කර්ණ ශංඛ බද්ධ සැත්කමෙන් පසුව ශ්‍රවණය හා කථනය යථා තත්ත්වයට පත්කරගන්නා ආකාරය

කර්ණ ශංඛ බද්ධ සැත්කමෙන් පසුව ශ්‍රවණය හා කථනය යථා තත්ත්වයට පත්කරගන්නා ආකාරය

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

කර්ණ ශංඛ බද්ධ සැත්කම කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳව ඔබට යම් දළ අවබෝධයක් ඇතිබව අපගේ විශ්වාසයයි. නමුත් එම ශල්‍යකර්මයෙන් පසුව අදාළ පුද්ගලයාගේ ශ්‍රවණය සහ කථනය සකසා ගන්නා අන්දම පිළිබඳ යම් ගැටලුවක් ඔබට තිබෙන්නට පුළුවන්. ඒ නිසා ආචාර්ය මිහිර වික්‍රමාරච්චි මහතා සමඟ මෙවර ඔබට ගෙන එන සාකච්ඡාව කර්ණ ශංඛ බද්ධ සැත්කමෙන් පසුව ශ්‍රවණ්‍ය හා කථනය නැවත යථා තත්ත්වයට පත්කර ගන්නා ආකාරය පිළිබඳවයි.

කර්ණ ශංඛ බද්ධ සැත්කමකදී එහි ප්‍රධාන වගකිව යුත්තා බවට පත්වන්නේ ශල්‍ය වෛද්‍යවරයා වූවත් මෙහි භාරධූර කටයුත්තක යෙදෙන තවත් පුද්ගලයකුද සිටියි. ඒ ශ්‍රවණ චිකිත්සකවරයායි. ශ්‍රවණ චිකිත්සකවරයකු සැත්කමේදී මෙන්ම ඉන් පසුවද අදාළ රෝගියාගේ කථනය පමණක් නොව ශ්‍රවණයද යථා තත්ත්වයට පත්වන තුරු වැදගත් මෙහෙවරක නියැලෙයි. එමෙන්ම අදාළ පුද්ගලයාගේ හැසිරීම් විධි සකසා ගැනීම ශ්‍රවණ චිකිත්සකවරයාගේ පූර්ණ මෙහෙයවීම මත සිදු කරනු ලබයි. සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකදී ශල්‍ය වෛද්‍යවරයා ඉතා දැඩි වගකීමක් දරණ පුද්ගලයකු වූවත් කර්ණ ශංඛ බද්ධ සැත්කමේදී ශල්‍ය වෛද්‍යරයාට නොදෙවෙනි වගකීමක් ශ්‍රවණ චිකිත්සක සතුවේ. ඒ අනුව නිසිලෙස කර්ණ ශංඛ ශල්‍යකර්මය සිදුවී තිබේද සැත්කම නිසා ඇතිවූ කැපුම් තුවාල සුව වීමෙන් අනතුරුව සැත්කමේදී සම්බන්ධිත උපකරණයට පිටතින් සවි කරන උපාංගය නිවැරදිව සකසා ශ්‍රවණය නැවත සකසන තෙක් අති විශාල වැඩ කටයුතු කොටසක් ඔවුන් විසින් ඉටු කළ යුතුයි. සරලව ශ්‍රවණ චිකිත්සකවරයෙකුගේ වගකීම් එසේ පැහැදිලි කළ ද ඔහුට හෝ ඇයට පමණක් පැවරෙන තවත් සුවිශේෂී ක්‍රියාදාමයක් පවතී. මෙය කර්ණ ශංඛ බද්ධය සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව මුහුණ දීමට සිදුවන දෙවන අභියෝගයයි.

ඒ අදාළ සැත්කමට මුහුණ දුන් තැනැත්තා හෝ තැනැත්තියගේ ශ්‍රවණය හා කථනය නැවත යථා තත්ත්වයට පත් කිරිමයි. මෙම සුවිශේෂී ක්‍රියාවලිය නිසි ආකාරයයෙන් සිදු නොවුණහොත් කෙතරම් සාර්ථකව කර්ණ ශංඛ බද්ධය නිසි ලෙස සිදු කළද එහි ප්‍රයෝජනයක් නොමැති වී යා හැකියි. එපමණක් නොව මෙම ඉගැන්වූම් ක්‍රියාවලිය නිසි ක්‍රමවේද අනුව නිසි පිළිවෙලින් ඉටු කළ යුත්තක්.

කෙසේ වෙතත් මේ කරුණු අනුව විමසා බලන කල අදාළ කර්ණශංඛ බද්ධ සැත්කමට මුහුණ දෙන පුද්ගලයා අනුවත් මෙම ඉගැන්වීමේ ක්‍රම දෙ ආකාර වේ. ඒ අදාළ සැත්කමට මුහුණ දුන් තැනැත්තා දරුවෙක් නම් ඔවුන් සම්බන්ධ එක්තරා ක්‍රමවේදයක්ද අදාළ සැත්කමට මුහුණ දුන් තැනැත්තා වැඩිහිටියෙක් නම් ඒ තැනැත්තා සම්බන්ධව වෙනත් ශ්‍රවණය හා කථනය පුහුණුවීම් ක්‍රමවේදයන්ද පවතියි. මෙම ක්‍රමවේද “උත්තාපනය” හා පුනරුත්තාපනය යන නම් වලින් හැඳින්වේ. එම ක්‍රියාවලීන් අතරින් කර්ණශංඛ සැත්කමට මුහුණ දුන් දරුවකුට නැවත ශ්‍රවණය සහ කථනය පුහුණු කිරීමේ ක්‍රියාවලිය උත්තාපනය ලෙසින් හැඳින්වේ. මෙහිදී සිදුවන ක්‍රියාවලිය සරලව පැහැදිලි කළහොත්, පෙරදී ශ්‍රවණයක් සිදුවී නොමැති අයකුට අලුතින්ම ශ්‍රවණය පිළිබඳ ඉගැන්වීමෙ හා ශබ්ද තේරුම් ගැනීමට හා කථනයට හුරු කරවීමක් මෙහිදී සිදුවේ. නමුත් පුනරුත්තාපනයේදී සිදුවන්නේ මීට වෙනස් වූ ක්‍රියාවලියක්. එහිදී සිදුවන්නේ පෙර අසා පුරුදු අයකුගේ එසේ නැත්නම් යම් ශ්‍රවණ මට්ටමක් තිබූ අයකුගේ ශ්‍රවණය යථා තත්ත්වයට පත්කර වීමට උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් මෙම ඉගැන්වීම් ක්‍රියාවලි යුගලය පිළිබඳ නැවත වරක් සන්සන්දනාත්මකව විමසා බලන විට පෙනී යන්නේ උත්තාපනය පුනරුත්තාපනයට වඩා තරමක් අසීරු කටයුත්තක් බවයි.