විශේෂඥ වෛද්‍ය හමුව

විශේෂඥ වෛද්‍ය හමුව

ලිංගාශ්‍රිත රෝග හා HIV AIDS පිළිබඳ  ගැටලු රැසකට පිළිතුරු

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

HIV ඒඩ්ස් නිට්ටාවට සුව කළ හැකිද?

HIV යනු වෛරස් කාණ්ඩයේ රෝගයක්. එය ශරීරයට ඇතුළු වූ පසුව ඉවත් කළ නොහැකි නමුත් එම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ හැකියි. ඒ සඳහා ප්‍රති වෛරස් ඖෂධ නියමිත කාලසීමාවන්වලදී නිර්දේශිත මාත්‍රාවන් අනුව ජීවිත කාලය පුරාවටම භාවිතා කළ යුතුයි. එමඟින් අදාළ රෝගියාට තමාගේ ජීවිත කාලය පුරාවටම HIV වෛරසය මඟින් ඇති කරන බලපෑම් සාර්ථකව පාලනය කරගත හැකියි.

HIV වැලඳුණු සැණින් යම් අයෙක් මිය යා හැකිද?

සාමාන්‍යයෙන් HIV වෛරසය ශරීරගත වූ පසුව අවුරුදු 2 සිට 10 දක්වා කාලයක් AIDS තත්ත්වයට පත්වීමට ගත වේ. එවැනි තත්ත්වයකට පත් වූණත් අදාළ ප්‍රතිකාර නියමිතව ලබා ගැනීමෙන් අදාළ රෝගය පාලනයට ලක් කළ හැකියි. නමුත් ප්‍රතිකාර මඟහැරීම හෝ ලබා නොගෙන සිටීමෙන් HIV ආසාදනය වූ තැනැත්තා ශරීර ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ඇතිවන රෝගවලින් මරණයට පවා පත් වීමට හැකියි.

HIV වෛරසය ශරීරගත වී AIDS තත්ත්වයට පත් වීම

මෙය මානව ප්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය (Human Immunodeficiency Virus - HIV) ලෙස හඳුන්වන්නේ එමඟින් පුද්ගලයාගේ ශරීරයේ ප්‍රතිශක්තියට ඇති කරන විශාල බලපෑමයි. මේ බලපෑමෙන් ශරීරයේ විසබීජවලට එරෙහිව ක්‍රියාකාරී වන සුදුරුධිරාණුවලට බලපෑම් ඇති කරන ශරීර ප්‍රතිශක්තිය ඉතා දුර්වල මට්ටමට පත් කරනු ඇත. මේ හේතුවෙන් නියුමෝනියාව, ක්ෂය රෝගය, පාචනය වැනි රෝග ඇති වී ශරීරයේ නිරෝගී පැවැත්මට හානි සිදුවීම AIDS තත්ත්වයට පත්වීම ලෙසින් හැඳින්වේ. නමුත් මෙම තත්ත්වයට පත් වුණත් ප්‍රතිකාර නිසි පරිදි ලබා ගන්නවා නම් නැවත සාමාන්‍ය තත්ත්වයට පත් විය හැකියි.

ඒඩ්ස් රෝගීන්ට විවාහ වීමට, දරුවන් ලැබීමට නොහැකිද?

සාමාන්‍යයෙන් HIV රෝගීන් තමා වෛරස් ආසාදිතයෙක් බව දැනගත් විට ප්‍රතිකාර ලබා ගැනීම මඟින් සාමාන්‍ය මට්ටමට පත්විය හැකියි. එහිදී ශරීරය තුළ වෛරසය පැවතිය ද වෛරස් සාන්ද්‍රණය බොහෝ සේ අඩු වී පවතින බැවින් විවාහ වීම මෙන්ම දරුවන් ලබා ගැනීමටත් හැකියි. නමුත් නිරන්තර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වගේම අදාළ ප්‍රතිකාර නොකඩවා ලබා ගැනීම මෙවැනි කරුණුවලදී ඉතා වැදගත්. කෙසේ වෙතත් HIV ආසාදිත කාන්තාවකට දරුවෙක් පිළිසිඳ ගත්තත් පෙර පැහැදිළි කළ පරිදි ශරීරයේ වෛරස් ප්‍රමාණය ඖෂධ මඟින් ඉතා හොඳින් පාලනය කර ගැනීමෙන් HIV ආසාදිතයකු නොවන නිරෝගී දරුවෙක් බිහි කළ හැකියි.

