කාලික වකුගඩු අකරණය

කාලික වකුගඩු අකරණය Chronic Kidney Disease (CKD)

වෛද්‍ය තිලක් අබේසේකර

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වකුගඩු රෝග පිළිබඳ අධ්‍යාපන, පර්යේෂණ සහ පුහුණු කිරීමේ කේන්ද්‍රය, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

වකුගඩුව මිනිස් ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ කාර්යයන් රැසක් ඉටු කරනු ලබයි. බෝංචි ඇටයක හැඩය ගත් මෙම ඉන්ද්‍රියයේ ප්‍රමාණය වැඩිහිටි පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් සෙ.මි. 10-14 දිගකින් ද, සෙ.මි. 5 -6 පළලකින්ද සහ සෙ.මි. 3-4 ඝනකමකින් ද සමන්විත වේ.. සාමාන්‍ය ස්කන්ධය ග්‍රෑම් 120 -175 අතර වේ.

මෙම යුගල ඉන්ද්‍රිය මහා ප්‍රාචීර පේශියට පහළින්, උදර බිත්තියට පිටතින්, සිරුර පිටුපස බිත්තියට ආසන්නව, කශේරුකාව දෙපස සමමිතිකව පිහිටා ඇත. දොළොස්වන උරස් සහ තුන්වන කටී කශේරුකා අතර ස්ථානගත වී ඇති අතර, සාමාන්‍යයෙන් දකුණු වකුගඩුව වම් වකුගඩුවට වඩා තරමක් පහතින් පිහිටා ඇත. එක් වකුගඩුවක වෘක්කාණු මිලියනයක් පමණ අඩංගු වන අතර එය වකුගඩුවේ කාර්යයන් හා ගැලපෙන පරිදි නිර්මාණය වී ඇත. වකුගඩු මඟින් ශරීරයේ අත්‍යාවශ්‍ය කාර්යයන් ගණනාවක් ඉටු කරයි.

කාලික වකුගඩු අකරණය - Chronic Kidney Disease (CKD)

කාලික වකුගඩු අකරණය යනු දීර්ඝ කාලයක් පවතින රෝගී තත්ත්වයක් බලපෑම නිසා හෝ වෙනත් හේතු සාධක නිසා, වකුගඩු මඟින් අපේක්ෂිත ක්‍රියාවලීන් නිසිපරිදි සිදු නොවීමයි. මිනිසාගේ දීර්ඝකාලීන වකුගඩු අකරණය සිදුවීම සඳහා බලපාන්නා වූ හේතු සාධකයන් කිහිපයක් හඳුනාගෙන ඇත.

මනා පාලනයෙන් තොර දියවැඩියාව

මනා පාලනයෙන් තොර අධි රුධිර පීඩනය

වකුගඩුවල ගල් හට ගැනිම

වකුගඩු ප්‍රදාහය ඇතිවීම

ආවේණික වකුගඩු රෝග

වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ භාවිතය

ඉන් වැදගත්

කාර්යයන් අතර,

ඇමෝනියා සහ යූරියා වැනි අපද්‍රව්‍ය බහිස්‍රාවය කිරීම

සෝඩියම් සහ පොටෑසියම් වැනි ලවණ වර්ග සහ අම්ල භෂ්ම යාමනය.

රතු රුධිරාණු නිෂ්පාදනය සඳහා උත්තේජකයක් වන එරිත්රොපොයිටීන් (Erythropoietin) නිෂ්පාදනය කිරිම

ක්‍රියාකාරී විටමින් නිෂ්පාදනය කිරිම

රුධිර පීඩනය පාලනය කිරීම ආදිය වේ.

හේතුව හඳුනානොගත් කාලික වකුගඩු අකරණය ඉතිහාසය සහ භූගෝලීය ව්‍යාප්තිය

ශ්‍රී ලංකාවේ කාලික වකුගඩු අකරණයට ලක් වූ රෝගීන් සහ එම රෝගය නිසා මරණයට පත් වූ විශාල ප්‍රමාණයක් 1990 - 1992 කාලසීමාව තුළදී උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා විය. පසුව මැදවච්චිය ප්‍රදේශයෙත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය වැනි ප්‍රදේශවලත්, ඌව පළාතේ ගිරාඳුරුකෝට්ටේ, මහියංගනය වැනි ප්‍රදේශවලත්, නැගෙනහිර පළාතේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ, මධ්‍යම පළාතේ විල්ගමුව, හෙට්ටිපොළ වැනි ප්‍රදේශවලත් එවැනිම රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වන්නට විය.

මෙම කාලික වකුගඩු අකරණයට හේතුව ඉහත සඳහන් කළ හේතු කිසිවක් නොවේ. මේ වන තෙක්ම නිශ්චිත හේතුවක් හඳුනා ගැනීමට නොහැකි වීම නිසා මෙම රෝගී තත්ත්වය දැනට හේතුªව හඳුනා නොගත් කාලික වකුගඩු අකරණය Chronic Kidney Disease of uncertain Aetiology (CKDu)  නමින් හඳුන්වයි.

