ඖෂධීය ගුණ සපිරි ආහාර

ඖෂධීය ගුණ සපිරි ආහාර

බණ්ඩක්කා

සිහල බසින් බණ්ඩක්කා යැයි කියුව ද එය සකු බසින් ආ නමකි. හිණ්ඩි යනු සකු නම ය. දෙමළ බසින් වණ්ඩාකායි යනු බණ්ඩක්කා ලෙස සිංහල බසට ආ සේය. ලංකාව හා ඉන්දියාවේ පහසුවෙන් හා බහුල වශයෙන් වගා කැරේ.

කරල්වල වර්ණය අනුව දෙවර්ගයක් තිබේ. කොළ පාට හා රතු පාට කරල් වශයෙනි. සිසිල් ගුණ දෙන හොඳ කෑමකි. ඇඟේ දැවිල්ල, මල බද්ධය, මුත්‍රා පිට කිරීමේ අපහසුව හා දැවිල්ල ඇති අයට ඉතා හොඳ බෙහෙතකි. තද පීනස, කැස්ස වැනි සෙම් ප්‍රබල රෝගවලට බණ්ඩක්කා කෑම අගුණයි. එහෙත් වෙන එළවළුවක් හා මිශ්‍ර කර ව්‍යංජන සාදා කෑමෙන් අගුණයක් ඇති නොවේ. අම්ල පිත්ත රෝගය සේ හඳුන්වන, බඩේ දැවිල්ල හා ඔක්කාරය ඇති විට බණ්ඩක්කා කරල් පෙති ගසා ටික වේලාවක් පිරිසුදු වතුර වීදුරුවක බහා තබාගෙන ඒ වතුර බීමෙන් බඩේ දැවිල්ල අඩු වේ. මුත්‍රා දැවිල්ල හා හීන මුත්‍රා ඇතිවිට ද මෙය ඉතා ගුණයි. ශුක්‍රමේහය නමින් දන්නා නිකරුණේ මුත්‍රා සමඟ ශුක්‍ර පිට වීමේ පිඩාව ඇති විට ද, කාන්තාවන්ගේ ඇඟ උණු කරවා යාම යන පීඩාවේදීද, මේ බණ්ඩක්කා දියර වතුර ඉතා ගුණයි. අමුවෙන් කෑමටද ගත හැකියි.

ග්‍රහණිය සුවකරන

ඇඹුල් ඇඹිලිය

උඩරට කඳුකරයේ තේ වතුවල සරුවට වැවෙන ඇඹුල් ඇඹිලිය රසවත් එළවළුවක් මෙන් ම එක්තරා ලෙඩකට අනගි බෙහෙතකි.

උඳුපියලිය පැළැටියට සෑහෙන තරම් සමාන ඇඹුල් ඇඹිලිය කොළ රසයෙන් ද ඇඹුලයි. සරුවට හැදෙන පැලයේ හටගන්නා රතු පාට මල ද ප්‍රයෝජනයට ගත හැකිය. මේ පැලයේ තද ඇඹුලට හේතුව එහි ඔක්සලික් අම්ලය පැවතීමයි.

නිතර ආහාරයට ගත හැකි, එසේ ම නිතර කෑමට ගත යුතු පැලයක් නොවේ. ආම ජීර්ණය, අතීසාරය, ග්‍රහණීය වැනි රෝගවලදී කෑම ගැනීමට තරම් සුවපත් වූ පසු ඉතා හොඳ පථ්‍යයක් සේ යෙදිය හැකිය. ලේ අතීසාර රෝගය වැලඳී සුව වේගෙන එන කාලයේ ඇඹුල් ඇඹිලිය කොළ එළවළුවට සාදා කෑමත් යහපත් වේ.

මල බුරුල්ව යාම නතර වේ. ග්‍රහණී රෝගය සේ හඳුන්වන රෝගය ඇති අයට ද කෑමට ගත හැකි හොඳ එළවළුවකි. මෙහි ඔක්සලික් අම්ලය අධිකව ඇති නිසා වකුගඩු පීඩාව ඇති අයට සහ මුත්‍රා දැවිල්ල ඇති අයට හොඳ කෑමක් නොවේ. මල්වලින් රසවත් ජෑම් සාදා කෑමට ගත හැකිය.

මුත්‍රා පීඩාවලට ගුණ දෙන රණවරා

රසවත් මැල්ලුමක්, ගුණ දෙන බීමක්, ලෙඩකට බේතක් ලෙස නොයෙක් ආකාරයෙන් ප්‍රයෝජනයට ගත හැකි ශාකයක් නම් රණවරා ය. උද්භිද විද්‍යාවට අනුව රණවරා වර්ග දෙකක් තිබේ. නියම රණවරා සහ අනියම් රණවරා යනුවෙනි. නියම රණවරා කිනිත්තේ මුල දෙසට වන්නට කන්පෙත්තක හැඩය ගත් කුඩා පත්‍ර දෙකක් තිබේ. කොළ තරමක් කුඩා ය, මල් ද කුඩාය. අනියම් රණවරා කොළ කිනිත්තේ පෙර සඳහන් කළ කන්පෙති සමාන පත්‍ර දෙක නොමැතිය. කොළ තරමක් ලොකුයි. මල් ද ලොකු ය. මේ දෙවෙනි වර්ගය කෑමට ඇතැම්හු බිය වෙති. කරන ලද පිරිස්සුම්වලින් පැහැදිලි වී ඇත්තේ දෙවෙනි වර්ගය ද මැල්ලුම් සාදා කෑමට ගත් බවත්, එයින් කිසිදු හානියක් නොවූ බවත්ය. මේ වර්ගයේ මල් ද එළවළුක් සේ කෑමට ගත හැකිය.

රණවරා තම්බා ගත් වතුර ශරීරයේ පිත් කෝප ගතිය නසන, ඇඟ සිසිල් කරන හොඳ බිමකි. රණවරා මල් අලුත් පිට තම්බා ගත් විට මිහිරි රසයක් ඇති වුවද කඩා තබා පරණ වු පුස් සෑදුන රණවරා තම්බා ගත් වතුර බිව නොහැකි තරමට තිත්ත රසයෙන් යුතු වේ.

බේතක් වශයෙන් රණවරා විශේෂයෙන් ගුණ දෙන්නේ මුත්‍රා කිරීමේ ඉන්ද්‍රිය පද්ධතියේ රෝග වලටය. මුත්‍රා දැවිල්ල, මුත්‍රා සමඟ අමතර කොටස් පිටවීම හා කාන්තාවන් ගේ ඇඟ කෙට්ටු කරනවා යැයි කියන පීඩාවට ද රණවරා කොළ මැල්ලුම් ද, රණවරා තම්බා ගත් වතුර ද ඉතාම ගුණය. මේ ගුණ දින තුන හතරකින් බලාපොරොත්තු විය යුතු නොවේ. මාස කීපයක් ගත යුතුය. කිසි විටෙක අගුණ නොවේ.

මුත්‍රා සමඟ සීනි පිටවීම්් පීඩාව අද හඳුන්වන්නේ දියවැඩියාව ලෙසය. එහෙත් මුත්‍රා පරීක්ෂණයේදී මුත්‍රාවල සීනි තිබූ පමණින් එය මධුමේහය හෙවත් දියවැඩියාව සේ සැලකීම සුදුසු නොවේ. මුත්‍රාවල සීනි ඇති වීමට මුල් වන හේතු බොහෝය.

කුමක් නමුත් මෙබඳු තත්ත්වයන් පවතින විට ගුණ ලබා ගැනීම පිණිස අගුණ නොවන හොඳ බේතක් නම් රණවරා පංචාංගයයි. රණවරා කොළ, මල්, මුල්, පොතු හා ඇටය.

මේ සියල්ල එක්ව ගෙන කබලේ බැද කුඩු කර තබාගෙන උදේ සවස කෝපි මෙන් සාදා බීම යහපති. මෙ බඳු බෙහෙත් ටික කලක් යන විට දිරා යාමේ ගතියකට පත්වන නිසා වැඩිකල් තබා ගත නොහැකිය. එවිට ගුණ හීන වේ.