දැනට ලංකාවේ HIV ආසාදිතයන් කොපමණ සිටිනවාද? දැනට ලංකාවේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන දිස්ත්‍රික්ක මොනවාද?

මේ වනවිට සමස්ත දිවයිනෙන්ම HIV ආසාදිතයන් 2800 පමණ සොයාගෙන තිබේ. ඉන් 450 ක පමණ දෙනෙක් මියගොස් තිබේ. මෙම රෝගීන් අතුරින් බහුතරයක් කොළඹ දිස්ත්‍රික්කය, ගම්පහ, කළුතර, කුරුණෑගල, අනුරාධපුර ආදී දිස්ත්‍රික්කවල රෝගීන් වාර්තා වී තිබේ.

ගැබිනි කාන්තාවකට HIV ආසාදනය වුවොත් දරු ගැබට ඇතිවන බලපෑම

මෙවැනි අවස්ථාවකදී අදාළ කාන්තාව නිසි ප්‍රතිකාර කරා යොමු වීම විශාල ගැටලුවක්. එසේ ප්‍රතිකාර ලබා නොගැනීම නිසා HIV වෛරසය දරු ගැබට ඇතුළු වීමේ 50% ක සම්භාවිතාවක් තිබේ. එසේ දරුවාට ද වෛරස ඇතුළු වුවොත් දරුවාට ද ජීවිත තාලය පුරාම HIV වෛරස් ආසාදිතයකු වශයෙන් ජීවත් වීමට සිදු වේ. ඒ නිසා ගර්භණී අවදියේදී HIV ඇතුළු ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ අවධානයෙන් සිටීමත්, පරීක්ෂණ මඟින් ඒ පිළිබඳ පරීක්ෂා කිරීමත් අදාළ ප්‍රතිකාර අවශ්‍ය නම් ඊට නොපමාව යොමු වීමත් ඉතාමත් වැදගත්.

HIV ශරීරගත වන්නේ ලිංගික සංසර්ගයෙන් පමණද?

HIV වෛරසය එක් අයකුගෙන් තවත් අයකුට වැළඳීමට ඉඩකඩ තිබෙන අවස්ථා කිහිපයක් පිළිබඳ පැහැදිලි කළ හැකියි. එම අවස්ථා ලෙස ආසාදිත මවකගෙන් ළදරු කලලයට වෛරසය සම්පේ‍්‍රෂණය වීම, මත්ද්‍රව්‍ය වැනි දේ. එන්නත් කටු භාවිතා කර ශරීරයට එක්වර කිහිපදෙනෙක් එකම කටුවක් මාර්ගයෙන් එන්නත් කර ගැනීම, HIV පරීක්ෂාවකින් තොරව රුධිර පාරවිලනය මඟින් මෙම වෛරසය බෝවීමේ වැඩි ඉඩකඩක් තිබේ. නමුත් ඉහත හේතූන්ට අමතරව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ HIV වෛරසය එක් අයකුගෙන් තවත් අයකුට සම්පේ‍්‍රෂණය වීමේ ප්‍රධානතම හේතුවන්නේ අනාරක්ෂිත ලිංගික සබඳකම්ය.

මදුරුවන් මාර්ගයෙන් HIV වෛරසය ශරීරගත වීමට හැකිද?

