ලිංගාශ්‍රිත රෝග සායනයෙන් ඇහෙන කථා

ලිංගාශ්‍රිත රෝග සායනයෙන් ඇහෙන කථා

නිසි වයසේ විවාහ නොවී අයාලේ ගිහිං ලිංගාශ්‍රිත රෝ්ග හදාගෙන

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

සමහර අයගේ ජීවිත කථා හරිම පුදුමාකාරයි. ඒවා මොන විදිහට පටන් අරන් මොන විදිහට ඉවර වෙනවද කියලා කාටවත් හරියට කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒත් අපි මේ ජීවිතේ ගන්න සමහර තීරණ මුළු ජීවිත කාලෙටම පසුතැවෙන්න වෙන ඒවා වුණොත් නම් මේ කථාවේ “අරියතුංග“ වගේ ජිවිතේ අන්තිම කාලෙදී දුකක් කණගාටුවක් විතරක්ම ඔබටත් ඉතිරි වේවි.

ඉස්කෝලේ වැඩට ඒ තරම් දක්ෂ නොවුණත් ආරියතුංග කියන්නේ දෑතේ වැඩට බොහොම දක්ෂ හාදයා. අවුරුද්දෙන් අවුරුද්ද ගත වෙලා පාසල් ජිවිතේටත් සමුදුන්නට පස්සේ වෑල්ඩින් වැඩ පලක රස්සාව හොයා ගන්න ආරියතුංගට අමාරු වුණේ නැහැ. එතැන බොහොම ලොකු පිරිසක් රස්සාව කළා. එතැන රස්සාවට පස්සේ කොළඹ පෞද්ගලික තැනක රස්සාවක් හොයා ගන්න ආරියතුංගට පුළුවන් වුණා. තමන්ට ලැබුණ දෙවැනි රස්සාවට ආරියතුංග බොහොම ආස කළා විතරක් නොවෙයි. එයාට තිබුණු කඩවසම් පෙනුමට වැඩි දවසක් යන්න කළින් ගෑණු ළමයෙකුත් යාළු කරගන්න එයාට පුළුවන් වුණා. මේ සම්බන්ධය වැඩි දවසක් යන්න කළින් වැඩපළේ හැමතැනකම ප්‍රසිද්ධ රහසක් වුණා. ඔවුන් දෙන්නා ලිංගිකව පවා සබඳතා පැවැත්වූවා. කාලය ගත වෙලා මේ සම්බන්ධයට අවසාන තිත තියන්නට සිද්ධ වුණේ ආරියතුංග යාළුවෙලා හිටපු ළමයාගේ මව්පියන් එයාව හොයාගෙන ආව දවසේ. ඒ අය මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වුණේ ආරියතුංගගේ පවුල, කුලය, වත්කම් ඒ අයට නොපෑහෙන නිසයි. ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා හිත තද කරගෙන හිටියත් ආරියතුංගට මේ වේදනාව දරාගන්න පුළුවන් වුණේ නැහැ. ඒත් කාලයක් ගත වෙලා එයාට තිබුණු මේ ආදරේ හැම ගැහැණියක් ගැනම ඇති වුණු වෛරයක් වුණා.

ඊට පස්සේ එතැන රස්සාවට සමු දුන්නු ආරියතුංග රස්සාවල් කිහිපයකටම ඉල්ලුම් කළා. පස්සේ තවත් තැනක රස්සාවක් ලැබිලා එයා එතැන රස්සාවට ගියා. ස්ථීර නොවුණත් එයාට ජීවත් වෙන්න මොනවහරි කරන්නට වුවමනා නිසා එයා කොහොමහරි රස්සාව ඉවසගෙන කළා. මේ විදිහට වයස අවුරුදු 44 විතර වෙනකම් ආරියතුංග ගත කළ ජීවිතේ සංචාරක ජීවිතයක් වුණා. ලංකාවේ විවිධ පළාත්වල විවිධ රස්සා කළ ආරියතුංගට ඒ හැම තැනකම පෙම්වතියක් සිටියා. මුලදී තමාට මුහුණ දෙන්නට වුණු අත්දැකීම නිසා ගැහැණු ගැන ආරියතුංගට තිබුණේ කේන්තියක් විතරයි. මේ කේන්තියට එයා පළිගන්න තෝරා ගත්තේ පස්සේ එයාට මුණගැසුණු ගැහැණු ළමයි. ඒ ළමයි තමන්ගේ හදවතින්ම ආරියතුංගගේ කඩවසම් පෙනුමට වශී වෙලා හිටියත් ඒ හැම සබඳකමක්ම එයා පයට පෑගෙන දුහුවිලි තරමටවත් ගණනට ගත්තේ නැහැ.

