මුත්‍රාශය ආශි‍්‍රත රෝගවල ලක්ෂණ

හඳුනාගන්න !

මුත්‍රාශය ආශි‍්‍රත රෝගවල ලක්ෂණ

ජාතික රෝහලේ සහ මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෞත්‍රලිංග රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සහ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය

මහාචාර්ය නෙවිල් පෙරේරා

මූලික රෝග ලක්ෂණය

මුත්‍රා කිරිමට අපහසු වීමයි, මුත්‍රා කිරීම තරමක් පමා වී ඇරඹෙන අතර ඇතැම් විට තටමමින් ටික වේලාවකට පසු මුත්‍රා කිරීමේ ඇරඹේ. සාමාන්‍යයෙන් අවු. 45 පසුවන විට මෙවැනි රෝග මතුවිය හැක. ඇතැමුන් තැකීමක් නොකල ද පසු කාලිනව තත්ත්වය ව්‍යාකූල විය හැකිය.

මුත්‍රා කඩින් කඩ පිටවීම

සාමාන්‍යයෙන් මුත්‍රා ප්‍රවාහය තත්ත්පර 30 -40 කාලයක් තුළදී අවසන් විය යුතුය. ඇතැමුන්ට මුත්‍රා කඩින් කඩ පිටවීම නිසා තත්ත්පර 30- 40 වඩා වැඩි කාලයක් උත්සාහයෙන් මුත්‍රා පිට කළ යුතුව ඇත.

ගිනිවතුර මෙන් දැවිල්ලක්

තවත් රෝග ලක්ෂණයක් වන්නේ ගිනි වතුර මෙන් මුත්‍රා තද රස්නයට පිටවීමයි. මේ අවස්ථාවේදී මුත්‍රා දැවිල්ලක් ද ඇති වේ. වේදනාවක් සහිතව රතු පාටට මුත්‍රා පිටවන්නේ නම් එය බොහෝ දුරට මුත්‍රා ආසාදනයේ ලක්ෂණයකි. මුත්‍රා බර දැනුණු විට අවට පරිසරයේ ඒ සඳහා සුදුසු වාතාවරණය සතුය. නොමැති නම් ස්වභාව ධර්මයා විසින් මුත්‍රාශය තුළ මුත්‍රා රඳවා ගෙන සිටිය හැක. මුත්‍රාශය තුළ මිලි. 150 පමණ එකතු වන තුරු දරා ගැනීමට හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් මුත්‍රාශයේ මිලි. 400 එකතු විය යුතුය. යම් යම් රෝග වලදී දරා ගැනීමේ ශක්තිය නොමැතිව අතරමැද මුත්‍රා ගලා යාමට පවා ඉඩ ඇත.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම

මුත්‍රා සමඟ රුධිරය පිටවීම බොහෝවිට මුත්‍රා පද්ධතියේ පිළිකා රෝග ලක්ෂණයකි. විශේෂයෙන් දැවිල්ලක් නොමැතිව මුත්‍රා සමඟ රුධිරය පිටවීම පිළිකාවකට හොඳම උදාහරණයයි.

කුඩා දරුවන්ට

කුඩා පිරිමි දරුවන්ගේ මුත්‍රා පිටවීම වේගවත් විය යුතුයි. එසේ නොවන්නේ නම් උත්පත්තියේ සිට ඇතිවන මුත්‍රා මාර්ගයේ සිරවීමක් දක්නට ලැබේ. මෙම දරුවන් තටමමින් මුත්‍රා පිට කිරීම සිදු කෙරේ. මෙවැනි රෝග තත්ත්ව වලට ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. එසේ නොවන්නට අනාගතයේදී වකුගඩු අකර්මන්‍ය වීමට ද ඉඩ ඇත.

සමාජ රෝග

අවු. 20 -25 අතර මුත්‍රා ප්‍රවාහය ඉතා අඩු වශයෙන් සිදු වනවා නම් ඇතැම්විට එය ලිංගාශි‍්‍රත රෝගය ක ලක්ෂණයක් විය හැක.

බයිසිකල් පැදීමේදී

බයිසිකල් පැදීමේදී ඇතැම්විට පිරිමින්ගේ මුත්‍රා මාර්ගය බයිසිකල් බාර් එකට තැලීමට ඉඩ ඇත. කාලයක් ගිය පසු යම් යම් ගැටලු මතු වී මුත්‍රා මාර්ගය ආශ්‍රිත ගැටලු ඇතිවිය හැක.

පුරස්ථි ග්‍රන්ථිය ආශි‍්‍රත ගැටලු

වයසත් සමඟ පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම වැනි රෝගාබාධ මතුවන්නේ මුත්‍රා කඩින් කඩ පිටවීම වැනි රෝග ලක්ෂණ මතු කරවමිනි. ඇතැම්විට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාමය තත්ත්වය දක්වා ද මෙය පැතිර යා හැක.

කාන්තාවන්ට මුත්‍රා රෝග ඔසප් අවසන් වීමෙන් පසු ඇතැම් කාන්තාවන්ට මුත්‍රා කිරීම අපහසු වන්නේ හෝරමෝන අඩු වීම නිසා මුත්‍රා මාර්ගය හැකිලීමට ලක්වීම නිසාය. ඇතැම්විට රුධිරය පවා පිටවිය හැකි අතර එය පිළිකාවක ලක්ෂණයක් ද විය හැක.

මුත්‍රා අඩස්සිය

මුත්‍රා අඩස්සිය යනු මුත්‍රා පහවීම නැවතීමයි. මුත්‍රා කැඩී කැඩී පිටවීම, සෙමින් පිටවීම ආදියට නිසි ප්‍රතිකාර නොගැනීමෙන් මුත්‍රා අඩස්සිය සෑදේ.

දියවැඩියාවට

රාත්‍රී කාලයේදී නින්දෙන් අවදි වී වරින් වර මුත්‍රා පිටවීම සිදු වන්නේ නම් එය දියවැඩියා ලක්ෂණයකි. මේ ආකාරයට මුත්‍රා ආශි‍්‍රත රෝග ගණනාවක් තිබෙන හෙයින් රෝග ලක්ෂණ මතු වූ වහාම හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍යය.

එසේ නොවන්නට අනාගතයේදී මුත්‍රා ආශි‍්‍රත ගැටලු සමූහයක් ඔබට මුහුණ දීමට සිදුවනු ඇත. පසුකාලීනව වකුගඩු බද්ධය තරම් රෝගය දරුණු විය හැක.