මෙම වෛරසයට පැවැත්මක් තබා ගැනීමට හැකි මානව ශරීරයක පමණක් බැවින් වෙනත් සත්ත්ව ශරීරයකට ඇතුළු වීමෙන් මෙය විනාශ වේ. ඒ නිසා මදුරුවන්, මැක්කන් වැනි රුධිරය උරා බොන සතුන් HIV ආසාදිතයන්ට දෂ්ට කර වෙනත් අයෙකුට නැවත දෂ්ට කළත් එම වෛරසය තාමත් මිනිස් සිරුරකට ඇතුළු නොවේ. ඒ වගේම මෙම වෛරසය බාහිර පරිසරයේදී ඉක්මනින්ම විනාශ වන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

සමාජයේ දක්නට ලැබෙන ලිංගාශි‍්‍රත රෝග මොනවාද?

ලිංගික සම්බන්ධතා නිසා බෝවන රෝග 23 ක් පමණ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් දක්නට ලැබේ. මෙම රෝගවලට අදාළ රෝග ලක්ෂණ බොහෝදුරට දැක ගැනීමට ලැබෙන නමුත් රෝග ලක්ෂණ හඳුනා ගැනීමට ප්‍රථම ඊට අවධානයක් යොමු නොවීම බරපතළ ගැටලුවක්. නමුත් ඇතැම් රෝග වලදී ලිංගික පද්ධතියට සම්බන්ධ රෝග ලක්ෂණ පෙන්නුම් නොකෙරෙන අවස්ථා ද තිබේ. මෙම රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් ලිංගික අවයව වලින් අසාමාන්‍ය ස්‍රාවයන් පිටවීම හෝ බාහිරට පෙනෙන තුවාලයක් හෝ ගැටිත්තක් ලෙස මතුවිය හැකියි. නමුත් ලිංගාශ්‍රිතව බෝවන මෙම විවිධ රෝග අවස්ථාවලදී එම එක් එක් රෝගයට අදාළ වන පරිදි රෝග ලක්ෂණ මතුවිය හැකියි.

ලිංගාශි‍්‍රත රෝග ව්‍යාප්තිය සිදුවන්නේ කුමන හේතු මුල් කරගෙනද?

ලිංගාශි‍්‍රත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එම රෝග සඳහා හේතු වී ඇත්තේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම්ය. මෙම ලිංගාශි‍්‍රත රෝග අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වැඩි වශයෙන් පවත්වන අය අතරේ පහසුවෙන් සංක්‍රමණය විය හැකියි. එබැවින් ඔවුන් නිතර ලිංගාශි‍්‍රතව බෝවන රෝග පරීක්ෂණවලට යොමුවීම ඉතා වැදගත්. මෙම රෝග අතීතයේදී සමාජ රෝග වශයෙන් හැඳින්වුවත් පසුව ඒවා ලිංගාශි‍්‍රත රෝග වශයෙන් හඳුන්වන ලදී. නමුත් වඩාත් සුදුසු වන්නේ මෙම රෝග ලිංගිකව සංක්‍රමණය වන රෝග ලෙස හැඳින්වීමයි.

ලිංගිකව සංක්‍රමණය වන රෝග අතුරින් බහුලව දැකගත හැකි රෝග තත්ත්ව මොනවාද?

ලංකාව තුළ සුලබව දක්නට ලැබෙන ලිංගාශි‍්‍රත රෝග සඳහා හේතු වී ඇත්තේ වෛරස් වර්ගය. ඒ අතුරින් සුලබව දැකගත හැකි රෝග අවස්ථාවක් ලෙස හර්පීස් රෝගය පිළිබඳ හඳුන්වාදිය හැකියි. ඊට හේතුවන්නේ Herpes simplex  නැමති වෛරසයයි. ලිංගික ඉන්නන් ද මේ වනවිට බහුලව දක්නට ලැබෙන ලිංගිකව සංක්‍රමණය වන රෝගයක්. මිට අමතරව බැක්ටීරියා නිසාත් මෙවැනි රෝග ඇතිවන අතර ඒවා උදාහරණ වශයෙයන් ගොනෝරියා, ක්ලැමීඩියා, ට්‍රයිකොමොනාසිස්, සිපිලිස් ආදිය පිළිබඳ හඳුනාගත හැකියි. මෙම වෛරස් එමෙන්ම බැක්ටීරියාවලට අමතරව ඇතැම් පරපෝෂිතයන් මූලික කරගෙන ද ලිංගාශි‍්‍රත රෝග වැළඳිය හැකියි.

