වකුගඩු රෝගය ඇතිවීමට බලපාන හේතු

හඳුනාගන්න!

වකුගඩු රෝගය ඇතිවීමට බලපාන හේතු

පොළොන්නරුව දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ වෛද්‍ය නිලධාරී

මලින් මෙත්තසූරිය

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වනවිට ලක්ෂ හතර හමාරකට ආසන්න ජනකායක් ජීවත් වෙති. අසූව දශකයේ අගභාගයේ සිට පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල හේතුව නිශ්චිතව හඳුනා නොගත් වකුගඩු රෝගය නිසා බොහෝ පිරිසක් පීඩාවට පත් වී තිබේ. සාමාන්‍යයෙන් වකුගඩුවලට හානි ඇති කිරීමට බලපාන රෝග අවස්ථා අතුරින් බහුතරයක් සඳහා මූලිකම හේතුවක් හඳුනාගත හැකියි.

එවැනි හේතු අතර දියවැඩියාව නිසා වකුගඩුවලට ඇතිවන බලපෑම විශේෂයි. බොහෝදුරට පාලනයකින් තොරව දියවැඩියා රෝග තත්ත්වය පැවතීමෙන් එම බලපෑම රෝගියකුට ඇති වේ. වකුගඩුවලට බලපෑම් ඇති කරවන තවත් හේතුවක් ලෙස පාලනයකින් තොරව පවතින අධික රුධිර පීඩන තත්ත්වය පිළිබඳ හඳුන්වාදිය හැකියි. විශේෂයෙන් නිසි පරිදි ඖෂධ ලබා ගෙන අධික රුධිර පීඩන තත්ත්වය පාලනය කර ගැනීමට උත්සාහ නොකළොත් වකුගඩුවලට හානි ඇති වීමේ අවදානම වැඩි වේ.

කෙසේ වෙතත් මෙම කුමන රෝග අවස්ථාවකින් වුවත් අවසානයේදී සිදුවන්නේ වකුගඩුවල ක්‍රියාකාරිත්වයට හානි පැමිණ වීමයි. එහි මූලිකම කාර්යය වන්නේ ශරීරයේ තිබෙන බහිස්‍රාවීය අපද්‍රව්‍ය මුත්‍රා මඟින් පෙරා ඉවත් කිරීමයි. නමුත් වකුගඩුවලට හානි සිදු වීමත් සමඟ එම ක්‍රියාවලිය අඩපණ වනු ලැබේ. මීට අමතරව රුධිර පීඩනය පාලනය, ශරීරයේ තිබෙන තරල ප්‍රමාණය පාලනය, ලවණ මට්ටම පාලනය, කැල්සියම් වැනි පෝෂක උරා ගැනීමට අවශ්‍ය හෝර්මෝන නිපදවීම, ඇට මිදුළු තුළ රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝර්මෝන නිපදවීම, අස්ථිවල පැවැත්ම ආදී ක්‍රියාකාරකම් රැසක් වකුගඩු මඟින් සිදුවන අතර එම ක්‍රියාවලි සඳහා විශාල බලපෑමක් මෙමඟින් සිදු වේ.

විශේෂයෙන් පොළොන්නරුව වැනි ප්‍රදේශවල ජීවත් වන අය පානය කරන ජලය ප්‍රමාණවත් නොවීම හා ශරීරයෙන් වාෂ්ප ලෙස පිටවන ජල ප්‍රමාණය වැඩි වීම නිසා ශරීරයේ පැවතිය යුතු තරල මට්ටමට විශාල ලෙස බලපෑමක් ඇති වේ. මේ හේතුව නිසා මුත්‍රාවල සාන්ද්‍රණය අධික වන අතර ඒ හේතුවෙන් මුත්‍රාගල් ඇතිවීමේ අවදානමක් ද තිබේ. මෙසේ මුත්‍රා මාර්ගය ආශි‍්‍රත ඇතිවන ගල් නිසා එමඟින් ද මූලිකම බලපෑම් ඇති වන්නේ වකුගඩුවලටයි. ඒ වගේම අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව පොළොන්නරුව වැනි ප්‍රදේශ ආශි‍්‍රතව ජලයේ රසය (කිවුල් ස්වභාවය) නිසා බොහෝදෙනා ජලය පානය කිරීමට එතරම් කැමැත්තක්, උනන්දුවක් දක්වනු නොලැබේ. මෙම හේතුව ද වකුගඩු අකර්මණ්‍ය වීමට බලපාන ප්‍රධාන හේතුවක්.

