හෘදයාබාධයකට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම

හෘදයාබාධයකට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය හා හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ

ඇන්ජයිනා (Angina) කැක්කුම යනු කිරීටක ධමනි අවහිරතාවය (Coronary artery disease) ඇති රෝගීන්ට බහුලවම ඇති වන රෝග ලක්ෂණයකි. මෙය බොහෝවිට ඇති වන්නේ පපුවේ හරි මැද හිර වීමක් බඳු වූ කැක්කුමක් ලෙසයි. මෙය තව විදිහකින් විස්තර කරනවා නම් පපුව උඩ ලොකු බරක් තැබුවා වැනි හැඟීමකි. බොහෝවිට මෙම කැක්කුම බෙල්ලට හෝ වම් හෝ දකුණු උරහිස් සහ බාහුවලට ගමන් කරන අතර මිනිත්තු කීපයක් විවේකීව සිටීමෙන් හෝ දිව යට තබා ගන්නා ඖෂධ පාවිච්චි කිරීමෙන් පසුව කෙමෙන් අඩු වී යයි.

හෘදයේ ක්‍රියාකාරීත්වයට වැඩිපුරම රුධිරය අවශ්‍ය වන්නේ අප මහන්සි වී වැඩ කරන විටයි. ඒ හෘදය වේගයෙන් සංකෝචනය වී ශරීරය පුරා ඉක්මනින් රුධිරය බෙදා හැරීමටයි. නැතහොත් වෙනත් හේතුවක් නිසා හෘදය වේගවත්ව ස්පන්දනය වන විටද හෘදයට රුධිරය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හදිසියේ කලබලයට පත් වීම මෙයට හොඳ උදාහරණයක්.

එක් එක් පුද්ගලයාට ඇන්ජයිනා කැක්කුම විවිධ ආකාරයට ඇතිවිය හැකිද?

සමහර රෝගීන්ට ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ ඉහත කී පරිදි සාමාන්‍යයෙන් ඇති වන කැක්කුමට වඩා වෙනස් ආකාරයකටයි. සමහර විට ඔවුන්ට ඇති වන කැක්කුම පපුවේ හරි මැද නොව පපුවේ වෙනත් ස්ථානයක ඇති විය හැකියි. ඒ වාගේම කැක්කුම පපුවේ ඇති නොවී බෙල්ලේ, හනුවේ හෝ වම් හෝ දකුණු බාහුවල ඇති විය හැකියි. මෙසේ ඇති වන පපුවේ කැක්කුම ඒ ඒ පුද්ගලයා සඳහා විශේෂ වේ. මන්දයත් ඔවුන්ට හැමවිටම ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ ඒ ආකාරයටම වීමයි.

මෙය මුල් අවස්ථාවලදී ඇන්ජයිනා කැක්කුම ලෙස හඳුනා ගත නොහැකි වුවත් පසුව මෙම රෝග ලක්ෂණය හඳුනා ගැනීමට රෝගියා පහසුවෙන් සමත් වේ.

වැඩි වශයෙන් ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ කුමන අවස්ථාවලදී ද?

වැඩිපුර ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ මහන්සි වී වැඩක් කරන විට, බියට හෝ කෝපයට පත් වීම වැනි සිත කලබල වන අවස්ථාවක හෝ ඉතා සීතල කාලගුණයක් ඇති අවස්ථාවකය. නමුත් සමහර රෝගීන්ට විවේකීව සිටින අවස්ථාවක පවා ඇන්ජයිනා කැක්කුම ඇති විය හැකියි.

ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ කෙසේද?

ඇන්ජයිනා කැක්කුම ඇති වන්නේ හෘදයේ කිරීටක ධමනිවල රුධිරය ගමනා ගමනයට අවහිරතා ඇති වීම නිසා හෘදයේ රුධිර සැපයුම අඩාල වූ විටයි. හෘදය යනු අප මිය යනතෙක්ම නොකඩවා සංකෝචනය වෙමින් සහ ඉහිල් වෙමින් ස්පන්දනය වන ඉන්ද්‍රියක් බව ඔබ දන්නවා ඇති. හෘදයේ මෙම නොනවතින ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම සඳහා හෘද පේශියට නිරන්තර රුධිර සැපයුමක් අවශ්‍ය වේ. හෘදය සංකෝචනය සහ ඉහිල් වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් අවශ්‍ය පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා දිම උදෙසායි.