පොදු වැසිකිලි භාවිතය මඟින් ද ලිංගාශි‍්‍රත රෝග බෝ වීමට හැකිද?

මෙවැනි මත සමාජයේ මුල් බැසගෙන පැවතිය ද ඒවායේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැත. ඒ අනුව ලිංගික රෝගයක් බෝ වීමට නම් පුද්ගලයන් දෙදෙනෙක් අතර ලිංගික සම්බන්ධයක් පැවතිය යුතුයි. එහිදී ලිංගේන්ද්‍රියයන් එකිනෙක ගැටීම, ලිංගාශි‍්‍රත තරල හුවමාරුව, මුඛය මෙන්ම ගුද මාර්ගය භාවිතා කර ලිංගික ක්‍රියාවල නිරත වීම මඟින් මෙම රෝග බෝවීම සිදු වේ.

සිප ගැනීමෙන් HIV හෝ වෙනත් ලිංගාශි‍්‍රත රෝග බෝවනවාද?

සිප ගැනිමෙන් දෙදෙනෙක් අතර හුවමාරු වන්නේ කේඨයයි. ඒවායේ මෙම HIV ඇතුළු ලිංගාශ්‍රිත රෝගවලට අදාළ ක්ෂුද්‍ර ජීවීන්ට රඳා පැවතීමේ හැකියාවක් නොමැති නිසා ඉන් මෙම රෝග බෝවීමක් සිදු නොවේ.

ලිංගාශි‍්‍රත රෝග ගැබිනි මවකගෙන් දරුවකුට බෝ වෙනවාද?

උදාහරණ ලෙස HIV, සිපිලිස් වැනි රෝගයක් පිළිබඳ සලකා බැලුවහොත් වැදෑමහ හරහා දරුවාට ද බෝ වීමේ අවදානමක් පවතියි. මෙම රෝග දරුවාට විවිධාකාර සෞඛ්‍ය තර්ජන ඇති කරනවා මෙන්ම වඳභාවය වැනි තත්ත්ව පවා ඇති කරවිය හැකියි. ගබ්සා වීම, අඩු බර දරු උපත් ආදිය මීට උදාහරණයි.

ඒඩ්ස් රෝගීන් සමාජයෙන් කොන් කිරීම

මුල් කාලයේදී HIV AIDS රෝගීන් කොන් කිරීම බොහෝ රටවල දක්නට ලැබිණ. නමුත් එසේ සිදු කිරීම රෝගයට ප්‍රතිකාර කිරීමට සහ බෝවීම වැළැක්වීමට දැඩි සේ බාධා විය. නමුත් මේ වනවිට එම තත්ත්වය යම්තාක් දුරට අඩු වී ඇති අතර රෝගීන් හඳුනා ගැනීමත්, අදාළ පරීක්ෂණ මඟින් රෝගය තහවුරු වුවොත් ප්‍රතිකාර නියමිතව ලබා ගැනීම මඟින් රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ හැකියි.

HIV රෝගය පැතිරීම වැළැක්වීමට වැඩි අවධානයක් යොමු කළ යුතු පිරිස්

මේ වනවිට HIV AIDS රෝගය ලංකාව තුළ ව්‍යාප්ත වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතායි. ඒ නිසා රෝග ව්‍යාප්ත වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතායි. ඒ නිසා රෝග ව්‍යාප්තිය වැළැක්වීමට නම් වැඩි අවධානයක් ලබාදිය යුතු කාණ්ඩ පිළිබඳ පහත ආකාරයට පැහැදිළි කළ හැකියි. ලිංගික වෘත්තිකයන් (කාන්තා සහ පිරිමි) , පිරිමි සමලිංගිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් මඟින් භාවිතා කරන අය සඳහා මූලික අවධානයක් ලබා දීම ඉතා වැදගත්.