මීට අමතරව පොළොන්නරු කෘෂිකාර්මික ප්‍රදේශ වැඩි ප්‍රමාණයක් පවතින අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ද කෘෂිකර්මාන්තයයි. එවැනි වටපිටාවකදී සර්ප දෂ්ඨනයන් ද ඉතා අධික වේ. එම සර්ප විෂ ද ක්ෂණිකව සහ පසුකාලීනව ද වකුගඩු අකර්මණ්‍ය වීම සඳහා හේතු වේ.

ඒ වගේම ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීමෙන් මුත්‍රා පෙරෙන ප්‍රමාණය ද අඩු වන අතර එය මුත්‍රා ආසාදන වැඩි වීමට ද හේතුවකි. මෙසේ දීර්ඝකාලීනව ආසාදනවලට ගොදුරු වීමද වකුගඩු හානි වීමට බලපාන එක් හේතුවකි.

ඉහත පැහැදිලි කළ වකුගඩු අකර්මණ්‍ය වීම සඳහා බලපාන හේතූන්ට පරිබාහිරව උතුරුමැද පළාත විශේෂයෙන් පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රය කරගෙන වකුගඩු රෝගීන් 80 දශකයේ අග භාගයේ සිට වාර්තා විය. මෙවැනි වකුගඩු රෝගීන් මූලය හඳුනා නොගත් හේතු මූලික කරගෙන වකුගඩු රෝගයට ගොදුරු වූවන් ලෙස වකුගඩු රෝගීන් වාර්තා වීමත් සමඟ වෛද්‍ය පර්යේෂකයන්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ පිළිබඳ කළ පරීක්ෂණ වාර්තා අනුව මෙම මූල්‍ය හඳුනා නොගත් වකුගඩු රෝගවලට හේතුව ලෙස අනුමාන කරන කරුණු කාරණා රැසක් පෙන්වා දෙන ලදී. එම කරුණු අතර කෘෂි රසායන මෙන්ම පොහොර භාවිතය ප්‍රධානත්වයක් හිමි කර ගනු ලැබීය. මෙම කෘෂිරසායනවල අඩංගු කැඩ්මියම්, ආසනික්, ලෙඩ් වැනි බැර ලෝහ ඍජුවම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතුවන බව එම කරුණු මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. තවද මෙම රසායනික දීර්ඝකාලීනව භාවිත කිරීම මඟින් ඒවා පොළොවට එකතු වන අතර ඒවා පොළොව අභ්‍යන්තරික ජල මූලාශ්‍රවලට එකතු වීම සිදු වේ. අවසානයේදී ඒවා ගැඹුරු ළිං වල ඉතිරි වේ. එම ජලය කාලයක් පුරා පානය කිරීමෙන් ඒවා වකුගඩුවලට සැලකිය යුතු බලපෑමක් සිදු කරන අතර එමඟින් වකුගඩු අකර්මණ්‍ය විය හැකියි.

