සත්ත්ව ආහාර පරිභෝජනය ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාකාරීත්වයට බාධාවක් ද?

සත්ත්ව ආහාර පරිභෝජනය ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාකාරීත්වයට බාධාවක් ද?

ප්‍රතිජීවක ඖෂධ භාවිතය පලක් නොමැති තත්ත්වයට පත් කරමින් එම ඖෂධවලට ප්‍රතිරෝධය ඇතිවීම බොහෝදෙනාගේ ශරීර තුළ ලොවපුරා දැකිය හැකි ඉතා කණගාටුදායක මෙන්ම අහිතකරවූ තත්ත්වයකි.

මෙයට බලපාන හේතු රාශියකි. ඉන් පළමුවැන්න රෝගීන් හිතුමතයට තම තමන් විසින්ම ප්‍රතිජීවක ඖෂධ, බෙහෙත්ශාලා වලින් ලබා ගෙන භාවිතා කිරීමය. එසේම වෛද්‍යවරයා නියම කරන මාත්‍රාවෙන් ඖෂධය නොගැනීම සහ නියම කළ දින ගණන ඖෂධ නොගැනීම ආදී තත්ත්වයන් ද මෙයට ප්‍රධාන ලෙස බලපායි.

මේ අතර මුඛ මාර්ගයෙන් ගත යුතු ප්‍රතිජීවක ඖෂධ තුවාල වලට දැමීම සහ ඇඟ ගැල්වීම වැනි හේතු නිසාද එවැනි ප්‍රතිරෝධයක් ඇති වෙයි. මේ සියල්ලම ප්‍රතිජීවක ඖෂධ අනිසි භාවිතයට ගැනීම ලෙස හැඳින්වෙයි. මෙහිදී සිදුවන්නේ රෝගියා තුළ වෙසෙන රෝග කාරක බැක්ටීරියා අදාළ ඖෂධයට ඔරොත්තු දීමේ හැකියාව උපදවා ගැනීමය.

එවිට රෝගය ඇති කළ බැක්ටීරියාවන් ඖෂධය හමුවේ නොනැසී සිටීමේ ශක්තිය උපදවා ගනියි. වෛද්‍යවරයාට සිදුවන්නේ එම ඖෂධය වෙනුවට ඊට වඩා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමය. එවැනි ඖෂධ නිසා ඇතිවිය හැකි සංකූලතා ද ඉහළ බව පිළිගත යුතුය. ප්‍රතිජීවක අනවශ්‍ය වෛරස ආසාදනවලට, ප්‍රතිජීවක ඖෂධ ලබා දීමෙන් වෛද්‍යවරු වැළකෙන්නේ මේ හේතුවෙනි.

කෙසේ වෙතත් මේ තත්ත්වය හමුවේ ප්‍රතිජීවක ඖෂධ කර්මාන්තයට සිදුව ඇත්තේ වඩ වඩාත් ප්‍රබල වූ ප්‍රතිජීවක ඖෂධ නිපදවීමටය. එහෙත් එයට ද විශාල සීමා පවතින අතර බැක්ටීරියාව පමණක් විනාශ කළ හැකි ප්‍රතිජීවක නැතිනම් ඇනටිබයෝටික්ස් සුපරීක්ෂාවෙන් භාවිතය කළ යුතු බව වෛද්‍යවරු දක්වන්නේ එහෙයිනි.

මේ අතර ඉන්දුනීසියාවේ ජරේනා නුවර පැවති ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී ප්‍රතිජීවක ඖෂධ වලට එරෙහිව ප්‍රතිරෝධය ගොඩ නැගීමට සමත් වන තවත් ප්‍රධාන හේතුවක් හෙළිදරව් කර ඇත. “සයනස්” නම් ලෝ පතල විද්‍යා සඟරාවේ පළවූ මෙම සම්මන්ත්‍රණ වාර්තාව “සයන්ස් ඩිබ්” වෙබ් අඩවිය ද හුවා දක්වා තිබේ.

