මත්වන ඖෂධ ලබාදී කුඩා දරුවාට අතවර කළ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වෙයි

මත්වන ඖෂධ ලබාදී කුඩා දරුවාට අතවර කළ බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වෙයි

කොළඹ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.ඩී. චන්න පෙරේරා

සෑම මවකගේම පියකුගේම එකම බලාපොරොත්තුව තම දරුවන්ගේ යහපතය. බොහෝ මව්පියන් තම ජීවිතයට කැප කරන්නේ ඒ වෙනුවෙනි. තම දරුවා දියණියක ද, පුතෙකු ද යන්න නොසලකා වර්තමානයේදී මව්පියන් දරුවා පසුපසම සිටින්නේ දරුවන් විවිධ ආකාරයෙන් බිලිගන්නා යක්ෂයින් සමාජයේ සෑම තැනකම සිටින බැවිනි. මව්පියන්ගේ දෑස් මානයෙන් එපිටට ගිය විට දරුවන් අනාරක්ෂිත වන බවට සාක්ෂි සපයන ඉතා ශෝචනීය කතා පුවතකි මේ. මෙය සිදු වූයේ මීට වසර 3 කට පමණ ඉහතදීය.

කිත්සිරිටත් ඉනෝකාටත් සිටි එකම දරුවා සංසිඳුය. සසිඳු මනා පෙනුමැති පිරිමි දරුවෙකි. කිත්සිරි පුද්ගලික ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. ඉනෝකා රැකියාව කළේ රාජ්‍ය සංස්ථාවක ලිපිකාරිණියක ලෙසය. පාසල් කාලයට අමතරව සසිඳු දවසේ වැඩි වේලාවවක් ගත කළේ තම පියා සමඟය.කිත්සිරි තම පුතු සසිඳු පාසලට රැගෙන ගියේය. පාසල් ඇරී සසිඳු නිවසට රැගෙන ආවේද කිත්සිරි විසිනි.

ඒ සසිඳුගේ ආරක්ෂාව පිළිබඳව සිතාය. අමතර පන්තියක් නැතිනම්, අම්මා වැඩ ඇරී සවස නිවසට පැමිණෙන තෙක් සසිඳු නිවසේ සිටියේ තනිවමය. ඇතැම් දිනවලදී සසිඳු සවස් කාලය ගත කළේ ගමේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින්ය. කිත්සිරිගේ සවස් වරුව ගෙවෙන්නේ ව්‍යාපාරික කටයුතුත් සමඟය. සසිඳුගේ මව නිවසට පැමිණෙන්නේ සවස 6.00 ට පමණ ආසන්න වන විටය.

සසිඳු දෙමව්පියන්ට ඉතා කීකරු දරුවෙකි. කාගෙත් ආදරය දිනාගත් ඉතා ආදරණීය දරුවෙකි. පාසල් වැඩ වලට ද ඉතාම දක්ෂ දරුවෙකි. ඒ නිසා කිත්සිරිටත් ඉනෝකාටත් තම එකම පුතා පිළිබඳව තිබුණේ මහා බලාපොරොත්තුවකි.ඒ වනවිට සසිඳුට වයස අවුරුදු 14 ක් වූවා පමණය. ඉතා ආදරණීය දරුවකුව සිටි සසිඳුගේ හැසිරීමේ වෙනසක් දිනෙන් දින ඉනෝකාටත් කිත්සිරිටත් දැනෙන්නට විය.

එම තත්ත්වය ඇති වී දින කීපයක් ගත වනවිට සසිඳු අව සිහියෙන් සිටින තත්ත්වයකට පත් විය. තමන්ට ඉතාම කීකරුව සිටි දරුවා අකීකරු සහ අසාමාන්‍ය වැඩ කරන තත්ත්වයකට පත්ව සිටින බව සසිඳුගේ දෙමව්පියන්ට පැහැදිලි විය. පිටස්තර පුද්ගලයින්ට මේ බව පැවසිය නොහැකි නිසා සසිඳු ප්‍රදේශයේ පුද්ගලික රෝහලක වෛද්‍යවරයකු වෙත ගෙන යාමට සසිඳුගේ දෙමව්පියන් තීරණය කළහ.

එහිදී වෛද්‍යවරු පැවසුවේ රජයේ රෝහලක ස්නායු රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත දරුවා ගෙන යන ලෙසටය. ඔවුහු එසේ කළහ. සසිඳුට ප්‍රතිකාර කිරීමට පැවරුණේ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙතය. ඒ අතරතුර අධිකරණ වෛද්‍ය විශේෂඥ චන්න පෙරේරා මහතාට ද සසිඳු ගේ රෝගය පිළිබඳව තොරතුරු සොයා බැලීමට පැවරිණි. වෛද්‍ය චන්න සසිඳු පරීක්ෂා කර බැලීමට ගිය විට සසිඳු සිටියේ නිදාගෙනය. ඒ නින්ද යාමට සසිඳු ට බෙහෙත් ලබා දී තිබුණු බැවිනි. එය සසිඳු පරීක්ෂා කිරීමට වෛද්‍ය චන්නට පහසු විය.

