පෞරුෂත්ව ආබාධයට දීර්ඝකාලීනව ප්‍රතිකාර කළ යුතුයි

පෞරුෂත්ව ආබාධයට දීර්ඝකාලීනව ප්‍රතිකාර කළ යුතුයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

ඔබ එක් අයෙක් මා තව අයෙක්. කිසිම දවසක ඔබට මා වන්නටවත් මට ඔබ වන්නටවත් නොහැකියි. ඔබගේ ස්වභාවය, ඔබ සිතන ආකාරය මට වඩා වෙනස්. ඒ වෙනස මේ ලෝකයේ පැවැත්මයි. නමුත් මේ විවිධත්වය ඇතැම් අවස්ථාවල සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගොස් අසාමාන්‍ය තත්ත්වයක් බවට පත් වූවොත් එවැනි තත්ත්වයක් පිළිබඳ අප විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එසේ සාමාන්‍ය පුද්ගල හැසිරීම් රටාවෙන් වෙන්කර හඳුනාගත හැකි විවිධ පෞරුෂත්ව ආබාධ අතර මෙවර සාකච්ඡාවන්නේ මායිම් පෞරුෂත්ව ආබාධය පිළිබඳයි.

සාමාන්‍ය හැසිරීම් හා පෞරුෂත්ව ආබාධ අතර වෙනස

මිනිසාගේ හැසිරීම එක් අයකුගෙන් තවත් අයකුට යම් වෙනසක් පවතියි. නමුත් මෙම විවිධ වූ හැසිරීම් ඒ ඒ පුද්ගලයාට ආවේණික සාමාන්‍ය හැසිරීම් රටා ද එසේ නැත්නම් යම්කිසි මානසික රෝගී තත්ත්වයක් දැයි වෙන් කර හඳුනා ගැනීමට බැරි තරම් ඉතාමත් සංකීර්ණය. ඇතැම් මානසික රෝග කාලයක් පුරා නිරෝගීව ගත කළ අයෙකුට හදිසියේ ඇති වී යම් කාලයක් පුරාවට පවතිනු ලැබේ. නමුත් සමහර හැසිරීම් පුද්ගලයාගේ වර්ධනයත් සමඟ ඇති වන ජීවිත කාලය පුරාවටම බලපෑම් ඇති කරන හැසිරීමේ වෙනස්කම් ලෙස හඳුනාගත හැකියි.

කෙසේ වෙතත් මෙම හැසිරීමේ වෙනස්කම් අතුරින් සමහරක් ඒ අයටම ආවේණික වූ පුරුදු වශයෙන් හඳුනාගත හැකියි. එසේ වුවත් ඇතැම් හැසිරීමේ වෙනස්කම් මිනිසාගේ සාමාන්‍ය පුරුදුවලින් ඔබ්බට ගොස් පරුෂත්ව ආබාධ දක්වාම වර්ධනය විය හැකියි. එවැනි පෞරුෂත්ව ආබාධ විවිධාකාරයෙන් මතුවිය හැකියි.

මායිම් පෞරුෂත්ව ආබාධය

ලංකාව වැනි රටක එවැනි පෞරුෂ්‍යත්ව ආබාධ අතර බහුලවම දැකගත හැකි පෞරුෂත්ව ආබාධය ලෙස “මායිම් පෞරුෂ්‍යත්ව ආබාධ” පිළිබඳ හඳුන්වාදිය හැකියි. මෙම මායිම් පෞරුෂත්ව ආබාධය බොහෝ වෙලාවට සුලබව දැකගත හැක්කේ කාන්තාවන් අතරයි. එසේ නමුත් පුරුෂයන් අතර ද ඇතැම් අවස්ථාවලදී මෙම තත්ත්වය දැකගත හැකියි. මෙය බොහෝදුරට නව යොවුන් අවධියේදී හඳුනාගත හැකියි. එසේ වුවත් එම පෞරුෂත්ව ආබාධයේ රෝග ලක්ෂණ අදාළ තැනැත්තාගේ සාමාන්‍ය හැසිරීම් රටාව යැයි වරදවා වටහා ගන්නා නිසා ශ්‍රී ලාංකීය පවුල් පරිසරය තුළ එය අතිශය සාමාන්‍යකරණයට ලක්ව තිබේ. මේ නිසා මවුපියන් පවා මේ බව නොසලකා හරිනු ලැබේ.