දියවැඩියා රෝගය මුල් කාලයේම හඳුනාගත හොත් පහත සඳහන් රණවරා සංයෝගය සාදා ටික දිනක් බොන විට පීඩාව සුව වේ. පරණ වූ දියවැඩියා රෝගයට දීමෙන් සීනි නැගීම පාලනය කරගත හැකිය. කිසි විටෙක සීනි හෝ හකුරු හෝ ගත යුතු නොවේ. රණවරා පස්වගය - ඉඟිනි ඇට - සුදු හඳුන් - කොතල හිඹුටු යන කොටස් කෂාය ලෙස සාදා ගැනීම අපහසු නම් කබලේ බැද කුඩු කර තබා පාවිච්චි කළ හැකිය.

පුරුෂ ශක්තියට වැඩි කරන වැල්පෙනෙල

වැල්පෙනෙල හැමදා ලබා ගත හැකි වැලක් නොවේ. වැස්සට පසු වැවෙන වැල්පෙනෙල කෂාය, අධික රුධිර පීඩනය අඩු කිරීම පිණිස යෙදිය හැකිය. එක් දිනකින් ගුණ පැතිය යුතු නොවේ.

තරුණ වියේ බොහෝ පිරිමින්ට, විශේෂයෙන් ගැටවර වියේ පසුවන අයට ඇතිවන පීඩාවක් නම් අණ්ඩග්‍රන්ථිය ඉදිමීමයි. මෙය ලෙඩකැයි බියවිය යුතු නොවේ. තරුණ වයසේ දී ග්‍රන්ථි ක්‍රියා කිරීමේ දී සිදුවන ස්වාභාවික දෙයකි. කෙසේ නමුත් මෙහිදී බෙහෙතක් කරන්නට සිදු වේ. වැල්පෙනෙල කොළ කැඳ සාදා බීමත්, වැල්පෙනෙල තම්බා බීමත් ගුණයි. වැල්පෙනෙල කොළ මැල්ලුම අණ්ඩ ග්‍රන්ථිවල තබා බැදීමෙන් ද ඉදිමුම අඩු වේ.

කාම ශක්තිය වඩන ගුණයක් ද වැල්පෙනෙලවල තිබේ. මෙය පිරිමින්ට පමණක් නොව කතුන්ට ද ගුණදායකයි. දරුඵල පමාවන විට දෙදෙනා ම වැල්පෙනෙල කොළ කැඳ ටික දිනක් බොන්නේ නම්, නැතහොත් වැල්පෙනෙල කොළ තම්බා කන්නේ නම් ගුණ ලැබේ.

විෂ නසන කරපිංචා

කරපිංචා හෙවත් කරපිංචා අපේ ගෘණියන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු කොළ වර්ගයක් නොවේ.

මෙහි ප්‍රයෝජන කීපයකි. කෑම රසවත් කිරීම උදෙසා නිතර ගැණෙන දෙයකි. ගෘහණිය එය හොඳ බෙහෙතක් සේද ගන්නා අතර ම කරංපිචා යොදනුයේ බේතක් බව දන්නේම නැතිවය.

සර්පයකු හෝ සර්පයෙකි යි සැක සිතෙන වෙනත් උරගයකු හෝ දෂ්ට කළ විට ඉක්මණින් ම දිය යුතු ප්‍රථමාධාරය කරපිංචා කොළ ඉස්ම බව පිළිගැනේ. පීඩාව ඇති වූ සැනෙන් ම කරපිංචා කොළ කොටා යුෂ මිරිකා ගෙන බොන්නට දීමෙන් සර්ප විෂ අඩු වෙතැයි කියවේ. “දොරකඩ මිදුලේ තැනූ ගස” යැයි කියා ඇත්තේ මේ කරපිංචා ගසටයි. කරපිංචා කොළ ඉස්ම යොදා තනා ගත් කැඳ වර්ග ඉන්පසු බොන්නට දෙනු ලැබේ.

කරපිංචා අපේ ගෘහණියන් ආදියේ ව්‍යාංජන රසවත් කිරීමේ එක ම අදහසින් යොදන ලද්දක් නොවේ. එය ආහාර දිරවීම යහපත් කරන එසේ ම විෂ නසන බේතක් සේ ද සලකා ව්‍යාංජනයට එක් කරන්නට ඇත.