මීට අමතරව නියමිත කාලසීමාවන් මෙන්ම නියමිත ක්‍රමවේදවලට අනුකූල නොවන පරිදි මෙම කෘෂිරසායන භාවිතා කිරීම මඟින් එළවළු, පලතුරු වැනි ආහාරවලට ද සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වේ. ඒ අනුව පානය කරන ජලය පමණක් නොව ලබා ගන්නා ආහාර මඟින් ද බැර ලෝහ සැලකිය යුතු ප්‍රමාණයක් ශරීරගත වීම ඉතාමත් අවදානම් සහගතය. මෙම හේතූන්ට අමතරව අධික සීනි, ලුණු පරිභෝජනය, කෘත්‍රිම වර්ණක, රසකාරක භාවිතය පමණක් නොව ක්ෂණික ආහාර වැඩි ප්‍රමාණයක් භාවිතා කිරිම වැනි හේතු ගණනාවක් බලපෑමත් වකුගඩු රෝග ඇති වීමේ අවදානම ඉහළ දමනු ලැබේ.

කෙසේ වෙතත් මේ හේතූන් මූලික කරගෙන මේ වනවිට වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම සදහා සිදු කරන පරීක්ෂණවලින් සෑම මසකම අලුතින් රෝගීන් 100- 150 ක් අතර ප්‍රමාණයක් හඳුනා ගනු ලැබේ. මේ වනවිට පොළොන්නරුව ප්‍රදේශය ආශ්‍රය කරගෙන වාර්තා වී ඇති 6500 කට ආසන්න රෝගීන් පිරිසට සෑම මසකම අලුතින් රෝගීන් එකතුවීම ඉතාම බරපතළ තත්ත්වයක්.

සාමාන්‍යයෙන් වකුගඩුවක ක්‍රියාකාරීත්වය අඩපණ වන විට පූර්ව වශයෙන් හඳුනාගත හැකි රෝග ලක්ෂණ ගණනාවකි. ඒ අතර අදාළ රෝගියාගේ ශරීරය සුදුමැලි වීම, ශරීරයට ඇති වන තෙහෙට්ටුව, විඩාබර බව, උදරය ආශි‍්‍රත අපහසුතා, මුත්‍රා පිටවන වාර ගණන අඩු වීම, අස්ථි දුර්වලතා, මුහුණ, කකුල් ඉදිමීම, ශරීරයේ තිබෙන ප්‍රෝටීන් මුත්‍රා සමඟ පිටවීම නිසා පිටවන මුත්‍රා පෙණ සහිත වීම, කොන්ද ආශි‍්‍රත වේදනා, අධික රුධිර පීඩනය, හෘද රෝග, ස්නායු ආශි‍්‍රත දුර්වලතා ආදී බොහෝමයක් රෝග ලක්ෂණ දැකගත හැකියි. මෙම රෝග ලක්ෂණ වකුගඩුවලට හානි ඇතිවන මුල් අවස්ථාවේදීම පැහැදිලිව දැක ගැනීමට නොහැකි වන අතර වකුගඩු වලට සැලකිය යුතු ප්‍රතිශතයකින් හානි වූ පසුව දැක ගැනීමට ලැබීම ද ඉතා විශේෂිතයි.

කෙසේ වෙතත් මෙම වකුගඩු රෝග පිළිබඳ සාකච්ඡා කරන විට වඩාත් වැදගත් වන්නේ අදාළ රෝග තත්ත්වය පාලනය සඳහා කටයුතු කිරීමයි. එම අරමුණ පෙර දැරිව මේ වනවිට පොළොන්නරුව ප්‍රදේශය මූලික කරගෙන වැඩසටහන් රාශි‍්‍රයක් මේ වනවිටත් ක්‍රියාත්මකයි. එම වැඩසටහන් යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව, ගොවි මහතුන් දැනුවත් කිරීම මේ වනවිටත් ක්‍රියාත්මකයි. එම දැනුවත් කිරීමේ වැඩකටයුතු උදෙසා පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා මසකට වෛද්‍ය සායන 50 ක් පමණ පවත්වනු ලැබේ. එම වැඩසටහන් මඟින් වකුගඩු රෝගය ඇතිවීම සඳහා බලපාන හේතු පිළිබඳ මහජනතාව හැකි උපරිමව දැනුවත් කිරීමට උත්සාහ කරනු ලැබේ. එහිදී විශේෂයෙන් කෘත්‍රිම කෘෂිරසායන භාවිතයෙන් හැකි තරම් ඈත් වීමට ඔවුන්ට උපදෙස් ලබා දෙන අතර වගේම හැකි සෑමවිටෙකම වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතයට ද අවශ්‍ය උපදෙස් මාර්ගෝපදේශනයන් ද ලබා දේ.

