වයසට යනවිට මිටිවන්නේ ඇයි?

වයසට යනවිට මිටිවන්නේ ඇයි?

කිරි, බටර්, චීස්, ගිතෙල්, මී කිරි, යෝගට් ආදී කිරි ආහාර, පලා, එළවළු, ඇට වර්ග, හාල් මැස්සන් හා සාලයන් (කටු සමඟ ආහාරයට ගත හැකි) මාළු යනාදිය තුළ කැල්සියම් බහුලය.

වයසට යාමත් සමඟ ඔබේ ශරීරයේ උස අඩුවන බව නැතිනම් මිටිවන බව ඔබ දන්නේද? ඔබේ පවුලේ වැඩිමහල් අයගේ උස ගැන සිතා බලන්න. ඔවුන් තරුණයන් ලෙස සිටි අවධියේ දී මෙන්ම මැදි වයසේ සිටි අවධියේදී ද සිට උස ක්‍රමයෙන් හා සුළු වශයෙන් දැන් අඩු වී තිබෙන්නේ කුමක් නිසාද? කිසියම් දවසක ඔබට ද මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ ගැන දැනුවත් වන්න.

මෙසේ අප මිටි වන්නේ අපගේ කොඳු ඇට පේළියේ අස්ථි හැකිලීම නිසාය. අපගේ උස තීරණය කිරීමට තුන් ගොල්ලක් හවුල්ව ඇත. ඒවා නම් දෙපාවල අස්ථි, හිස් කබල සහ කොඳු ඇට පේළිය යන තුන් කොට්ඨාශයය. දෙපා අස්ථි මෙන්ම හිස්කබල ද වැඩිහිටි වියට පත් වූ පසුව කිසිදු වෙනසකට ලක් නොවී එකම ප්‍රමාණයෙන් පවතින නිසා අපේ මිටි වීමට දායක නොවෙයි. කශේරුකා ලෙස හඳුන්වන කොඳු ඇට පේළියේ අස්ථි මෙසේ සිරුර මිටි වීමට බලපායි. අපගේ කශේරුව නැතිනම් කොඳු ඇට පේළිය අස්ථි 24 කින් සමන්විතය. කාසි ගොඩක් එක පිට එක තැබූ විට මෙන්, මෙම කශේරුකා අස්ථි එක මත එක පිහිටමින් කොඳු ඇට පේළිය සකස් වෙයි. මොළයේ සිට ඇදෙන සුසුම්නාව හෙවත් ප්‍රධාන ස්නායුව ගමන් කරන්නේ මේ කශේරුකා අස්ථි තුළ ඇති හිදැස තුළිනි.

කශේරුකා එක පිට එක පැවතුණත් ඒවා අතර කාටිලේජ කොටස් පවතින අතර සිරුර එහා මෙහා නැවීමට හැකිවන පරිදි පේශි හා තන්තු රැහැන්වලින් බැඳී තිබේ. ශරීරය කෙළින් තබා ගැනීමට උදව් වන්නේ ද මෙසේ කශේරුකා අස්ථි තන්තු හා පේශිවලින් බැඳී තිබීම හේතුවෙනි.

කශේරුකා අපව මිටි කරන්නේ කෙසේද?

පිරිමි, ගැහැනු අප කවුරුත් වයසට යනවිට මේ අස්ථි සුළු වශයෙන් හැකිලෙයි. තුනී වෙයි. එක් එක් කශේරුව සුළු වශයෙන් හැකිලීම නිසා මුළු කොඳු ඇට පේළියම තරමක් කෙටිවන අතර ඒ හේතුවෙන් අපද යම් තාක් දුරකට කෙටි වෙයි. නැතිනම් මිටි බවට පත් වෙයි. ඔස්ටියෝ පොරෝසියාව හේතුවෙන් අපගේ මුළු උස අඟල් කිහිපයකින් අඩු වී යෑම සිදු වෙයි.

මෙසේ මිටිවීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට අපට නොහැකිය. එය ස්වභාවික සංසිද්ධියකි. එහෙත් මෙම තත්ත්වය යම්තාක් දුරකට පාලනය කර ගැනීමට අපට ගත හැකි පියවර කිහිපයක් ඇත.

ඔස්ටියෝපොරෝසියාව ඇතිවීමේ ඉහළම අවදානම ඇත්තේ ආර්තවහරණයට ලක් වූ කාන්තාවන්ටය. මේ නිසා ඔවුනට දිනපතා කැල්සියම් 1200 - 1500 ක් අතර ප්‍රමාණයක් ලැබිය යුතුය. මේ හා මිග්‍රෑ සමඟම විටමින් ච් අන්තර් ජාතික ඒකක 800 ක් පමණ ලැබීම ද අවශ්‍යය.

මෙසේ අවශ්‍ය කැල්සියම් පෙති හෝ මිශ්‍රණ හෝ වශයෙන් නොලබා ආහාරයෙන් ලැබිය හැකිනම් ඒ වඩාත් යෝග්‍යය.

කිරි, බටර්, චීස්, ගිතෙල්, මී කිරි, යෝගට් ආදී කිරි ආහාර, පලා, එළවළු, ඇට වර්ග, හාල් මැස්සන් හා සාලයන් (කටු සමඟ ආහාරයට ගත හැකි) මාළු යනාදිය තුළ කැල්සියම් බහුලය. සමහර පලතුරු (උදා. දිවුල්) ආදිය ද කැල්සියම් බහුලය. අස්ථි සෞඛ්‍යය රැකගැනීම සඳහා සහ මිටි වීම වැළැක්වීම සඳහා කැල්සියම් ගැනීම කළ යුත්තේ වැඩිහිටි වියට පත් වූ පසුව නොව, ළමා හා යොවුන් කාලයේ සිටය. ගැහැනු ළමයින්ට මෙය ඉතා වැදගත් පණිවිඩයකි.

මිටි වීම වැළැක්වීම සඳහා ඔබට ගත හැකි තවත් පියවරක් වන්නේ නිති ව්‍යායාම ගැනීමය. සතියකට දින 5 ක් වත් මිනිත්තු 150 - 175 ක කාලයක් ව්‍යායාම ගැනීම මෙහිදී වැදගත්ය. ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම මෙන්ම පිටිය හා පන්දු ක්‍රීඩාවල නිරත වීම ද මෙහිදී සුදුසුය.

දුම්පානය සහ මත්පැන් පානය ද අස්ථි ක්ෂය කර අපව මිටි කිරීමට සමත්ය. ඒ නිසා මේ දුර්භාවිතා දෙකෙන් ඈත්ව සිටීම ප්‍රයෝජනවත්ය.

සමහර ඖෂධ වර්ග දීර්ඝ කාලයක් තිස්සේ ගැනීම නිසාද අපව මිටි වෙයි. මෙහිදී වැඩිම බලපෑම ඇති කරන්නේ කොර්ටිකෝස්ටෙරොයිඩ ගණයේ ඖෂධය. මෙවැනි ඖෂධ ඇදුම රෝගීන් සුවපත් කිරීමට, අපස්මාර රෝගීන් වැනි ගැස්ම සහිත රෝගීන් සඳහා ද භාවිතා කෙරේ.

මිටි වීමේ අවදානමක් ඇත්ද නැත්ද යන්න ගැන මෙන්ම ඔස්ටියෝපොරෝසියාව පිළිබඳ අවදානම ද දැන ගැනීමට අස්ථි ඝනත්වය (බෝන්ඩෙන්සිටි) මැනීමේ පරීක්ෂාවක් මඟින් සිදු කරගත හැකිය. ඒ සඳහා ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලැබීමට පුළුවන.