මෙම නිරන්තර රුධිර සැපයීමේ කාර්යය සිදු වන්නේ වම් හා දකුණු කිරීටක ධමනි හරහායි. හෘද පේශිය වෙත රුධිරය ගලා යාම සඳහා වම් හා දකුණු කිරීටක ධමනි යනුවෙන් ප්‍රධාන ධමනි දෙකක් තිබෙනවා. මෙම ධමනි තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ධමනි කුහරය සමහර තැන්වල අවහිර විය හැකියි. මේ නිසා එම ධමනි හරහා හෘද පේශිය වෙත රුධිරය ගලා යාම අවහිර වෙනවා.

හෘදයේ ක්‍රියාකාරීත්වයට වැඩිපුරම රුධිරය අවශ්‍ය වන්නේ අප මහන්සි වී වැඩ කරන විටයි. ඒ හෘදය වේගයෙන් සංකෝචනය වී ශරීරය පුරා ඉක්මනින් රුධිරය බෙදා හැරීමටයි. නැතහොත් වෙනත් හේතුවක් නිසා හෘදය වේගවත්ව ස්පන්දනය වන විටද හෘදයට රුධිරය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හදිසියේ කලබලයට පත් වීම මෙයට හොඳ උදාහරණයක්. මෙලෙස හෘද පේශියට වැඩි රුධිර ප්‍රමාණයක් අවශ්‍ය වන විටක කිරීටක ධමනිවල ඇති අවහිරතාවය නිසා හෘද පේශියට අවශ්‍ය රුධිර සැපයුම පවත්වාගෙන යාමට නොහැකි වූ විට ඇන්ජයිනා කැක්කුම ඇති වෙනවා. කිරීටක ධමනි ඉතා තද බල ලෙස අවහිර වී ඇති අවස්ථාවක ඉතා සුළු වෙහෙස වීමකදී හෝ විවේකීව සිටින අවස්ථාවලදී පවා මෙලෙස ඇන්ජියිනා කැක්කුම ඇතිවිය හැකියි.

ඇන්ජයිනා කැක්කුම සඳහා ලබාදෙන ඖෂධ මොනවාද?

ඇන්ජයිනා කැක්කුම සඳහා ලබාදෙන ඖෂධ, කැක්කුම ඇති වූ විට ලබා ගන්නා ඖෂධ සහ කැක්කුම ඇති වීම වළක්වා ගැනීම සඳහා පාවිච්චි කරන ඖෂධ ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. ඇන්ජයිනා කැක්කුම ඇති වූ විට එය සමනය කර ගැනීමට ලබාදෙන ප්‍රධානතම ඖෂධය “නයිට්‍රේට්” (Nitrate) නමින් හඳුන්වනවා. GTN (Glyceryl Trinitrate) නමින් හඳුන්වන මෙම ඖෂධය දිව යට තබා ගන්නා පෙති මඟින් හෝ කුඩා උපකරණයක් මඟින් දිව යටට විදීමෙන් (Spray) විනාඩි කීපයක් තුළ කැක්කුම සමනය කර ගත හැකියි. ශ්‍රී ලංකාවේ බොහෝ රජයේ රෝහල්වල ලබාදෙන්නේ මේ ආකාරයේ දිව යට තබා ගන්නා GTN පෙතියි. මෙම පෙති TNT (Trinitrin) පෙති කියාත් හඳුන්වනවා. ඇන්ජයිනා කැක්කුම සෑදෙන රෝගීන් කොහේ ගියත් හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා GTN පෙති හෝ ඖෂධ විදින කුඩා උපකරණයක් (Spray) අරගෙන යෑම වඩා වැදගත් වෙනවා. නයිට්‍රේට් ඖෂධ මඟින් කරන්නේ කිරීටක ධමනි විස්තාරණය කර එම ධමනි ඔස්සේ වැඩි රුධිර ප්‍රමාණයක් හෘද පේශිය වෙත රැගෙන යාමට අවකාශ සලසා දීමයි.