“ප්‍රතිජීවක ඖෂධ සඳහා වන ප්‍රතිරෝධය වැළැක්වීමට නම් ජනතාව මාංශ පරිභෝජනය අඩු කළ යුතුය” යන්න මෙහිදී පළවූ මතයය. මෙම මතයට එළඹීමට විද්‍යාඥයන්ට හේතු වූයේ අද බොහෝ ආහාරයට ගන්නා මස් වර්ග ලබා ගන්නේ ගොවිපල තුළ ගාල් කර ඇති කරන සතුන්ගෙන් නිසා වීමය.

ලෝකයේ භාවිතා වන ප්‍රතිජීවක ප්‍රමාණයෙන් සියයට 80 ක්ම මේ ගොවිපළ තුළ ඇති කරන සතුන්ට ලබා දෙන බව හෙළිව ඇත. තමන් ඇති කරන සතුන්ගේ පෝෂණ මට්ටම නංවා ලීමට සහ ස්වස්ථතාව ඉහළ දැමීම සඳහා ගොවීහූ විශාල ලෙස ප්‍රතිජීවක යොදා ගනිති. ඒ සතුන්ට ලබා දෙන ආහාරවලට ප්‍රතිජීවක එකතු කිරීමෙන් පමණක් නොව අඩු මාත්‍රවෙන් ලබාදෙන නික්ෂේපණ (ඉන්ජෙක්ෂන්) හරහා ද ප්‍රතිජීවක සතුන්ගේ ශරීරය තුළට එක් කිරීම මඟිනි. සම්මන්ත්‍රණයට එක් කළ අධ්‍යයන පත්‍රිකාවක පළ වූයේ් මෙම සතුන්ගේ මාංශ ආහාරයට ගන්නා මිනිසුන්ගේ සිරුර තුළ ක්‍රම ක්‍රමයෙන් ප්‍රතිජීවක ප්‍රතිරෝධය වර්ධනය කරන බවය.

ලෝක ප්‍රජාවට මෙම ගැටලුව නිරාකරණය සඳහා මෙහිදී ගත හැකි ප්‍රධාන පියවරක් වනුයේ ගොවිපළ තුළ ඇති කරන මිනිස් පරිභෝජනය සඳහා මරණයට පත් කරන සතුන්ගේ මාංශ පරිභෝජනය අඩු කිරීමය. එසේම විශේෂයෙන්ම සත්ව ගොවීන්ට ගත හැකි තවත් පියවරක් වනුයේ තම සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ප්‍රමාණය අඩු කිරීම ද යෝග්‍ය බව නිර්දේශ කර තිබේ. මෙම අධ්‍යන සිදු කළ පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වන ආචාර්ය රාමනාත් ලක්සේමිනාරායන් මහතාට අනුව 2013 වර්ෂයේදී සතුන් සඳහා ප්‍රතිජීවක ඖෂධ ටොන් 131109 ක් භාවිතා කර ඇති අතර වර්ෂ 2030 වනවිට එය ටොන් 20023 දක්වා ඉහළ යනු ඇත. එහෙයින් තම සතුන් සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතය සීමා කිරීමට ගොවීන් පෙළඹවීම සඳහා පියවර ගැනීම මෙන්ම නීති මඟින් එසේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය සීමා කිරීමට ඇති අවශ්‍යතාවය ද මෙම සම්මන්ත්‍රණයේදී යෝජනා වී ඇත.

බහුලව සත්ව මාංශ පරිභෝජනය පුරුද්දක් කරගෙන ඇති රටවල ජනතාවගේ ඒක පුද්ගල දෛනික මාංශ භාවිතය ග්‍රෑම් 40 - 70 අතර ප්‍රමාණයෙන් අඩු කළ යුතු බවට පර්යේෂණය යෝජනා කෙරේ. එහෙත් එමඟින් ඔවුන්ගේ පෝෂණ මට්ටම ඇද වැටීම වැළැක්වීම සඳහා යම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද විද්‍යාඥයන් දකිති.