නමුත් වැඩිහිටියන් බවට පත් වූ පසුව අනිත් අය සමඟ කටයුතු කිරීමේදී, විවාහ ජීවිතයේදී, මෙම පෞරුෂත්ව ආබාධය විශාල කරදරයක් බවට පරිවර්තනය වනු ලැබේ.

මායිම් පෞරුෂත්ව ආබාධයේ තිබෙන ලක්ෂණ මොනවාද?

මායිම් පෞරුෂත්ව ආබාධයේ තිබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ජීවිතයේ සෑම චර්යාවක් කෙරෙහිම බලපාන අස්ථාවර භාවයයි. මෙම පුද්ගලයන්ගේ හැමදේම අස්ථාවරයි. මේ අස්ථාවර බව සඳහා ප්‍රධාන හේතුව බවට පත්වන්නේ සමාජයේ පුද්ගලයන් සමඟ ඇති කර ගන්නා අස්ථාවර භාවයයි. මෙවැනි පුද්ගලයන්ට අන්තර් පුද්ගල සම්බන්ධතා වැඩි කාලයක් පවත්වා ගෙන යාමට නොහැකි අතර ඊට හේතුව තමා සම්බන්ධ වන පුද්ගලයාට සීමාව ඉක්මවා ආදරය, ඇඟෑලුම්කම් දැක්වීමයි. මේ අනවශ්‍ය බැදීම් නිසා ඔවුන් ඇති කර ගන්නා සම්බන්ධතාවලට පවතින්නේ ඉතා කෙටිකාලීන පැවැත්මකි. තවද මෙම සබඳතාවලදී ඉතා සුළු වරදකින් පවතින තත්ත්වය උඩු යටිකුරු විය හැකියි. ඒ නිසා ආදරය වැනි හැඟීමක් මුල් කර ගත් සබඳතාවක් නම් එය වෛරයක් දක්වා පරිවර්තනය විය හැකියි. ඇතැම්විට මෙම පෞරුෂත්ව ආබාධයෙන් පෙළෙන තැනැත්තාටම තමාට සිදු වූ දේ පිළිබඳ අවබෝධ කර ගැනීමට පවා නොහැකි විය හැකියි. එසේ සබඳතාව බිඳීයාම නිසා ඒ සිදුවීම වන තෙක් තමා වැඩියෙන් ආදරය කළ තැනැත්තා ලොව සිටින නරකම හා තමාව විනාශ කිරීමට පැමිණි තැනැත්තා ලෙස දැකගත හැකියි.

මෙවැනි ආබාධවලින් පෙළෙන අය පවත්වන සබඳතා, හැඟීම් ඉතාමත් අස්ථාවර මට්ටමකට පවතියි. මේ අය කෙතරම් සතුටුදායක මට්ටමක සිටියත් ක්ෂණිකව ඇතිවන ගැටලුවක් නිසා තමා ලැබූ සතුට මොහොතකින් දුකක් බවට පරිවර්තනය විය හැකියි. එසේ ඇතිවන දුක දරා ගැනීමට නොහැකිව ඔවුන් විවිධාකාර හැසිරීම් ඇති කරගනු ලැබේ. කෑ ගසා ගැනීම, බැනීම, සියලු දේ අතහැර වෙනත් තැනකට යාම, තනිව ජීවත් වීමට පවා ඔවුන් උත්සාහ කරනු ලැබේ.

