රජරට වකුගඩු රෝගීන්ගේ කඳුළු කථාව ජනපතිතුමන් අතින් රෝහලේ විවිධ ව්‍යපෘති විවෘත කළ මොහොත

රජරට වකුගඩු රෝගීන්ගේ කඳුළු කථාව ජනපතිතුමන් අතින් රෝහලේ විවිධ ව්‍යපෘති විවෘත කළ මොහොත

පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ

සෞඛ්‍ය අධ්‍යාපන හෙද නිළධාරී

කේ.බී.පී. සමන් තිලකසිරි

අසරණකම කියන්නේ මොන විදිහේ තේරුමක් තියෙන වචනයක් ද කියලා තේරුම් ගන්න හැමදෙනාටම බැහැ. සමහර අයට ඒ ගැන දැනගන්න තරම් වුවමනාවක් නැහැ. ඒත් කුසට හරියට වේලක් නැතිව අම්මා තාත්තා හෙට දවසේ තමන් එක්ක ඉදිවීද කියලා දන්නෙ නැති අසරණ කියන වචනයට තව තවත් අසරණකම පුරවන අපේම සමහර දරුවෝ මේ වෙන කොටත් අඳුරු පැල් කොටේකට වෙලා හුල්ලන බව ඔබ දන්නවාද?

අපි මේ කියන්නේ සුරංගනා කථාවක් නෙවෙයි. සුරංගනා ලෝකයක් කියන්නේ මොකක්ද? කියන දේ වත් හරියට දන්නේ නැති උතුරුමැද පළාතේ වකුගඩු රෝගය නිසා අසරණ වෙලා ඉන්න අපේම නෑදෑයන්ගේ කඳුල, සුසුම, දුක, වේදනාව ගැන.

මීට කාලෙකට කළින් මැලේරියාව වගේ වසංගත, නායයාම්, සුළි සුළං වගේ ස්වභාවික ව්‍යසයන් විතරක් නෙවෙයි තිස් වසරක යුද්ධයකටත් මුහුණ දුන්නු අපේ රටේ මිනිස්සුන්ට දුක, වේදනාව කියන්නේ නුහුරු නුපුරුදු දෙයක් නෙවෙයි. වේලක් නැතුව වේලක් කෑවත් එකිනෙකාට උපකාර කරන එක අනෙක් අය ගැන සොයා බලන එක අපි අමුතුවෙන් හුරු වෙන්නට අවශ්‍ය වුණේ නැහැ. ඒ හැමදේම අපේ ලේ, නහර වලින් අපගේ මුතුන් මිත්තන්ගෙන් අපට උරුම වෙලා තිබුණා. ඒත් දෛවයේ සරදමකට ද අපි කවුරුත් තරමක් දන්නා නමුත් හරි හැටි නොදන්නා එක්තර ඉරණමක් අපේ රටේ වැව් බැඳි රාජ්‍යයට උරුමවෙලා.

ඔවුන් ශක්තිමත් වන්නේ දුක් කඳුළු වලින්. ඒත් ඒ කඳුළුවල සැඟවිලා තිබෙන දරාගන්නටවත් නොහැකි වේදනාව ඔබට හිතාගන්නටවත් බැහැ. වකුගඩු රෝගය ගැන රෝග වැළක්වීම, ප්‍රතිකාර ක්‍රම ගැන කවුරු කවුරුත් බෙහොම සද්දෙට රටටම කීවත් කඳුළු යට සැඟවුණු සැබෑ කඳුළු කථාවයි අපි මේ කියන්නේ.

ඉටුකරගන්නට දහසක් ප්‍රාර්ථනා හිතේ හිර කරගෙන දවසින් දවස වකුගඩු රෝගය නිසා ලෙඩ ඇඳට වැටෙන රජරට ගොවි රජ වරුන්ට අඩුම තරමින් හෙට හිරු පායන කොට තමා ජීවත් වේවිද කියාවත් හරි හැටි විශ්වාසයක් ඇත්තේ නැහැ. පොල් අතු අහුරපු පැළට උළු ටිකක් හෙවිළි කරන්න ගොම මැටි පොළොවට සිමෙන්ති ටිකක්, ටයිල් කැටයක් අල්ලන්න ඒ මොන දේ නැතත් තමන්ගේ දරුවට ලස්සන අනාගතයක් හදලා දෙන්න අඩුම තරමින් තමන්ගේ දෑතේ සවි ශක්තියවත් ඔවුන්ට ඉතිරි වෙලා නැහැ. මහපොළොව එක්ක ඔට්ටු වෙලා ගතේ මහන්සිය නිවා ගන්න ඔවුන්ට සුව පහසු කාමර, ඇඳන් වෙනුවට හිමි වන්නේ රෝහලේ වකුගඩු රෝගීන් වෙනුවෙන් වෙන් වූ ඇඳන්.

ගහක් ගලක් වගේ හිටියත් හිතාගන්නත් බැරි විදිහට ලෙඩ ඇඳට වැටුණු වෙලාවේ ඒ අයට මතක තමන් මොනතරම් ජීවත් වෙන්න මහන්සි වුණාද ද කියන එක විතරයි.

ඒත් තාත්තා මේ විදිහට ලෙඩ ඇඳට වැටුණාම ගෙදර ඉන්න දරුවෝ විතරක් නෙවෙයි ඒ ගෙදර අම්මාගේත් හිතේ තියෙන්නේ පුදුමාකාර අසරණකමක්. සමහර පවුල්වල තාත්තට විතරක් නෙවෙයි අම්මටත් වකුගඩු රෝගය. මේ වගේ පවුලක දරුවන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ අනාගතේ කියන්නේ හීනයක්ම විතරයි. කොහොම වුණත් මේ අසරණ රෝගීන්ට ඉස්පිරිතාලයට යන ගමනත් ලෙහෙසි පහසු එකක් නෙවෙයි. සමහර වෙලාවට හරියට පාරවල් නැහැ. ඒ විතරක් ද අලි කරදර, වැස්ස කාලෙට සර්පයන්ගෙන් කරදර, මොන පැත්තෙන් බැලුවත් ඔවුන්ගේ ජීවිත තව තවත් අසරණ වෙලා. සිතා බලන්න, ගෙදරට කන්න වේලක් දෙන්නේ තාත්තා නම්, එහෙමත් නැතිනම් අම්මා නම් ජීවිතේ බේර ගන්න ඕන ගන්න ඕන නිසා, කුඔුරට යනවා වෙනුවට ඉස්පිරිතාලෙට යන්න සිද්ධ වෙනවා නම් ඒ ගෙදර දරුවන්ට කන්න වේලක්වත් තියෙනවද? කවුරු මේ දේවල් හොයා බලන්නද? ඒ දරුවන්ට කන වේලට, ඉගෙන ගන්න අකුරට වඩා අම්මාටගත් තාත්තගෙත් ජීවිත වටිනවා.

සමහර අයගේ ගෙවල් හරියට හදලා නැහැ. මේ ලෙඩෙත් එක්ක ජීවිතේ කොහොම හරි ගැටගහගන්න වුවමනා නිසා ගෙදර උකස් තියලා. එහෙමත් නැත්තම් කන්න වී ඇටයක් ලැබුණු කුඹුර උකස් තියලා. බිරිඳගේ දරුවන්ගේ කන කර උගස් කරලා. මේ ප්‍රශ්නත් එක්ක දරුවෝ ගෙවල්වල තනි කරලා ලේ පිරිසුදු කරගන්න ඉස්පිරිතාලෙට යන්න වීල් එකකට රුපියල් 1000ක් 2000ක් යනවා. සමහර වෙලාවට අම්මා කොහොම කෙහොම හරි තාත්තව අරගෙන ඉස්පිරිතාලේ ගියාට පස්සේ අයේ ගෙදර එන්නේ පහුවෙනිදා පාන්දර වුණාම. එහෙම කරන්නේ දරුවෝ ගැන හිතන්නේ නැති නිසා නෙවෙයි ලෙඩ වුණු සැමියාත් එක්ක, මඟදි අලියෙක්වත් ගහලා එක්කෝ සර්පයෙක්වත් කළා දරුවෝ මේ ලෝකේ තනි කරලා දාලා යන්න හිත හදා ගන්න බැරි නිසා. සමහර වේලාවට ගෙදර දරුවෝ තනියෙන් ඉන්නකොට ඒ අයගේ ආරක්ෂාවට ඉන්නේ අහසේ ඉන්න දෙවියෝ විතරයි.

තවත් සමහර පවුල්වල තමන්ගේ පුතාව ජීවත් කරවන්න තමන්ගේ වකුගඩුව දන් දුන් මතු බුදුවන මව්වරු විතරක් නෙවෙයි තමන්ට දාන වේල ලබා දුන්නු අසරණ රෝගීන්ට තමන්ගේ වකුගඩුව දන් දුන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ වැව් බැඳි රාජ්‍යයේ ගම්දනව්වල අප්‍රසිද්ධියේ දිවි ගෙවනවා. සමහර වෙලාවට අනතුරක් සිදුවුණාම තමන්ගේ මිය ගිය ඥාතියගේ වකුගඩුව අසරණ රෝගීන්ට දන් දෙන්නට කැමති පින්වත් මව්වරු, පියවරු, බිරින්ඳෑවරු, ඥාතිවරුන් ද ඕනෑ තරම්.

මේ නිහඬ මෙහෙවරට සීමිත පිරිසක් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සෞඛ්‍ය සේවකයින්, ගුරුවරු, ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවකයින්, අසල් වැසියන් තම තමන්ගේ සීමාවන්, රාජකාරි කටයුතු වලින් බාහිරට ගිහින් ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් යමක් කළ යුතුයි.

වකුගඩු රෝගයට හේතු, ඒවායින් වැළකීමට ආරක්ෂිත ක්‍රමවේද, තාක්ෂණික විධි ක්‍රමවලට පරිබාහිරව වකුගඩු රෝගීන්ගේ පවුලවලට ගෙයක් දොරක්, ගෘහ භාණ්ඩ, පාසැල් උපකරණ වගේ භෞතිකමය දේකින් පවා සහය ලබා දෙන්නට වුවමනයි.

මේ හැමදේම සිදුවන අතරේ බොහෝ දෙනෙකුට අමතකව ගිය දෙයක් තිබෙනවා. ඒ ඔවුන්ගේ මානසික සහනය. අඩුම තරමින් හෙට පහන්වෙනකොට තමන් ජීවත් වේවිද කියලාවත් නොදන්න මේ අසරණයන්ට මොන මානසික සහනයක් ද කියලා හිතුණත් අපි අපිට හැකි පමණින් ඔවුන්ට සහය දෙන්නට වුවමනායි. ඔවුන්ගේ දෑසට නැගෙන කඳුළු පිහදාලා, හීන වුණු වීරිය දුරු කරලා දෙපයින් හැඟී සිටින්නට මානව දයාවේ දෑත දිගු කරන්නට දැන් ඔබටත් කාලය එළඹිලා බව මතක තබා ගත යුතුයි.

නුවන්ති කුලරත්න