මිලට ගන්න බැරි දේවල් තුනක්

මිලට ගන්න බැරි දේවල් තුනක්

මුදල් ඇත්නම් කළ නොහැකි කුමක්දැයි විමසන බහුතරයක් සහිත සමාජයක අප වෙසෙමු.

බොහෝ දෙනෙකුට රැකියාව තම නිවාස ආදී වැදගත්ම දේ පිළිබඳ අවදානමක් තිබුණ ද වැඩිදෙනෙකුට තම අතේ මිටේ ඇති මුදල් විය පැහැදම් කොට බඩු මුට්ටු ගැනීමට ඇත්තේ නොනිත් ආශාවකි.

ජීවිතය සතුටින් ගත කිරීමට නම් නවීන යාන වාහන හෝ අලංකාර නිවෙසක් වැදගත් වන බවට නිරන්තරයෙන් දැන්වීම් මඟින් පළ කිරීම ද ඊට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ලෙහෙසියි පහසුයි, පැමිණ රැගෙන යන්න ආදි ලෙසින් පවසන දැන්වීම් පසුපස ගොස් විශාල ලෙස ණය වීමෙන් අනතුරුව බෙහෝදෙනෙකුට ඉතිරි වනුයේ කලකිරීම් පමණක් බැව් යළි යළිත් තහවුරු වෙයි.

නමුත් මිනිසුන් මේ සියල්ලක් කරනුයේ සතුට ලබා ගැනීමේ අරමුණෙන්ය.

එසේ වුවත් හදට දැනෙන සැබෑ සතුට එසේ පහසුවෙන් මුදලට ගැනීමට ද හැකියාවක් නැත. එසේ නම් පහසුවෙන් මිල මුදලින් ගත නොහැකි දිවියට අත්‍යවශ්‍යම දේවල් තුනක් බලමු.

පවුලේ බැඳීම්

ඇමෙරිකාව වැනි අතිශයින් සංවර්ධිත රටවල දරුවන් වැඩිදෙනෙකු තම මවුපියන් වෙතින් අද වැඩියෙන්ම අපේක්ෂා කරන දෙය නම් ආදරය හා බැඳීමයි. දියුණු රටවල දරුවන් මවුපියන්ගෙන් ඈත්වීමට නිතරම මාන බලමින් සිටින්නේය යන්න පැවසුණත් සත්‍ය වශයෙන්ම බහුතරයක් තම පවුලේ බැඳීම් පිළිබඳ සැලකිලිමත් වන අයයි. පවුලට දූ දරුවන්ට වැඩි වැඩියෙන් යුතුකම් ඉටු කිරීමට හෝ ඔවුන්ගේ ජීවිත සැපවත් කිරීමට වැඩි දෙනෙකු වෑයම් කරයි.

නමුත් ඇමෙරිකානු සමීක්ෂණයකදී දරුවන් පැවසූ දෙය නම් අපට අවශ්‍ය දේ අපට ප්‍රමාණවත්ව තිබෙනවා. ඒත් අපි සොයන්නේ මවුපියන්වයි. අපේ තාත්තා රැකියාව නිසා ගෙදර ඇත්තේම නැහැ අපට හරිම දුකයි යන්නය.

ඕනෑවට වඩා මුදල් පසුපස දිවුවොත්

අහිමි වන්නේ සිතෙහි සතුටයි. අපට සතුටට වඩා අත් දකින්නට වනුයේ මානසික පීඩනයයි. මානසික පීඩනයට අමතරව කායික පීඩා ද අපට මේ නිසා හිරිහැර කරනු ඇත. උගුරේ අපහසුතා, කොන්දේ වේදනා හිසරදය මේ ආකාර කායික පීඩනයි. තවද අධික ආශාවන් හෝ ගිජුකම නිසා මත්පැන් බීමට ඇබ්බැහි වීම හෝ මත්ද්‍රව්‍ය ගැනීමට පෙළඹීම ද සිදුවිය හැකි බව වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව මුදල් වලට සැම සතුටක් හෝ ආදරය හෝ පවුලේ බැඳීම් මිලට ගැනීමට නොහැකි බව තහවුරු වන අතර සමීපතමයන්, පවුලේ අය සමඟ අපට ඇති බැඳීම් ශක්තිමත් වනුයේ ඔවුන් සමඟ කාලය ගත කිරීමෙන් හා ඔවුනට අවශ්‍ය සෙනෙහස ලබා දීමෙන්ය. විය පැහැදම් කිරීමට මුදලක් අතට දීමෙන් ඇති වනුයේ බැඳීමක් නොව ගනුදෙනුවකි. ආදරය මුදල් සමඟ මුසු නොකිරීමට අප නිතරම ප්‍රවේසම් වෙමු.