ගුණ වශයෙන් සලකන විට කරපිංචා ශිතල ගුණ යුක්තයි. මඳක් තිත්ත, කටට රසයි. දිරවීමට ඉතා පහසු වේ. කරපිංචා කොළ සියුම්ව අඹරා ගත හොත් මුකුණුවැන්න මෙන් මලවා කෑමට ද ගත හැකිය. ගලේ දා අඹරා සියුම් කර ගත් පසු සම්බල් සෑදුව හොත් රසවත් ව්‍යාංජනයක් එයින් සාදා ගත හැකිය.

පණු පීඩා නිසා ආහාර අරුචිය ඇති වී කෑම නොගන්නා ළමයිනට මෙය ඉතා හොඳ බෙහෙතක් වන කෑමකි. කොළ කැඳ බහුලව බොන මේ දිනවල කැඳ සාදා බිව හැකිය.

කරපිංචා සමේ රෝග ඇතිවිට ද බේතක් සේ යොදා උසස් ප්‍රතිඵළ ලබාගත හැකිය. ව්‍යාංජනයට එක් කැරෙන කරපිංචා කොළ අනෙක් එළවළු සමඟ කනවා වෙනුවට අද අප බොහෝ දෙනා කරනුයේ ඒවා අහුලා පිඟානේ පැත්තක තබා ඉවත ලෑමයි. මෙය වැළැක්වීම සඳහා කළ යුත්තේ කරපිංචා කොළ සියුම් වන්නට කපා වෑංජනයට එක් කිරීමයි.

ආම රසය ශරීරයේ කලක් තැන්පත් වුවහොත් සන්ධි වේදනා උපදී. ඒ ආමරසය වැළැක්වීම පිණිස කරපිංචා කන්න. ආමරස වැඩි බඩගින්න අඩු වී බඩේ පිපීම, මලබද්ධය, කටේ අමිහිරි ගතිය යන මේවා ඇති විට කරපිංචා නැටි, අරලු, වියළි ඉඟුª රු යන මේවා සම බරට ගෙන කබලේ බැද කුඩු කර තබාගෙන වරකට තේ හැන්දක් පමණ ගෙන කෝපි මෙන් සාදා උදේ සවස බීමෙන් පුදුම ගුණයක් දැනේ.

විවිධ අන්දමේ ගුණ දෙන කිසිම අගුණයක් නොදෙන කරපිංචා කෂාය කර හෝ තම්බා හෝ බීම අත්හදා බැලීමක් වශයෙන් කරන්නට යැයි අධික රුධිර පීඩනයෙන් හා ඇතැම් හෘද රෝග වලින් පෙළෙන අයට සිහිපත් කිරීම මැනවැ යි සිතමි.

වාත වේදනා නැති කරන වාතභංග කොළ

අතු පතර විහිදවමින් කෙලින් උසට වැවෙන ගසකි. අඹ, කොස් ගස් මෙන් අතු විහිදෙන්නේ නැත. මේ ගසේ කොළ, කලෙකට පෙර කෙට්ටකොළ නමින් ද හැඳින්විණි. අඟල් දොළසක් පමණ දිග ඇති, අඟල් හතරක් පමණ කොළ මැල්ලුම් සෑදීම පිණිස ගනු ලැබිණි. දැන් ඒ ගස් දකින්නට නැති සේය.

වාතභංග යන නමට අනුරූපව ම මේ කොළ මැල්ලුම කෑමෙන් ශරීරයේ ඇති වාත වේදනා නැති වේ. මලබද්ධය නැති කරයි. මුත්‍රා පෙරීම යහපත් වේ. ශරීර ශක්තිය වඩයි. ඇඟේ දැවිලි ගති හා කසන ගති පවතී නම් ඒවා දුරු වේ. මහළු වයසට යන විට ඇගේ ඇති දුබලතා දුරු කරයි.

වාතභංග කොළ මැල්ලුම කැපීමේදී එයට ගොටුකොළ, මුගුණුවැන්න,තෝර කොළ, කංකුම් කොළ වැනි දෙයක් ද එක්කර මැල්ලුම සාදාගත් විට, එය වඩා රසවත් වේ. බොහෝ දෙනකු නො සලකා හැර ඇති පැණිතෝර කොළ ද මෙයට එක්කර ගත හැකිය.

ඇදුමට හිත කුප්පමේනිය

වත්ත පිටියේ කවර තැනෙක හෝ පහසුවෙන් වැවෙන කුප්පමේනිය ද සෙම් පීඩා ඇති අයට හොඳ බේහෙතකි. මෙහි සිංහල නම “කමනිය” යනුයි. පීනස, ඇදුම, කල් පවතින වියලි කැස්ස යන පීඩා ඇතිවිට ගුණ බලාපොරොත්තුවෙන් යෙදිය හැකි බෙහෙතකි. ඇදුම රෝගයේ දී සමහරු කුප්පමේනිය දළු රතු ලුණු සමඟ උයා කෑමට ගනිති. එයිනි ගුණ ලැබේ.

පෙර සඳහන් කළ ආඩතෝඩ කොළ,මිංචි කොළ, කුප්පමේනිය කොළ හා කොත්තමල්ලි යන හතර වර්ගය සම සමව ගෙන කබලේ බැද කුඩු කර තබාගෙන කෝපි මේන් සාදා බීම ඉහත සඳහන් කළ සෙම් පීඩාවට ඉතාම ගුණදායකයි. ලෙඩක් නැති අයට වුව ද කුප්පමේනිය කොළ ව්‍යංජනය සාදා ටික වන්නට කෑම ගුණයි. වැඩි වුවහොත් වමනය ඇති වේ.

කුප්පමේනිය කොළ ඉස්ම අවුන්ස දෙකක් පමණ බිව්වත් වමනය ඇති වේ. එහෙත් ව්‍යංජනය සඳහා තවත් කොළ වර්ගයක් සමඟ එක්කර ව්‍යංංජනය හෝ මැල්ලුම් සාදා ගත හැකිය.

කෙසේ නමුත් ශරීරය ප්‍රකෘතිය අනුව ඇතැම් අයට මේ කෑම අගුණ විය හැකිය.

ඇසට හිතකර කතුරුමුරුංගා

කතුරුමුරුංගා අප රටට දකුණු ඉන්දියාවෙන් ලැබුණු ගසෙකැයි සිතේ. මුරුංගා නම දෙමළ නමෙකි. එහි සිංහල නම මිරිකුළු යනු යි. කතුරු මුරුංගාවට සිංහල නමක් නැතිකම එය ඉන්දියාවේ අයගෙන් අපට ලැබුණෙකැයි සිතීමට තුඩු දේ. වැඩි වශයෙන් කොළ හා මල් ආහාර පිණිස ගැනුණ ද ගසේ සෑම කොටසක් ම බෙහෙත් පිණිස ගත හැකි ය. මෙහි මැලියම ද බෙහෙත් පිණිස ගැනේ.

ආහාර පිණිස ගැනීමේ දී කොළවලින් ලැබෙන ගුණයට වෙනස් ගුණයක් මල්වලින් ලැබේ. සාමාන්‍යයෙන් ගුණ වශයෙන් සලකන විට කතුරු මුරුංගා සෙම හා පිත නසයි. රුක්ෂ ගුණය නිසා වාතය වඩයි. සෙම නසන ගුණය ඇති නිසා මෙය කලක් තිස්සේ පවතින පීනස් රෝගයට හා ඇදුම රෝගයේ එක් වර්ගයකට ගුණදායකයි.

පිත නසන ගුණය නිසා කල්ගත උණ රෝගයට ගුණයි. කල්ගත උණ යනුවෙන් මෙහිදී සැලකෙනුයේ බොහෝ කල් පවතින මැලේරියා උණ වර්ගයකට ය. මෙයින් මැලේරියා උණ සම්පූර්ණයෙන් සුව නොවුවද, ඒ උණ නිසා හටගන්නා යම් යම් පීඩා සුව වේ.

විශේෂයෙන්ම කොළ බේතක් වශයෙන් මෙන් ම ආහාරයක් වශයෙන් ද ගුණදායක යි. එයට හේතුව කොළ එළවළුවේ පවතින රේචක ගුණය යි. එනම් මල බුරුල් කර යෑමට උදව් දීමයි.

කතුරුමුරුංගා කොළ මැල්ලුම හෝ එළවළු ප්‍රමාණය වැඩි වන්නට කෑ විට එයින් මල බුරුල් වේ. විරේක මෙන් මල පිට වේ. මේ නිසා ලේ වල රැස් වී ඇති විෂ කොටස් බැහැර වේ. වෛද්‍ය ශාස්ත්‍රය අනුව බලන විට විරේකය නිසා පිත සමනය වේ. පිත සමනය වීමෙන් ද උණ අඩු වේ. කතුරුමුරුංගා කොළ තෙල් දමා සකස් කරගෙන කෑ විට බොහෝ දෙනාට බඩයාම ඇතිවනුයේ රිදීම ද ඇති කරමිනි.

