පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල

පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ නවීකරණය වූ පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල

සෞඛ්‍ය සේවා පද්ධතිය කවදත් වෙන් වන්නේ රෝගීන්ගේ නිරෝගීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙනි. පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදු වන්නේ ද එවැනිම සුව සේවාවකි. නමුත් ඉන් ඔබ්බට ගිය විශේෂිත වූ සත්කාර සුව සේවාවක් සිදු කෙරෙන රෝහලක් බවට පොළෙන්නරුව දිස්ත්‍රික් මහ රෝහල පත් වී හමාරය. ඒ රුදුරු වකුගඩු ව්‍යසනයෙන් නිරෝගී සම්පත ගිලිහුණු රජරට ජන ප්‍රජාවට සුවිශේෂ ප්‍රතිකාර ඒකකයක් රෝහල තුළ ස්ථාපිත කිරීමයි. මෙය ප්‍රථමයෙන් ආරම්භ වූයේ 2004 වසරේදීය.

රෝහල් සෞඛ්‍ය අංශයේ බෝ නොවන රෝග ඒකකය, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් කරන ලද වකුගඩු රෝගීන් හඳුනා ගැනීමේ පරීක්ෂණ මඟින් හඳුනාගත් වකුගඩු රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යෑම හේතු කොටගෙන ඇරැඹි වකුගඩු ඒකකයෙන් ප්‍රතිකාර ගැනීම පිණිස හඳුනා ගත් වකුගඩු රෝගී සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීම පටන් ගත්හ.

2006 වසරේදී ප්‍රථමවරට මෙම රෝහලේදී වකුගඩු රෝගීන්ගේ රුධිරකාන්දුකරණය (හිමෝ ඩයලයිසිස්) කිරීම සඳහා යන්ත්‍ර හතරකින් වකුගඩු ඒකකය ආරම්භ කෙරිණි. නමුත් මෙම රුධිරකාන්දුකරණ යන්ත්‍ර හතරෙන් පිහිට පැතීමට හැකි වූයේ වකුගඩු රෝගීන් අට දෙනකුට පමණි. එය සංඛ්‍යාත්මකව හඳුනා ගත් වකුගඩු රෝගී සංඛ්‍යාවට ප්‍රමාණවත් වූයේ නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ යුගයේ එතුමාගේ දැඩි අවධානය මෙම පොළොන්නරු දිස්ත්‍රික් මහ රෝහල වෙත යොමු විය. අඩු පහසුකම්වලින් යුත් මෙම රෝහල සංවර්ධනය කිරීම එතුමාගේ අභිලාෂය විය. 2010 ජූනි මස 22 වැනි දින මෙම රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමත් සමඟම ප්‍රතිපාදන මත රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගැනීමත් සමඟම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ද පුළුල් කිරීමට පියවර ගැනිණි.

2015 දී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟම පිබිදෙමු පොළොන්නරුව, ජනාධිපති සංවර්ධන වැඩසටහනට සමගාමීව ජනාධිපති විශේෂ ප්‍රතිපාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හරහා පුළුල් සංවර්ධන ක්‍රියාවලියකට රෝහල අවතීර්ණ වීමට පියවර ගැනිණි. හෘද කැතීටකරණ ඒකකය, හෘද දැඩි සත්කාර ඒකකය, නේවාසික වාට්ටු මෙන්ම එදා සුළු වශයෙන් පටන් ගත් වකුගඩු ඒකකය ඇඳන් 22 ක දක්වා පුළුල් කිරීමට හැකි විය. ඉදි කෙරෙමින් පවතින හදිසි අනතුරු ඒකකය, ආඝාත ප්‍රතිකාර ඒකකය (ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහ යටිතල පහසුකම් ආරම්භ කර ඇත) රෝගීන් ස ඳහා ආපන ශාලා, රෝගීන්ට දිවා රෑ රැඳී සිටීමේ මධ්‍යස්ථාන දැනටමත් ඉදි කර අවසන්ය. මෙම රෝහල 2015 වසරෙන් පසු ජනාධිපතිතුමාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන සැලසුමකට අනුව ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිවමෙසේ පුළුල් ලෙස සංවර්ධනය කිරිමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇත.