මෙවැනි අයට පාලනය කිරීමට අපහසු දුක පමණක් නොවේ. තරහා, බය ආදී දේ ද ඔවුන්ට පාලනය කර ගැනීමට අපහසු වේ. විශේෂයෙන් කේන්තිය එසේ නැතිනම් තරහා පාලනය කර ගැනීමට නොහැකි වූ විට ඔවුන් ඕනෑම දෙයක් කිසිදු විමසිලිමත්භාවයකින් තොරව සිදු කිරීමට පෙළඹෙනු ඇත. එසේ තරහා පාලනය කිරීමට නොහැකිව බඩු භාණ්ඩ පොළොවේ ගැසීම, තවත් අයට බැණ වැදීම, තමන් සතු වටිනා දේවල් විනාශ කර ගැනීම වැනි දේ සිදු කරනු ලැබේ. මෙවැනි දේ ඔවුන් සිදු කරන්නේ ක්ෂණිකව වන අතර එමඟින් ඇතිවන පසු ප්‍රතිඵල පිළිබඳ නොසිතා ඔවුන් ක්ෂණික තීරණ ගනු ලැබේ.

ආවේග පාලනය අපහසුයි

ආවේග පාලනය කිරීමට අපහසු වීම මෙවැනි අය මුහුණදෙන තවත් ගැටලුවක්. මේ නිසා තරහා ඇති වූ විට රණ්ඩු ඇති කර ගැනීම වගේම අදාළ තැනැත්තා තමන්ටම හානි කර ගැනීමට පසුබට නොවේ. ඒ වගේම මෙම මායිම් පෞරුෂත්ව ආබාධ තිබෙන අය සුළු මානසික වේදනාවක් පවා දරා ගැනීමට නොහැකිව ජීවිතය පවා නැති කර ගැනීමට උත්සාහ ගනු ලැබේ. ඒ වගේම තමාට කුමන හෝ ක්‍රමයකින් තමාටම හානි කර ගැනීමට උත්සාහ කිරීම හා ඒ තුළින් තමාට ආදරය කරන අය පාලනය කර ගැනීමට උත්සාහ කරනු ලැබේ. බොහෝදුරට මොවුන් තර්ජනය කිරීම් ද සිදු කළත් ඒවා ක්‍රියාත්මක කිරීමක් සිදු නොකරයි. එහිදී ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව අදාළ අවස්ථාවේදී දැනෙන හැඟීම පාලනය කිරීම හා අනිත් අයට රිදවීමයි. මෙවැනි අය තම වටිනා ජීවිත පවා හානි කර ගැනීමට උත්සාහ ගන්නේ මෙවන් හේතු මූලික කරගෙනයි.

තවද මෙවන් අය ඉතාමත් සමාජශීලියි. අන් අයගේ සිත දිනා ගැනීමට හා යහළුකම් ඇති කර ගැනීමට උත්සාහ දරනු ලැබේ. මේ අය ආයතනයකදී නම් එහි ප්‍රධානීන් සමඟ ඉක්මනින් කුළුපහ වීම් ඇති කර ගනු ලැබේ. ඔවුන් මෙහිදී විවිධ උපක්‍රම අනුගමනය කරනු ලැබේ. ඒ වගේම ඔවුන්ගේ කථාව ද ඉතාමත් පේ‍්‍රමාන්විත වේ. හැමවිටෙකම සිනාමුසු වේ. නමුත් සුළු මොහොතකින් ඒ තත්ත්වය වෙනස් විය හැකියි. ඒ නිසාම අද හොඳින් සිනහ වී කතාබහ කළත් ඔවුන් හෙට එසේ නොවිය හැකියි. මේ අය කෙතරම් සම්බන්ධතා ගොඩ නගා ගත්තත් අන් අයගේ හදවතට ළං වූවත් ඔවුන්ගේ සම්බන්ධතා ඉතාමත් කෙටිකාලීනයි.

ආදර සබඳතා ඉතාමත් කෙටිකාලීනයි

මෙවන් අයගේ ආදර සබඳතා ද ඉතාමත් කෙටිකාලිනයි. ඔවුන් තම ආදර වන්තයාට හෝ ආදර වන්තියට ආදරය කළත් ඔවුන්ගේ රුචි අරුචිකම්වලට අකමැති වේ. ඔවුන් කැමති දේ වලින් ඔවුන්ව ඈත් කර තැබීමට ඔවුන් හැමවිටෙකම උත්සාහ කරනු ලැබේ. ඒ වගේම ඔවුන්ගේ සුළු වෙනසකට ඔවුන් අසීමාන්තික ලෙස දුක්වනු ලැබේ. මේ නිසා තමාගේ ජීවිතය හිස්බවත්, තමාට තමාවත් නැති බවත්, තමාට කිසි අයෙක් උපකාර නොකරන බවත් ඔවුන් සිතනු ලැබේ. මෙවැනි අයට ජීවිතයේ දිගුකාලීන අරමුණු තබා ගැනීම අපහසු වෙයි. ඔවුන් ඒ මොහොතේ දැනෙන හැඟීමට අනුව වැඩ කරන අය බවට පත් වේ. මේ වගේ ලක්ෂණත් සමඟ දිගුකාලීන සබඳතා ඇති කර ගැනීම ගැටලුකාරීය.