රෝග ලක්ෂණ

මෙම රෝගය වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන නමුත් කුඩා ළමුන් අතර වාර්තා වී නොමැත. රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන්නේ, රෝගය නිසා වකුගඩු යුගළම සම්පූර්ණයෙන්ම වාගේ ක්‍රියා විරහිත වූ විටයි. රෝගය මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමට නම්, මුත්‍රා සහ රුධිර පරීක්ෂණ සහ වකුගඩුවල ස්කෑන් (ultrasound scanning)  පරීක්ෂණයක් කළ යුතු වේ. නමුත් සමහර රෝගීන් මුල් අවස්ථාවේදී වුවද රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා බාහිර රෝගී අංශයන් කරා යොමු වේ. මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස,

1. දවසේ වැඩ කටයුතුවලින් පසු ශරීරයට දැනෙන අපහසුතාවයන් සහ

උණ ගතිය

2 ඇලපතෙහි වේදනාව

3 කොන්දේ කැක්කුම

4 මුත්‍රා දැවිල්ල

රෝගීන්ගෙන් බහුතරය වී ගොවිතැනෙන් ජිවිකාව ගෙන යන අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් පිරිමි අය වේ. සමහර අවස්ථාවලදී පවුලේ කිහිපදෙනෙකුට මෙම රෝගය තිබිය හැකි අතර රෝගය කෙරෙහි ජානමය සාධක බලපාන බවට අනුමාන කෙරේ.

ඉහත සඳහන් පරිදි වකුගඩු දෙකම බොහෝදුරට ක්‍රියා විරහිත වූ පසු ඇතිවන රෝග ලක්ෂණ නම්,

1. කෑම අරුචිය සහ වමනය

2. ඇඟපත කැසීම

3 ශාරීරික මහන්සිය

4 රක්තහීනතාවය

5 ශරීරයේ ඉදිමුම

6 අධික රුධිර පීඩනය

7 අස්ථි සහ තුනටියේ වේදනාව

8 මානසික ආතතිය වේ

රෝගය හඳුනා ගැනීම

වකුගඩු රෝගීන්ගේ රෝග විනිශ්චය සඳහා සහ වකුගඩු රෝගය නිසා ශරීරය අභ්‍යන්තරයේ සිදු වූ බලපෑම් නිර්ණය කිරීමට රෝගීන්ගේ මුත්‍රා සහ රුධිර පරීක්ෂාවන් බොහෝ සේ ඉවහල් වේ. ඒ සඳහා බහුල වශයෙන් සිදු කරන ඉතා වැදගත් පරීක්ෂණයන් කිහිපයකි මේ.

මුත්‍රා පරීක්ෂණ

1 මුත්‍රා ඇල්බියුමින් (ප්‍රෝටීන්) Urine Albumin

2 මුත්‍රා සම්පූර්ණ පරික්ෂාව Urine Full Report

3 මුත්‍රා ඇල්බියුමින් (හෝ ප්‍රෝටීන්) ක්‍රියැටිනින් අනුපාතය - Albumin (or protein) Creatinine Ratio
 

රුධිර පරීක්ෂණ

1 ක්‍රියැටිනින් පරික්ෂණය Serum Creatinine, Glomerular Filtration Rate (estimated) - eGFR අගය ගණනය කිරීම සඳහා මෙම පරීක්ෂණය යොදා ගනී.

2 ක්‍රියැටිනින් ක්ලියරන්ස් Creatinine Clearance

3 රුධිරයේ ලිපිඩ මට්ටම Serum Lipids

4 කැල්සියම්

5 පොස්ෆරස්

6 සම්පූර්ණ රුධිර වාර්තාව Full Blood Report

7 ප්‍රෝටීන් මට්ටම

8 රුධිරයේ අයන ප්‍රමාණය Serum Electrolytes  ( සෝඩියම් පොටෑසියම් සහ බයිකාබනේට වැනි )

වකුගඩු අකර්මන්‍යතාවයට ලක් වීමත් සමඟ ගුච්ජිකාවෙහි ක්‍රියාකාරීත්වය ද ක්‍රම ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගනී. මෙය අවස්ථා පහක් වශයෙන් හඳුනාගෙන ඇත. එය පහත වගුවෙන් සංඛ්‍යාත්මකව පෙන්නුම් කරයි.

වකුගඩු අකර්මන්‍යතාවය (අදියර) GFR  අගය (ml/min/1.73m2) ලෙස හදන්න.

1 වන අවස්ථාව >90

2 වන අවස්ථාව 61-90

3 වන අවස්ථාව 31-60

4 වන අවස්ථාව 16-30

5 වන අවස්ථාව 0-15

මෙම රොගය නිර්ණය කිරීම සඳහා වකුගඩුවෙන් පටක කොටසක් (kidney Biopsy) පරීක්ෂා කර වාර්තාවක් ඇතැම්විට අවශ්‍ය වේ. මෙය සිදු කරන්නේ පහසුකම් සහිත වකුගඩු රෝග ප්‍රතිකාර ඒකකවලදී පමණක් වෛද්‍ය නිර්දේශ මතය. රෝගියා මේ සඳහා බිය වීමට කිසිදු සාධකයක් නොමැත.