මෙවැනි කාර්යන්ට අමතරව ජලය පානය කිරීමේදී වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු අතර පොළොන්නරුව වැනි ප්‍රදේශවල ජනතාවට පානය සඳහා වඩාත් සුදුසු ජලය ලෙස නිර්දේශ කරනු ලබන්නේ ජල සම්පාදන මණ්ඩලය මඟින් ලබා දෙන ජලය හෝ ප්‍රති ආශ්‍රැති ජල මූලාශ්‍ර (අර්‍ණ ප්ලාන්ට්) මඟින් ලබා දෙන ජලයයි. මීට අමතරව ළං ජලය භාවිතා කරනවා නම් නම් එම ජලයේ බැර ලෝහ සාන්ද්‍රණය පරික්ෂා කර බලා පානයට සුදුසු නම් පමණක් භාවිතා කිරීම ගැටලුකාරී නොවේ. නමුත් නිරන්තරව වෛද්‍ය උපදේශය වන්නේ ඉහත පැහැදිලි කළ රෝග හේතූන්ට අනුව වඩාත් ගැඹුරු ළිංවල ජලය පානය කිරීමට නුසුදුසු බවයි. කෙසේ වෙතත් වඩාත් සුදුසු ජලය පානය සඳහා තෝරා ගන්නවා වගේම දිනකට අවම වශයෙන් ලීටර් 3 ක් වත් ජලය පානය කරීම ද මෙවැනි ප්‍රදේශවල ජනතාවට ඉතා වැදගත්. ඒ වගේම දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ඇති වීම වළක්වා ගැනිමට පෙර සූදානමක් ලෙස සීනි, ලුණු අධිකව භාවිත නොකිරීමට උපදෙස් ද ලබා දෙන අතර කෘත්‍රිම ක්ෂණික ආහාර භාවිතය සීමා කිරීමට ද මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දෙනු ලැබේ. සර්ප දෂ්ඨනයන් මඟින් ද ඇතිවන බලපෑම අවම කිරීමේ අරමුණින් ජනතාව ඉන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීම, ලබාගත යුතු ප්‍රථමාධාර මෙන්ම හැකි ඉක්මනින් රෝහල් ගත කිරීමේ වැදගත්කම සඳහා උපදෙස් ද එම දේශනවලදී ලබාදෙනු ලැබේ.

තවද වේදනා නාශක කාලයක් පුරා භාවිතා කිරීම මඟින් වකුගඩුවලට හානි ඇති වන බැවින් ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කරනු ලැබේ. මෙම උපදේශනවලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා සෑම මසකටම වරක් සිදු කෙරෙන මෙම සායනවල තවත් වැදගත් අරමුණක් වන්නේ රෝගීන් කල් තබා හඳුනා ගැනීමට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් රෝගීන් යොමු කරවීමත්ය.

මෙම සායන මඟින් මේ වනවිට මසකට 5000 ක පමණ පිරිසක් පරීක්ෂාවට ලක් වේ. විශේෂයෙන් මෙවැනි ප්‍රදේශවල ජිවත්වන අය අතරින් වකුගඩු පරීක්ෂාව සඳහා යොමු වන අය එක්වරක් එම පරීක්ෂණය සිදු කිරීම ප්‍රමාණවත් නොවන බවත් සෑම වසර 3 කට වරක් නැවත නැවතත් පරීක්ෂාවකට යොමු විය යුතු බවත් අවධාරණය කළ යුතුයි.