ඒ වගේම තමාගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සම්බන්ධය නවත්වන්නට උත්සාහ කළොත් අධික ලෙස දුක්වීම හා එය කෝපයක් බවට පරිවර්තනය වීම මෙන්ම තමා ජීවිත හානි කර ගන්නා බවට තර්ජනය කිරීමක් දක්වා දුර දිග යා හැකියි. එසේ හැසිරුණත් ආදර සබඳතාව නැවතුණු පසුව පෙර සිදු වූ සියලු දේ අමතකව යන අතර වෙනත් අයෙක් සමඟ නැවත ආදර සබඳතාවක් පවා ඇති කර ගත හැකියි. ඒ සම්බන්ධයේදී පෙරදී තමා හැසිරුණු ආකාරය අදාළ පෞරුෂ්‍යත්ව ආබාධයෙන් පෙළුණු තැනැත්තාට මුළුමනින්ම අමතකව ගොස් තිබිය හැකියි.

මෙවැනි ආබාධ වෙනස් කිරීම අපහසුද?

මෙවැනි පෞරුෂත්ව ආබාධ වෙනස් කිරීම ඉතාමත් අපහසු වේ. ඔවුන්ට දීර්ඝකාලීනව ලබා දෙන මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර තුළින් ආවේග, හැඟීම් පාලනයට ඉගැන්විය හැකියි. නමුත් ඒවා ඉතාමත් කලාතුරකින් යම් සාර්ථකත්වයක් ලබා ගනු ලැබේ. ඒ වගේම ඔවුන්ගේ හැඟීම්, තරහා පාලනය කර ගැනීමට විවිධ ඖෂධ ලබා දෙනු ලැබේ. මේ මඟින් බොහෝදුරට මොවුන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවය වර්ධනය කළ හැකියි. මෙවැනි අයට විෂාදය වැනි මානසික රෝගද ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් ද තිබිය හැකියි. මෙම විෂාද තත්ත්වයට ද ප්‍රතිකාර ලබා දීම වැදගත් වේ. මෙසේ දීර්ඝකාලීනව ලබාදෙන මනෝ විද්‍යාත්මක හා ඖෂධමය ප්‍රතිකාර කළත් මේ තත්ත්වය බොහෝදුරට පාලනය කළ හැකියි. නමුත් විශේෂයෙන් මෙම රෝගය ඇති වුණු මුල් අවස්ථාවේදීම එය හඳුනා ගැනීම ඉතා වැදගත්. ඒ වගේම මේ අය සමඟ ගනුදෙනුවේදී අවට සිටින අයත් කල්පනාකාරී වීම වැදගත්. එනම් රෝගියාගේ හැඟීම්වලට කලබල නොවී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර දැක්වීම වැදගත්. ඒ වගේම ඔවුන් වෙනත් අය පාලනය කිරීමට ගන්නා උත්සාහයේදී ඒ සියලු දේ ඔවුන්ටම අවශ්‍ය පරිදි ඉටු කිරීමට නොව අදාළ රෝගියාගේ හැඟීම් එම අවස්ථාවේ පාලනයට උපකාර ලබා දීම ඉන් අදහස් වේ. මෙවැනි අයෙක් සමඟ ආදර සබඳතා පැවැත්වීම අති දුෂ්කර කාර්යයකි. මෙවැනි අවස්ථාවකදී ඒ සබඳතාව පවත්වන රෝගී නොවන තැනැත්තා ඒ පිළිබඳ අවබෝධ කර ගැනීම හා ඒ පිළිබඳ මතක තබා ගැනීම ඉතා වැදගත්.