ක්ෂේත්‍රයේ සිදු කරන වකුගඩු සායන (Screening Programs)

මුල් අවධියේම රෝගය හඳුනා ගැනීමෙන් රෝගය පාලනය කරගත හැක. එබැවින් අදාළ ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු 16ට වැඩි සියළු දෙනාම වසරකට වරක්වත් වෛද්‍ය සායනවලට සහභාගී වී තමන්ට රෝගය තිබේ දැයි දැනගත යුතු වේ. මෙහිදී කරනු ලබන පරීක්ෂණ වන්නේ,

1. මුත්‍රවල ප්‍රෝටීන් සඳහා පරීක්ෂණ

2. රුධිරයේ ක්‍රියැටිනින් සාන්ද්‍රණය මැන බැලීම වේ.

ඉන් මූලිකව හඳුනාගන්නා රෝගීන් වෛද්‍යවරුන් විසින් විස්තරාත්මකව පරීක්ෂා කර බලා වකුගඩු ස්කෑන් පරික්ෂණයක් (උතබපචඵධභදඤ ඉජචද) මඟින් ඔවුන් එම රෝගීන් බව සනාථ වුවහොත් දීර්ඝකාලීන වෛද්‍ය අවධානය සඳහා අදාළ සායනවලට යොමු කරනු ලැබේ.

රෝගය සඳහා හේතු කාරක

දේශිය සහ විදේශීය පර්යේෂණ කණ්ඩායම් විසින් විවිධ පර්යේෂණ සිදු කළ ද මෙම රෝගය සඳහා

නිශ්චිත හේතුවක් මේ වනවිටත් සොයා ගැනීමට අපොහොසත් වී ඇත. පානීය ජලය හා මෙම රෝගය අතර සම්බන්ධතාවයත් ඇති බවට ඇතැම් පර්යේෂකයෝ පවසති. හේතුකාරකයන් ලෙස පර්යේෂණවලිදී පහත සඳහන් කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු වී තිබේ.

පානීය ජලයේ ඇති ෆ්ලෝරයිඩ සාන්ද්‍රණය සහ කඨිනත්වය (කැල්සියම් සහ මැග්නීසියම් නිසා)

කෘෂිරසායන ද්‍රව්‍යයන්

බැරලෝහ (කැඩ්මියම් සහ ආසනික් වැනි)

සයනොබැක්ටීරියා විෂ

ජානමය සාධක

ඔක්රටොක්සින - Ochratoxins

ඇරිස්ටලෝකික් අම්ලය - Aristalochic Acid

දීර්ඝ කාලයක් තද අව්වට නිරාවරණය විම සහ විජලනය

රෝග නිවාරණය හා ප්‍රතිකාරයන්

මෙම රෝගී තත්ත්වය සඳහා මේ වනතෙක් හේතුවක් හඳුනා නොගත්ත ද රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා පහත සදහන් කාරණා කෙරෙහි සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.

ගුණාත්මක බවින් ඉහළ පානීය ජලය භාවිතා කිරීම.

කෘෂි රසායනවලට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවීම සහ රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට පමණක් යෙදීම

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතයෙන් වැළකීම

ඖෂධ භාවිතයේදී සැලකිලිමත් විම

ජීවන තත්ත්වය නගා සිටුවීම

ඇලුමිනියම් භාජනවල ආහාර පිසීම හැකිතාක් සීමා කිරීම

දිනපතා ක්‍රමානුකූලව ව්‍යායාමවල යෙදීම

මුල් අවධියේදීම රෝගය හඳුනා ගැනිම සහ ප්‍රතිකාරවලට යොමු වීම

හේතුව හඳුනා නොගත් කාලික වකුගඩු අකරණය සඳහා සිදු කරනු ලබන ප්‍රතිකාරයන්, අනෙකුත් කාලික වකුගඩු අකරණයන්හි දී කරන ප්‍රතිකාර ම වේ.

වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩු වූ විට ප්‍රෝටීන් සහිත ආහාරයන් සීමා කිරීම.

අධික රුධිර පීඩනය පාලනය කිරිම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම

රක්තහීනතාවයට ප්‍රතිකාර කිරිම

අස්ථිවල රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීම

වකුගඩු සම්පූර්ණයෙන්ම අකරණයට පත් වූ විට (එනම් 5 වැනි අවස්ථාවේදී)

රුධිර කාන්දුකරණය

පරිතාන කාන්දුකරණය

වකුගඩු බද්ධ කිරීම

වැනි ප්‍රතිකාර ක්‍රමයන් සඳහා යොමු කරනු ලැබේ.