බැලූ බැල්මට කිසිදු වෙනසක් වෛද්‍ය චන්නට පෙනුනේ නැත. වෛද්‍ය චන්න සසිඳුගේ ශරීරය ඉතා හොඳින් පරික්ෂා කළේය. සසිඳුගේ ගුද මර්ගය ප්‍රදේශය ද පරීක්ෂාවට ලක් කළේය. එහිදී වෛද්‍ය චන්නට වැටහුණේ ගුද මාර්ගය තුවාල වී ඇති බවය. කවුරුන් හෝ විසින් කුඩා දරුවාව ගුද මාර්ගයේ සංසර්ගය සඳහා යොදාගෙන ඇති බව එහිදී වෛද්‍ය චන්නට අවබෝධ විය.ටික වේලාවකින් සසිඳු අවදි විය. සසිඳු එම අවස්ථාවේ සිටියේ තරමක හොඳ සිහියකිනි. වෛද්‍ය චන්න බොහෝ වේලාවවක් ගත කොට සසිඳුට විශ්වාසවන්ත, සමීප පුද්ගලයකු බවට පත්විය. පසුව සසිඳුගෙන් තොරතුරු විමසා සිටියේය.

ගුද මාර්ගය තුවාල වී ඇත්තේ ඇයි ද යන්න එහිදී වෛද්‍ය චන්න විමසා සිටියේය. එවිට සසිඳු පැවසුවේ ගමේ තරුණ පුද්ගලයින් තිදෙනෙකු තමන්ට විවිධ දේවල් බීමට දෙන බවත් ඉන් පසුව ඔවුන් ලිංගිකව කරදර කරන බවත්ය. පාසල ඇරී නිවසට ආ පසුව මව සහ පියා නිවසට පැමිණීමට පෙර කාලය තුළදී මෙය සිදුවන බවත් සසිඳු වැඩිදුරටත් පවසා සිටියේය. වෛද්‍ය චන්නට සිදු වී ඇති දෙය පිළිබඳව පැහැදිලි විය.

නින්දෙන් අවදි වී ටික වේලාවක් ගත වූ පසුව සසිඳුගේ තත්ත්වය වෙනස් වන්නට විය. ඔහු වෙතින් ඉතා කලබල ස්වභාවයක් පෙන්නුම් කරන්නට විය. (Withdrawal symptoms) එහිදී වෛද්‍ය චන්න, සසිඳු රෝහලට පැමිණි දිනයේ ලබාගත් මුත්‍රා සහ රුධිර සාම්පල් පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබාදෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩයට දන්වා සිටියේය. එම වාර්තාවන් අධ්‍යයනය කළ විට වෛද්‍ය චන්නට පැහැදිලි වූයේ Methamphetamine නම් රසායනිකය සසිඳුට ශරීර ගත වී ඇති බවය. Methamphetamine යනු අන්තරායකර ඖෂධයකි. ලංකාව තුළ භාවිතය තහනම් කර ඇති මත්ද්‍රව්‍යක් වැනි රසායනිකයකි. ටික දිනක් භාවිතා කළ විට එයට ඇබ්බැහි වේ. සිහිය විකෘති වේ. සසිඳුව ගුද සංසර්ගයට යොදාගත් පුද්ගලයින් ඒ සඳහා ඔහුව පොළඹවාගෙන තිබෙන්නේ Methamphetamine ලබා දී සිහිය විකෘති කිරීමෙනි. දැන් සසිඳු මෙම රසායනිකයට ඇබ්බැහි වී ඇත.

සසිඳු, මෙම කාම අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත් වී ඇත්තේ පාසල ඇරී නිවසට පැමිණ තනිවම ගත කරන කාලය තුලය. මුලදී ඉහත මත් රසායනිකයට ගැනීමට සසිඳු දැඩි අකමැත්තක් දැක්වුවද දින කීපයක් බලෙන් ලබා දුන් පසුව සසිඳු එයට ඇබ්බැහි වී ඇත. ඉතා දරුණු ලෙස සසිඳු හැසිරීමට පටන් ගත්තේ එබැවිනි. කෙසේ හෝ රෝහලේ ස්නායු රෝග අංශයේ වෛද්‍යවරුනට සසිඳුට ප්‍රතිකාර කිරීම අපහසු විය. ඒ ඔහුගේ ප්‍රචණ්ඩ හැසිරීම නිසාය. ඉන්පසුව එම වෛද්‍යවරුනට සිදු වූයේ එම රෝහලේම මානසික වෛද්‍ය ඒකකය වෙත සසිඳු යොමු කිරීමටය. ඉතාම කීකරු දරුවකු මෙන්ම පාසල් වැඩ කටයුතුවලට ඉතාම දක්ෂ දරුවකුව සිටි සසිඳුට වයස අවුරුදු 14 වනවිට සිදු වූයේ රෝහලක මානසික රෝග ඒකකයක නැවතී ප්‍රතිකාර ලබන්නටය. සසිඳුගේ දෙමව්පියන්ට සිදු වූයේ දෑස මෙන් රැකි තම එකම දරුවාට සිදු වූ විපත නිසා හූල්ලමින් ජිවිතය ගෙවන්නටය. සසිඳුට සිදු වූ විපත නිවැරදි ලෙස සොයා ගැනීමට හැකි වූයේ සසිඳු පිළිබඳව සිදු කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ නිසාය.