ඒ අයව රවටා ගන්නට වුවමනා නිසා ඔවුන්ව විවාහ කරගන්නා බවට ආරියතුංග දෙන පොරොන්දු ඒ වෙනුවෙන් ඒ අය කැප කරන පිවිතුරුකම එයාට ඉතාම සාමාන්‍ය දේවල් වුණා. මේ හැම පළාතකම ආරියතුංග කළ රස්සාවල් වගේම එයාගේ පෙම්වතියන් ද තාවකාලිකව තමන්ගේ සතුටට ආරියතුංග පාවිච්චි කළේ කිසිම හිතක් පපුවක් නැති තැනට. ඒත් මේ ගමන වැඩිදුර ගෙනියන්නට එයාට පුළුවන් වුණේ නැහැ. එයා ඇති කරගෙන තිබුණු ලිංගික බැඳීම් නිසා වෛරස් ආශි‍්‍රත ලිංගාශි‍්‍රත රෝගයක් ආරියතුංගට වැළදුණා. මේ බව ලිංගාශි‍්‍රත රෝග සායනයෙන් තහවුරු කර ගත්තට පස්සේ එයා පුදුම විදිහට මානසිකව කඩා වැටීමට ලක් වුණා. මේ රෝගය නිසා ඇතිවුණු තුවාල වේදනාව නිසා ආරියතුංග තමන්ගේ ජීවිතේ ගැන කලකිරීමක් ඇති වුණා. මේ නිසා හරි විදිහට ප්‍රතිකාර අරගෙන වයස අවුරුදු 45 ඉදලා නැවත අලුත් ජිවිතයක් පටන් ගන්න ආරියතුංගට පුළුවන් වුණා. ඒ කාලෙදි එයාට අලුත් රස්සාවක් ලැබුණ නිසා තමන්ගේ ජීවිතේ බොහොම සරලව අරගෙන යන්න එයාට පුළුවන් වුණා.

ඒත් අවාසනාවට වගේ වයස 55 දී ආයෙත් පාරක් ආරියතුංගට රස්සාව නැති වුණා. තමන්ට වැළඳිලා තිබුණු ලෙඩේට ප්‍රතිකාර කරන නිසා රෝගය තරමක් යටපත් වෙලා තිබුණට එය හොඳටම හොඳ වෙලා නොතිබුණේ වෛරස් රෝගයක් නිසයි.

අවුරුදු 10 කට පස්සේ නැවත වතාවක් ආරියතුංගට තමන්ගේ ජීවිතේ ගැන පුදුමාකාර කලකිරීමක් ඇති වුණා. ඒ නිසා ආයේ වතාවක් තමන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ නැතිව එයා කාන්තාවන් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා. ඒත් මේ අනාරක්ෂිත සම්බන්ධකම් වලින් එයාට ඉතුරු වුණේ කලින් වැළඳිලා තිබුණු රෝගයේ අතුරු විපාක විඳින්න විතරයි.

නැවත තමන්ගේ නොහොබිනා හැසිරීම නිසා ආරියතුංගට රෝගය හිතාගන්නවත් බැරි තරම් රෝග ලක්ෂණ ඵල කළා. මේ වතාවේ ආරියතුංග මොන තරම් මානසික පීඩනයකට හිරවෙලා හිටියද කියනවා නම් විෂාදමය තත්ත්වයකට පවා පත්වෙලා හිටියා. ඒත් ලිංගාශි‍්‍රත රෝග සායනයේ මඟ පෙන්වීම යටතේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තට පස්සේ ටිකින් ටික ආරියතුංග සාමාන්‍ය මට්ටමට පුරුදු වුණා.

මේ මොන අත්දැකීමකට මුහුණ දුන්නත් ආරියතුංග කවදාවත් බඳින්නවත් වුවමනාවක් තිබුණේ නැහැ. තමන්ගේ ජිවිතේ ස්ත්‍රී ලෝලි ජිවිතයක් බවට පත් කරගෙන එයා ගත කළ අස්ථීර ජීවිතේ අදටත් එයාවම සීමාවකට කොටු කර අවසන්.