්‍රදේශයේ ජංගම සේවා, ගොවි සංවිධාන, සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ම මේ දැනුවත් වීම් ජනතාවට සිදුකර දීමට පදනම උනන්දුවෙන් කටයුතු කරයි. ගොවිතැන් කටයුතු ප්‍රධාන ජීවනෝපාය නිසා ඉන් සිදුවන හානිය අවම කර ගැනීමට නම් ආරක්ෂිත හිස් වැසුම් භාවිතය, නිවැරදි කෘෂි රසායන භාවිතය විධිමත් වීම, ඒ භාවිතා කළ මෙවලම් පසුව ප්‍රවේශම්ව එක්රැස් කර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට උපදෙස් ලබාදීම මින් සිදුකෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් මේ පිළිබඳව වඩාත් අවබෝධ කරදීමට පදනම සමඟ එකතු වී කටයුතු කරයි. එමඟින් වකුගඩු රෝගයට ගොදුරු නොවූවන්ගේ ආරක්ෂාවට ද සෙත සැලසේ. එමෙන්ම රෝගය ඇතිවීමට හේතුවන බැරෑරැම් බව පිළිබඳව ඔවුන්ව දැනුවත් වීම් කරන අතර අනිවාර්ය පිරිසුදු පානීය ජල අවශ්‍යතාවය පැහැදිලි කර දීම පාසල් දරුවන්ට අනිවාර්ය කිරීම හා ඒ සඳහා තම නිවසින් එසේ පිරිසුදු පානීය ජල බෝතලයක් රැගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දේ. දෛනික ජිවිතයේ දී අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් ලෙස පවත්වා ගැනීමට උපදෙස් දීම හා පරිසරය පිරිසුදුව ආරක්ෂිතව තබා ගැනීමට හැකි සියලුම දැනුවත්වීමි ඔවුන්ට ලබාදීමට පදනම මහත් වෑයමක් දරයි. එසේ කිරිමෙන් ජල මුලාශ්‍ර රැක ගත හැකි වීම ගැන ඔවුන්ට අවබෝධයක් ලබාගත හැකියි.

පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහල් හෙද කර්යමණ්ඩලය විශේෂඥ වෛද්‍ය රජීව දසනායකගේ විශේෂ උනන්දුව හා කැප කිරීම ද ඇතුලුව රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර වෛද්‍යතුමාගෙන් නොමදව ලැබෙන සහයෝගය නිසා පොළොන්නරුව වකුගඩු ආරක්ෂණ පදනමට මේ සත්කාරය කරගැනීමට හැකියාව ලැබී ඇත. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ කැපවීම හා උනන්දුව මත පදනම් වූ මේ වකුගඩු ආරක්ෂණ පදනමට එතුමන්ගේ ආශිර්වාදය ලැබීමද මේ සත්කාර සේවාව කරගෙන යාමට ලැබෙන දිරියකි.

ස්වර්ණා ආරියවංශ