නියම රැකවරණය

අම්මා නිතරම කිව්වේ බඳිනවා නම් සල්ලිකාරයෙක්ව බඳින්න කියලයි. ඒ වගේම රැකියාවක් කළ හැකි ලෙසින් ඔයත් යමක් ඉගෙන ගන්න කියලයි. මුදල් සහ රැකවරණය පිළිබඳ සමීක්ෂණයකදී දහහත් හැවිරිදි තරුණියක් එසේ ප්‍රකාශ කර තිබුණි. මේ ප්‍රකාශය නම් අදට සැලයුතු තරම් ගැලපෙන ප්‍රකාශයක් බව විවාදයක් නොවේ.

නමුත් එම සමීක්ෂණයේදී මම තරුණිය නැවතත් පැවසූ දෙය බලන්න. අම්මා මේ විදියට නිතරම කිව්වේ ඔයා ස්ථාවර වුණොත් මහත්තයා කුමක් කළත් ප්‍රශ්නයක් නැහැ කියලයි. අපේ අම්මාත් නිතරම බැලුවේ අතට මුදලක් ලැබෙන විදිය ගැනම පමණයි. මුදලක් ලැබෙන විට ඇය හුඟක් සතුටු වුණා. මෙවැනි ආකල්පයන් ඔබත් අනුමත කරන්නට කැමතිද?

අනාගතය පිළිබඳ සැලසුම් කරන විට ගත යුතු තීරණ බොහෝ ඇත. නමුත් ඒ තීරණ සුරක්ෂිත ඒවා සේම විනීත හා සාධාරණ විය යුතුමය.

මුදල් තිබූ පමණින් ම අපගේ අනාගතය සුරක්ෂිත නොවේ. මුදල් තිබුණ ද රෝ බිය මරණයට ද අපට මුහුණ දීමට සිදු වේ. එසේ නම් නිසි රැකවරණය පිළිබඳ අප අවධානය දිය යුතුය. මිල මුදල් අධ්‍යාපනය සේම මිනිස් වටිනාකම් ද හොඳින් අවබෝධ කරගත යුතුය.

එදයි - අදයි ගොඩක් වෙනස්

මේ පිළිබඳ කළ එක් සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ 60, ගණන් හෝ 70 ගණන්වල අධ්‍යාපනය ලැබූ කණ්ඩායම්වල බොහෝදෙනෙකු තුළ තිබුණේ හොඳ අධ්‍යාපනයක් ලැබීමේ අරමුණ බවත් එහෙත් 1990 ගණන් වලින් පසු අධ්‍යාපනය ලබන බහුතරයක් එසේ කරනුයේ අධ්‍යාපන සුදුසුකම් හරහා මුදල් ඉපැයීමේ දැඩි පරමාර්ථයෙන් බවත්ය. දරුවන් මෙවැනි ඉලක්කයක් ඔස්සේ අධ්‍යාපනය ලැබීමට උත්සාහ කිරීම තුළින් මානසික පීඩනය මෙන්ම දිවි නසා ගැනීමට ද යොමුව ඇති බව එහිදී තවදුරටත් පෙන්වා දී ඇත. මේ අසීමිත තරගකාරීත්වය දිනෙන් දින මානනසික ව්‍යාධීන් වැඩි කිරීමට හේතුවන බවද ඊට පිළියම් සෙවීමට අද නැවතත් විද්වතුන් හට සිදු වී තිබීම ද මේ පෙරළියේ විනාශය හොඳින්ම තහවුරු කරයි.

අපේ අම්මලා අපට ඉගැන්නුවේ සරල විදියට ජීවත් වෙන්නයි. ඒ නිසා අපි ළමා කාලය ගෙවුවේ සතුටින්. අපට තිබුණ පුංචි දේට හරි ගොඩක් ගෞරව කරන්න, සලකන්නයි අපට පුරුදු කරලා තිබුණේ. අපට තිබුණේ අපට අවශ්‍ය දේවල් විතරයි. ඒත් අපි හිටියේ ගොඩක් සතුටින්.

අද හතලිස් විය ඉක්මවා සිටින බහුතරයක් අතීතය සිහිපත් කරද්දී සතුටක් දැනෙන බව පවසති. එසේ නම් අද අපට මේ දේවල් ජීවිතයට ළං කර ගැනීමට නොහැකි ඇයි? මේ පිළිබඳ අප නැවතත් කල්පනා කර බැලුවහොත් මිල මුදල් තරම්ම අපේ ජීවිතවල වටිනාකමත් තේරුම් ගත්තොත් ආදරය රැකවරණය පිළිබඳ සැලකිලිමත් වීමට පෙළඹුණොත් ඉන් අප ජිවිත කොයිතරම් මිහිරි කරනවාද යන්න අපට හොඳීන්ම වටහා ගත හැකි වනු ඇත.

අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙන්