ඔබේ හිසකෙස් උඩුගොව්වා කනවාද?

ඔබේ හිසකෙස් උඩුගොව්වා කනවාද?

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

අපගේ හිස ප්‍රදේශයේ ඇති හිසකෙස් හා රැවුල අපගේ සිරුරට හා මුහුණට කෙතරම් පි‍්‍රයජනක තත්ත්වයක් ලබා දෙනවාද කියා ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැහැ ඉතිං ඒ ස්ථානවල රවුම් කැඩැති, ඕවලකාර සමහර විට නිශ්චිත හැඩයක් නැති සම්පූර්ණයෙන් හිසකෙස් ඉවත් වූ තට්ටය සහිත කුඩා ප්‍රදේශයක් ඇති වෙනවා නම් සිදුවන අපහසුතාවය කෙබඳු එකක් දැයි සිතා ගන්න පුළුවන් නේද? මම තත්ත්වය පිළිබඳව එදිනෙදා ජන විශ්වාසය වූයේ “උඳුගොව්වා” නම් වූ කුඩා සතෙකු විසින් එම ස්ථානයේ හිසකෙස් විනාශ කර දැමීමක් ලෙසය. මෙය මුළුමනින්ම මිත්‍යා විශ්වාසයක් බව සඳහන් කරන්න ඕන. ඇත්තෙන්ම මෙම රෝග තත්ත්වයේදී හිසකෙස්වලට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලි කර ගනිමු.

අපගේ හිසකෙස් ඇතිවන්නේ සම තුළ ඇති කේශ මූලය හෙවත් Hair follicle නම් වූ කුඩා ඉන්ද්‍රියක් වැනි ස්ථානයකින්. ඉතින් මේ හිසකෙස් නිෂ්පාදනය කරන ස්ථානයකට විරුද්ධව, අපගේ ශරීරය තුළින්ම ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. ඒ මඟින් හිසකෙස් හැළී යනවා. මේ තත්ත්වය Autoimmune condition  හෙවත් තමන්ගේ අවයවවලට තමන්ගේම ප්‍රතිශක්තිය මඟින් පහර එල්ල කරන රෝග තත්ත්ව කිහිපයක එක් අවස්ථාවක් ලෙස සලකනවා.

සාමාන්‍යයෙන් අපගේ ශරීරයට විෂබීජයක් හෝ ශරීරයට අයිති නැති ආගන්තුක දෙයක් ඇතුලු වූ විට, අපගේ ශරීරය තුළ වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් එයට විරුද්ධව ක්‍රියා කර “ප්‍රතිදේහ” නම් වූ ආයුධ විශේෂයක් සාදා පහර එල්ල කර විනාශ කර දමනු ලබනවා. අද අපි කතා කරන රෝග තත්ත්වයේදී සිදුවන්නේ හිසකෙස් අතර කුඩා ප්‍රදේශයක ඇති රෝමා කූප හෙවත් කේශ මූලය (Hair follicle) කියන ස්ථානයට, එහි ශරීරයට අයිති නැති දෙයක් යැයි සිතා පහර එල්ල කර විනාශ කර දමයි. ප්‍රතිඵලය වන්නේ අදාල ප්‍රදේශයේ රෝම කූප විනාශ වී හිසකෙස් හෝ රැවුල හැලීයාමයි. ඉතිං මේ තත්ත්වය කිසිසේත්ම “උඳුගොව්වා” නම් වූ බාහිර සතෙකු නිසා සිදුවන දෙයක් නොවන බැව් ඔබට හොඳින් වැටහෙනවා ඇති. මෙම හිසකෙස් හැළී යන තත්ත්වය ආකාර කීපයකට සිදුවිය හැකියි.

එක් ස්ථානයක පමණක් සම්පූර්ණ හිසකෙස් ගැලවී යාම, හිස කබල පුරා ඇති සම්පූර්ණ කොණ්ඩය තැනින් තැන ගැලවී කොණ්ඩය අඩු වීම, ස්ථාන කිහිපයක එකවර සම්පූර්ණ හිසකෙස් ගැලවී යාම, සම්පූර්ණ කොණ්ඩයම ගැලවී තට්ටය පෑදීම (Hair follicle) සම්පූර්ණ ශරීරයේම හිසකෙස් හා රෝම ඇති ස්ථාන සියල්ලම ගැලවී යාම (totalis) සහ රැවුලේ පමණක් යම් ස්ථානවල රෝම ගැලවී යාම (universalis) මෙම රෝගය ඇති වන ආකාර ලෙස හඳුන්වන්න පුළුවන්. මෙහිදී මුලින්ම සිදුවන්නේ යම් ස්ථානයක හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී යාමයි. ඒ නිසා ඇතිවන තට්ටය ප්‍රදේශයේ කිසිදු සලකුණක් නැති සාමාන්‍ය දිලිසෙන සමක් දකින්නට ලැබෙනවා. සමහර විට මෙම ප්‍රදේශයේ සුළු වේදනාවක් හෝ හිරිවැටීමක් වැනි සංවේදනයක් දැකිය හැකි වෙනවා. මීට අමතරව අපි ලියන භාෂාවේ සඳහන් කරන “විශ්මයාර්ථ ලකුණ” හැඩය ගන්නා සියුම් කුඩා හිසකෙස් එම තට්ටය ප්‍රදේශයේ දැකිය හැකි වෙනවා. ඉහත සඳහන් කළ විස්තරය මෙම රෝගය හඳුනා ගැනීමට උදව් වෙනවා. මෙම රෝග තත්ත්වය ඇති වන හේතුව වටහාගත නොහැකි දෙයක්. පරම්පරාවෙන් හෝ ආරයට මෙම රෝග පැතිර යන බවට ලකුණු දකිනවා. මීට අමතරව අසනීප, ආසාදන, ගර්භණීභාවය, මානසික ආතතිය, අනතුරු ආදිය මෙම රෝග තත්ත්වය ඇති වීමට උදව් කරනා බවත් සැලකෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසිලෙස වැඩි නැති අලුත උපදින දරුවන්ගේ පවා මෙම රෝග තත්ත්වය දකින නිසා මෙයට හේතුව තරමක් සංකීර්ණ දෙයක් බවට පත් වෙන බැව් සඳහන් කල යුතු වෙනවා. ඒ වාගේම මෙම තත්ත්වය කිසිසේත්ම බෝවන රෝගයක් නොවන බැව් විශේෂයෙන් මතක් කළ යුතු වෙනවා. මෙම තත්ත්වය සඳහා නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම භාවිතා කළත්, මෙය ඉබේම සුව වන බව සඳහන් කරන්නට ඕන. මෙම ස්වයං සුව වීම හෙවත් ඉබේම සුව වීම සඳහා මාස ගණනක සිට වසර කිහිපයක් දක්වා කාලයක් ගත වෙනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට හා රෝග තත්ත්වයේ උග්‍ර බව අනුව අඩු වැඩි වන දෙයක්. ප්‍රතිකාර ලෙස Steroid වර්ගයේ ආලේපන හා ඖෂධ වෛද්‍යවරයකුගේ අනුදැනුම ඇතිව භාවිත කළ හැකි වෙනවා. මෙම ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධ (Side effects) නිසා දීර්ඝකාලීන භාවිතය ප්‍රශ්නකාරී දෙයක් වෙනවා. කෙසේ වෙතත් රෝග ලක්ෂණ පාලනයට ප්‍රතිකාර තිබීම හා ඉබේම සුව වීමේ ප්‍රවණතාවය නිසා රෝග තත්ත්වය ඇති අය බලාපොරොත්තු සහගත වීම ඉතා වැදගත් වෙනවා. මෙම රෝගය නිසා හිසකෙස් ගැලවී තැන් තැන්වල හෝ සම්පූර්ණයෙන් තට්ටය පෑදීම නිසා වෙනයම් ශාරීරික අපහසුතා ඇති නොවන බවත් මතක් කළ යුතුයි.