මවුකිරි නොලද දරුවන්ට ප්‍රතිශක්තිකරණයත් අඩුයි

මවුකිරි නොලද දරුවන්ට ප්‍රතිශක්තිකරණයත් අඩුයි

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා

දරු පැටියාට හදිසියේම උණගත්ත නිසා කුමාරි පැරසිටමෝල් භාගයක් දියකර පෙව්වා. ටික වේලාවක් යන විට දරුවා වේදනාවෙන් අඬන්නට පටන් ගත්තා. එතකොටයි කුමාරි දැක්කේ දරුවාගේ ඇඟපත පුරාම පළු දාලා. ඇයට දරුවා ගැන දැනුණේ ලොකු බියක්. කුමාරි තවත් පමා නොවී වහාම දරුවා පවුලේ වෛද්‍යවරයා වෙත ගෙන ගියා.

“බයවෙන්න දෙයක් නැහැ. දරුවාට දුන්න පෙත්ත ඇලජික් වෙලා.... ඔයා පමා නොවී ආව එක නම් හරිම වැදගත්...” වෛද්‍යවරයා කුමාරිට ප්‍රශංසාත්මක ස්වරයෙන් කතා කරන ගමන්ම අවවාදයකුත් ලබා දුන්නා.

“මීට පස්සේ දරුවට ප්‍රතිකාර ලබාගන්න ගියාම මේ ගැන වෛද්‍යවරුන් දැනුවත් කරන්න මතක තබා ගන්න.”

ඇතැම් ඖෂධ ගත්විට මෙන්ම මස්, එළවළු කරවල, ඉස්සන් වැනි මාළු වර්ග හා රටකජු වැනි ධාන්‍ය වර්ග අනුභව කළ විට ශරීරයේ පළු දැමීම, ඇඟ කැසීම, ඇස් රතු වීම, ක්ලාන්තය, හුස්ම ගැනීමේ අපහසුව ද ඇති වේ.

මෙවැනි අසාත්මිකතාවයන් ඇති වන්නේ බාහිරින් ඇතිවන හෝ ගන්නා ඖෂධයන් නිසා හෝ සිරුරේ ඇති ප්‍රතිශක්තිකරණයට ඔරොත්තු දීමේ බලයක් ශරීරය තුළ නැති වීමෙනි.

කෙසේ වෙතත් කුඩා දරුවන්ට යම් යම් රෝගයන් සඳහා ලබා දෙන බේත් හේත් නිසා අසාත්මිකතා ඇති වේ. එය සිදුවන්නේ ශරීරයට එම ඖෂධ අවශෝෂණය කර ගැනීමට තරම් ප්‍රතිශක්තියක් ඔවුන් තුළ නොමැති කමිනි.

තවත් සමහර දරුවන්ට ඇතිවන කන කැසීම, පීනස, ඇඟේ පළු දැමීම, සමේ වර්ණය වෙනස් වීම අසාත්මිකතාවක් නිසා විය හැකිය.

තවත් විටෙක දරුවකුට යම් ආහාරයක් ගත්විට ඇඟේ පළු දැමිමේ ස්වභාවයක් පවතින්නේ නම් එවැනි අවස්ථාවක එම ආහාර පාන දීම වහා නැවැත්වීමට වගබලාගත යුතුයි.

සමීක්ෂණවලට අනුව වැඩි වශයෙන් අසාත්මිකතාවන් ඇති වන්නේ මස් වර්ග හා මාළු වර්ග ආහාරයට ගත් විටය.

එය එසේ සිදුවීමට හේතුව වන්නේ මස් හා මාළුවල ඇති රසායනික ද්‍රව්‍යයන් හා ඒවා කල් තබා ගන්නට යොදන ෆෝමලික් වැනි රසායනික ද්‍රව්‍ය , රසකාරක ආදිය ශරීරයට අසාත්මික වීමයි.

දූවිලි, ගංගා ජලය, අන්නාසි වැනි පලතුරු වර්ග නිසාද සමහර දරුවන්ගේ ශරීරයේ විවිධ වෙනස්කම් ඇති වෙයි. මෙය සිදුවන්නේ ද අසාත්මිකතාවය හේතුවෙනි. විශේෂයෙන්ම දූවිලි නිසා කිවිසුම් යන්නේ ද පීනස වැලඳෙන්නේ ද ශරීරයේ ඒ සඳහා ප්‍රතිශක්තියක් නොමැතිකමෙනි. එම නිසා එය ද අසාත්මිකතාවයක් ලෙස හඳුන්වයි. මේ සඳහා නිසි ප්‍රතිකාරයක් නැතත්, කුඩා කල නිසි අයුරින් මවුකිරි නොලද දරුවන් වැඩි වශයෙන් මේ සඳහා ලක්වන බව තහවුරු කර ගෙන තිබේ. එයට හේතුව ලෙස දක්වන්නේ මවුකිරේ ඇති ප්‍රතිශක්තිය අවශ්‍ය පරිද්දෙන් දරුවාට නොලැබිම හේතුවෙනි.

දරුවන්ගේ සම ඉතා සංවේදීයි. හරියට මල් පෙත්තක් වැනිය. මේ නිසා ළදරු සමට අසාත්මික වන යමක් ස්පර්ශ වීම හෝ ශරීරගත වීම මත ද සමේ යම් යම් අසාත්මිකතාවන් ඇති වෙයි.

අසාත්මිකතාවය ඇති දරුවකුට වැඩිහිටියකු විසින් ආහාර පාන ලබා දී පරිස්සමින් කටයුතු කළ යුතුය. වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැදීමටත් වගබලා ගැනීම වැදගත් ය.

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් බෙහෙතක් නියම කිරීමට පෙර විවිධ අසාත්මිකතාවයන් තිබේ දැයි ප්‍රශ්න කරයි. එසේ නොවන අවස්ථාවලදී ඒ ගැන දැනුවත් කිරීම ඔබගේ වගකීමකි. එපමණක් නොව දරුවා නිතර ගැවසෙන පාසල, පන්තිය, පෙර පාසල ආදී ස්ථානවල භාරකරුවන්ට දරුවාගේ රෝගාබාධ පිළිබඳ දැනුවත් කිරීම ද වැදගත් වෙයි. එසේ නොමැති දරුවකුට හදිසි අසනීපයකදී ප්‍රතිකාර නියම කිරීම වෛද්‍යවරයකුට ගැටලු සහිත වෙයි.

ඇතැම් අල වර්ග ද දරුවන්ට අසාත්මිකතා ඇති කරයි.

ශීතකරණයේ වැඩි වේලාවක් තබා ඇති ආහාර පාන නිසා මෙවැනි ගැටලුවක් ඇති වන්නට පුළුවන.

එවැනි අවස්ථාවකදී ප්‍රථමාධාර ලබා නොදී දරුවකු හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත යොමු කිරීම ඉතා වැදගත්.

අසාත්මිකතාවය බිය විය යුතු දරුණු රෝග තත්ත්වයක් නොවේ. එහෙත් එවැනි අවස්ථාවක් ඇති වුවහොත් හරි හැටි ප්‍රතිකාර නොකිරීමෙන් ජීවිත හානි පවා සිදුවිය හැකිය.