නාසයෙත් ගල් ඇති වෙනවාලු

නාසයෙත් ගල් ඇති වෙනවාලු

මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල

උගුර කන නාසය පිළිබඳ

විශේෂඥ ශල්‍ය වෛද්‍ය

සීතා අරඹේපොළ

නාසය තුළ ඇති ගල් ඉවත් කරන ආකාරය

මෙවැනි තත්ත්වයන් හඳුනා ගැනීමෙන් පසු රෝගියාට නිර්වින්දනය කොට එම ගල් ඉවත් කිරීම සිදු කළ යුතු වේ. මෙලෙස ගල් ඉවත් කිරීමේදී නාසයෙන් අධික ලෙස රුධිරය වහනයවීම වැළැක්විය නොහැක. එහෙයින් මෙම ගල් ඉවත් කරනුයේ ශල්‍යාගාරයක් තුළදීය. එයට හේතුව වන්නේ අධික ලෙස රුධිර වහනය වළක්වා ගැනීම සඳහාත් විෂබීජවලින් ආරක්ෂා කර ගැනීම සඳහාත්ය. තවද නවීනතම ප්‍රතිකාර ක්‍රමයක් වන එන්ඩොස්කොප් කැමරාවක ආධාරයෙන් ශල්‍යාගාරයක් තුළ මෙම ගල් ඉවත් කළ හැක. මෙලෙස නාසයේ ගල් ඉවත් කිරීමේදී ගල් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම අනිවාර්්‍ය වේ. එවිට නැවත වර්ධනය වීම වළක්වාගත හැකි වන හෙයිනි.

නාසය තුළ ගල් ඇතිවීමට හේතුව විමසා බලමු.

නාසයේ ගල් ඇතිවීමේ ක්‍රියාදාමය වන්නේ පිටතින් නාසයට ඇතුළු වන ද්‍රව්‍යයක් වටා හෝ ලේ කැටියක් වැනි ද්‍රව්‍යයක් නාසය තුළ රැඳී එය වටා කාලයක් පුරා කැල්සියම් හා මැග්නීසියම් අංශු තැන්පත් වීම නිසාය.

එය කාලයත් සමඟ ඇතැම්විට විශාල ප්‍රමාණයකට වර්ධනය වේ. මෙවැනි අවස්ථාවලදී මෙම ගල් නාසය තුළ ගැඹුරට කිඳා බැස ඉහත සඳහන් කළ විවිධ රෝග ලක්ෂණ ඇති කිරීමට සමත් වේ.

සිරුරේ ඇතැම් ඉන්ද්‍රියයන්වල ගල් සෑදීම අද බොහෝවිට දක්නට ලැබෙන රෝගී තත්ත්වයක්. සාමාන්‍යයෙන් ගල් සෑදෙන ඉන්ද්‍රියයන් අතර පිත්තාශය, වකුගඩු, මුත්‍රාශය, මුත්‍රා මාර්ගය ප්‍රමුඛ ස්ථානයක් ගනී. නමුත් ඔබ ඇසුවොත් පුදුමයට පත්වන බොහෝදෙනෙක් නොදන්නා රෝගී තත්ත්වයක් පිළිබඳවයි අද ඔබට විග්‍රහ කරන්නේ. ඒ නාසය තුළ ගල් ඇතිවීමයි.

නාසය තුළ ගල් ඇතිවීමට බලපාන හේතු කිහිපයක් ඇත. ඒවා අතර යම් පුද්ගලයකුගේ නාසයෙන් නිරන්තරයෙන් රුධිරය වහනය වීම සිදුවන්නේ නම් එය නාසයේ ගල් ඇතිවීමට බලපාන හේතුවක් වේ. එසේම ඇතැමෙකුගේ නාසයෙන් නිතරම දුර්ගන්ධයක් හමයි නම් තවත් එවැනි හේතු වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ පීනස පැවතීම, යම්කිසි බාහිර ද්‍රව්‍යයක් නාසයේ සිරවී දීර්ඝ කාලයක් පැවතීම ආදිය වේ. එසේම නාසයේ අවහිරතාවක් දැනෙන්නේ නම් හෝ ඇසෙන් අධික ලෙස කඳුළු ගලයි නම් එවැනි රෝග ලක්ෂණ නාසයේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයක පූර්ව ලක්ෂණයක් විය හැක. තවත් රෝග ලක්ෂණයක් ලෙස රෝගීන් පවසන්නේ තදින් හිසරදය ඇති වීමයි.

නමුත් මෙම පූර්ව රෝග ලක්ෂණ ඇතැම් රෝගීන් පැවසුවද, බොහෝදෙනා මෙම රෝගී තත්ත්වය පීනස යැයි වටහා ගෙන පීනසට පිළියම් කිරීම සිදු කරති.

එබැවින් ඉහත රෝග ලක්ෂණ ඇතොත් වහාම කළ යුත්තේ වෛද්‍යවරයෙකු මුණ ගැසීමය. එවිට ඔබේ වෛද්‍යවරයා නාසය හොඳින් පරික්ෂා කර අවශ්‍ය නම් නේසල් එන්ඩොස්කොපි පරීක්ෂණය සිදු කොට නාසය අභ්‍යන්තර පරීක්ෂාවට ලක් කරන අතර එම පරීක්ෂණයෙන් නාසය තුළ ගල් ඇති බව හඳුනාගතහොත් වැඩිදුර නිරීක්ෂණය කිරීම සඳහා සී.ටී ස්කෑන් පරීක්ෂණයක් හෝ එක්ස් කිරණ පරීක්ෂණයක් සඳහා අනිවාර්යෙන්ම ඔබ යොමු කරවනු ඇත.

තවද උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයෙකුට සායනික පරීක්ෂණයක් තුළින් පහසුවෙන් මෙම රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකිවනු ඇත.