GTN පෙති පාවිච්චි කරන රෝගීන්ට උපදෙස්

GTN පෙති දිව යට තබා ගත් පසු ඒවා මුඛයේ ඇතුලත ශ්ලේෂ්මල පටලටය් ඇති කුඩා රුධිර වාහිනී ඔස්සේ ශරීරයට උරා ගන්නවා. ඔබ මේ පෙති ගිල්ලොත් ඒවායේ ක්‍රියාකාරීත්වය නැති වී යනවා. ඇන්ජයිනා කැක්කුම සමනය කර ගැනීම සඳහා මෙම GTN පෙත්තකින් කුඩා කොටසක් ප්‍රමාණවත්.

GTN පෙති දිව යට තබා ගත් පසු එය ක්‍රමයෙන් දිය වී යාමට ඉඩ හරින්න. විනාඩි කිහිපයකින් පපුවේ කැක්කුම සමනය වන විට හෝ මද හිසේ කැක්කුමක් ඇති වීගෙන එන විට පෙත්ත ගිල දමන්න.

ඇන්ජයිනා කැක්කුමට ඉතා ඉක්මනින් සහනයක් ලබා ගැනීමට අවශ්‍ය විටක GTN පෙත්ත හපා කුඩා කැබලිවලට කඩා දිව යට තබා ගන්න.

එක්වරක් GTN පෙති දිව යට තබා ගත් පසු විනාඩි පහකින් පමණ සහනයක් නොලැබුණ හොත් එම පෙත්ත ගිල දමා තව පෙත්තක් දිව යට තබා ගන්න. මේ ආකාරයට පෙති 3 ක් පමණ විනාඩි 5 කට සැරයක්, වරකට එක බැගින් පාවිච්චි කර බැලිය හැකියි. විනාඩි 15 -20 කට පමණ පසුවත් පපුවේ කැක්කුම දිගටම පැවතුනහොත් රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.

GTN ඖෂධ විදින උපකරණයක් (Spray) පාවිච්චි කරන රෝගීන්ට උපදෙස්

මෙහිදී GTN ඖෂධය කුඩා බිඳිති මාර්ගයෙන් ලබා දෙන නිසා පෙති පාවිච්චියට වඩා වේගයෙන් පපුවේ කැක්කුම සමනය කර ගත හැක.

ඖෂධ පාවිච්චියට පෙර මෙම උපකරණය සොලවන්න එපා හැමවිටම උපකරණය උඩ අතට හරවා ඖෂධ විදීම කරන්න. වරකට එක් වරක් හෝ දෙවරක් දිව යටට ඖෂධය විදින්න.

GTN පෙති පාවිච්චියේදී මෙන්ම එක්වරක් ඖෂධ විදීමෙන් පසු වේදනාව සමනය වන්නෛ් නැතිනම් විනාඩි 5 කට වරක් දිව යටට ඖෂධය විද බැලිය හැකියි. විනාඩි 15 -20 කට පමණ පසුත් පපුවේ කැක්කුම දිගටම පැවතුනහොත් රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යන්න.

ඇන්ජයිනා කැක්කුම ඇති වීම වැළැක්වීමට ලබාදෙන ඖෂධ නයිට්‍රේට් අඩංගු පෙති

මෙම පෙතිවල ඇත්තේ ද දිව යට තබා ගන්නා GTN පෙති වල ඇති ඖෂධයට බොහෙවින් සමාන ඖෂධයකි. වෙනසකට ඇත්තේ මෙම පෙති ගිල්ල විට ආමාශ බිත්තිය හරහා ශරීරයට උරාගෙන පැය ගණනක් යනතුරු ශරීරය තුළ ක්‍රියාත්මක වීම මඟින් ඇන්ජයිනා කැක්කුම ඇති වීම වැළැක්වීමට ක්‍රියා කිරීමයි. රජයේ රෝහල්වලින් ලබාදෙන (ISDN (Isosorbide dinitrate) පෙති සහ ධ්ඉර්ව් (Isosorbide mononitrate) පෙති මේ ගණයට අයත් වේ. ඇන්ජයිනා කැක්කුම ඇති වීම වැළැක්වීම සදහා මෙම ඖෂධය දිනපතා පාවිච්චි කළ යුතු අතර කැක්කුම ඇති වූ අවස්ථාවක පාවිච්චි කිරීම මඟින් ඉක්මන් සුවයක් ලබා ගැනීමට හැකියාවක් නැත.