පුළුල් ලෙස රෝහලේ අභ්‍යන්තර මාර්ග පද්ධතිය, රථ අංගනය, නීල හරිත සංකල්පයට අනුකූලව පරිසරය සකස් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙවැනි ඉදි කිරීම් කටයුතු සිදු කිරීමේදී දෛනික රෝහල් සුව සේවාව බිඳ නොවැටෙන පරිදි ක්‍රියාත්මක කිරීමට අන්තර් ක්‍රියා මාර්ග ගෙන ඇත. ප්‍රතිපාදන යොදා සකස් කිරීම තුළ රෝගියාට කිසිදු බාධාවකින් තොරව සුව සේවාව ලබා ගැනීමට හැකි වී ඇත.

කඩා ඉවත් කිරීමට පියවර ගත් ගොඩනැගිලි සංකීර්ණය සම්පූර්ණයෙන්ම නවීකරණයන කර ඇති අතර සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කර ඇත. වාට්ටු සහ ප්‍රතිකාර ස්ථානවල නවීකරණ තාක්ෂණයෙන් යුත් මෙවලම් භාවිතය නිසා ඉතා කඩිනමින් නිරවද්‍ය වාර්තා රෝගීන්ට ලබාදීමට හැකි වී ඇත.

නිද්‍රා මධ්‍යස්ථානය SLEEP STUDY CENTRE,  සහ වෛද්‍යවරුන්ට විශ්වීය වෛද්‍ය දැනුම ලබා දෙන පුස්තකාලයක් ද මේවාට ඇතුළත්ය.

විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ බහුලව වාර්තා වන වකුගඩු රෝගීන්ගේ සුවය පතා රුධිරකාන්දුකරණ යන්ත්‍ර (ඩයලයිසිස් මැෂින්) 8 ක් රෝහලට ලැබුණු අතර රුධිරකාන්දුකරණ ඒකකය නව තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ස්ථාපිත කෙරිණි. විශේෂඥ වෛද්‍යවරුන් හා අනිකුත් සේවකයන් සඳහා නේවාසික පහසුකම් වැඩි දියුණු කිරීම ද සිදු කර ඇත.

දිනකට වකුගඩු රෝගීන් 42 ක ප්‍රමාණයකට රුධිරකාන්දුකරණය කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් වී ඇත. දිවා රාත්‍රී පුරා නොකඩවා සිදු කෙරෙන මෙම රුධිරකාන්දුකරණය නිසා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන රෝගීන්ට වකුගඩුවක් ලැබෙන තෙක් තව එක් දිනකින් හෝ තම ජීවිතය දික් කර ගැනීමේ අපේක්ෂාව ඉටු වී ඇත. මෙම රෝගීන්ට සතියකට දෙවතාවක් රුධිරකාන්දුකරණය සිදු කරන නමුදු අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන්ට සතියට තුන් වතාවක් රුධිරකාන්දුකරණය සිදු කෙරේ.

නමුත් මෙවැනි අසාධ්‍ය රෝගීන්ට සතියකට හතර වතාවක් රුධිරකාන්දුකරණය සිදු කළ යුතුව ඇතත් මෙම යන්ත්‍ර ප්‍රමාණවත් නොමැතිකම නිසා වාර්තා වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බැවින් අවශ්‍ය ප්‍රමාණයට සේවාව සැපයීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.

තවද එම ඒකකයේ පරිතානකාන්දුකරණ ක්‍රමය ද වර්තමානයේ මෙම රෝහලේ ආරම්භ කර ඇත. නව තාක්ෂණයෙන් නිපැයුණු රුධිරකාන්දුකරණ පුටු (ඩයලයිසිස් චෙයාස්) හතරක් ද මේ දිනවල වකුගඩු රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් පවතී. රෝහල් සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය සහ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මඟින් වකුගඩු රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන් රෝහල් පරිශ්‍රයේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වේ. එසේම ආර්ථික පීඩනයට ලක් වූ වකුගඩු රෝගින්ගේ ඥාතින්, බිරින්දෑවරුන්, දුවා දරුවන් මුහුණ දෙන මෙම ඛේදවාචකයට නොපැකිලව මුහුණදීමේ දැඩි ආත්ම ශක්තිය වර්ධනය කිරීම පිණිස උපදේශන සේවාවන් (කවුංසිලිං වැඩසටහන) මෙම රෝහලේ දියත් කර ඇත.

මෙම රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයේ දැනට වකුගඩු 5 ක් බද්ධ කිරීම සිදු කර ඇත.

වකුගඩු බද්ධ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබුණ ද සියලු පහසුකම් නොමැති බැවින් අනාගතයේදී ඉදි කෙරෙන ජාතික වෘක්කවේද රෝහල මඟින් මෙම වකුගඩු රෝගීන්ට ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් යෙදවීමට ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. වකුගඩු බද්ධ කිරීමට ලක් වූ රෝගීන් සියලු දෙනාම අවුරුදු 45 අඩු වයස් සීමාවල අයයි. දෙදෙනකුට ජීවත්ව සිටින අයගේ වකුගඩු දෙකක් ලබා දුන් අතර අනිත් තිදෙනාට වකුගඩු බද්ධ කිරීම් සිදු වුයේ හදිසි අනතුරුවලින් මියගිය අයගේ වකුගඩුය. මේ ක්‍රියාවලියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම ලබා දුන් දායකත්වය අති මහත්ය.

වකුගඩු රෝගීන් 11 දෙනකු වකුගඩුවක් ලැබෙන තෙක් බලාපොරාත්තුවෙන් මෙම ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසු වේ. මෙම ඒකකය ඇඳන් 22 කින් යුක්ත වන අතර කාන්තාවන් සහ පිරිමි එකම වාට්ටුවේ ප්‍රතිකාර ලබති. පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩ සටහන යටතේ ඇඳන් 240 ක වාට්ටු සංකිරණයක් ඉදි වෙමින් පවතින අතර 2018 වසරේ මුල් කාර්තුවේදී මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීමට රෝහල් පරිපාලනය කටයුතු කරගෙන යන අතර ඒ සමඟම පිළිකා ඒකකයක්, ජනන හා මෞත්‍ර ලිංගික ඒකකයක්, ස්වසන රෝග ඒකකයක්, ස්නායු වෛද්‍ය ඒකකයක්, ශල්‍ය වෛද්‍ය ඒකකයක්, විකලාංග ශල්‍ය වෛද්‍ය ඒකකයක් ආරම්භ කෙරෙනු ඇත.

2018 පෙබරවාරි මාසයේ සිට වකුගඩු බද්ධ කිරීමට නියමිත රෝගීන්ට පිරිමි හා කාන්තා වාට්ටු වෙන වෙනම විවෘත කිරීමට කටයුතු සලසා ඇති බව පැවසුවේ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතාය.

මේ සඳහා ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමා, සෞඛ්‍ය ලේකම් ජානක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ලැබෙන සහයෝගය සහ මාර්ගෝපදේශකත්වය ඉතාමත් අගය කොට සලකන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

විශේෂ ස්තුතිය - පොළොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ සංවර්ධන නිළධාරි සැලසුම් හා සංවර්ධන ඒකකයේ ර්‍ථ.ච්. අෂ්විනි සුනේත්‍රා කුමාරිහාමි

දීප්ති ෆොන්ූසේකා

ඡායාරූප - සුසන්ත විජේගුණසේකර