කොළවල ශක්තිය බඩෙන් ඉවත් වූ පසු බඩ යාමත්, බඩේ වේදනාවත් අඩු වන නිසා කතුරුමුරුංගා කෑමට බිය විය යුතු නොවේ. මේ ගුණය ලබන්නේ මල බද්ධ කරන වෙනත් එළවළුවක් හෝ වෙනත් දෙයක් හෝ ඒ ආහාරය සමඟ නොගත් විටය. බඩයාම නිසා ශරීරයේ ද්‍රව කොටස් ද පිට වේ. ඒ සමඟ ශරීරයේ ස්වභාවයෙන් පවතින තෙල් ප්‍රමාණයක හානිය ද ඇති වේ. මේ හේතුකොට ගෙන වාතය කෝප වෙයි.

ඒ නිසා කතුරුමුරුංගා කොළ වැඩිවන්නට කා බඩයාම ඇති වූ පසු බොහෝ දෙනෙකුගේ ඇඟපතේ කැක්කුම හටගනී. අප රට අය වාත කැක්කුම යැයි කියනුයේ මෙබඳු වේදනා ඇති විටය. ඇතැම් විට වෙනත් දෙයක් සමඟ කතුරුමුරුංගා කොළ වැඩියෙන් කෑ පසු සමහර අයට බඩ යෑම ඇති නොවී, බඩ තද වුවාක් වැනි ගතිය ඇති වේ. එසේ වනුයේ කොළ ආහාර මාර්ගයේ අවහිර වීම නිසා ය.

මෙසේ ඇතිවිට පිටේ උරහන්දිපත් කටු යට ඉවසුම් නොදෙන වේදනාවක් හට ගනී. මෙය දුරු කිරීම පිණිස කළ යුත්තේ වේලක් දෙකක් සුළු ආහාරයක් පමණක් ගැනීමයි. වරක් මල පිරිසුදු වූ පසු ඒ වේදනා සියල්ල දුරු වේ.

කුතුරුමුරුංගා මල් ශීත ගුණ සහිතයි. මැලේරියා රෝග මර්දනයට ගුණදායකයි. ඇස්වලට විශේෂයෙන් හිතයි.

ඇස්වලට ලැබිය යුත පෝෂණීය කොටස් හිඟය නිසා “රෑ කණ” පීඩාව ඇතිවුයේ නම් එබඳු අයට කතුරුමුරුංගා මල් ව්‍යංජනය ඉතා ගුණදායකයි. මේවා ශිත ගුණ සහිත වුව ද එයින් සෙම් කෝපයක් ඇති නොවේ.

එම නිසා පීනස් රෝගයට ද කතුරුමුරුංගා මල් ඉතා ගුණයි. තොල් කට පැලෙන රෝගයේ දී කතුරුමුරුංගා මල් තලතෙල් හා එළඟිතෙල් සමඟ මිශ්‍ර කර තම්බා කන්නට දීම ගුණදායකයි. මාන්දම් රෝගය ඇතිවීමට තෙල් කොටස් ප්‍රමාණවත්ව නොලැබීම හේතුවන නිසා තලතෙල් හෝ එළඟිතෙල් සමඟ මිශ්‍ර කර ගත් විට කතුරුමුරුංගා මලෙන් ලැබෙන ගුණය වැඩි වේ.

එළඟිතෙල් අපි‍්‍රය අයට මේවා එළකිරෙන් තම්බා කන්නට දීම මැනවි.

කලක් තිස්සේ පවතින පීනස සහ කැස්ස රෝගයේ දී කතුරු මුරුංගා මල් හා ආඩතෝඩා කොළ දෙවර්ගය තම්බා ගත් වතුර බීම ගුණ ය. මේ වතුරට මී පැණි ස්වල්පයක් ද මිශ්‍ර කර ගතහොත් ගුණය වැඩි වේ.

අපස්මාරය හෙවත් මී මැස්මොර රෝගයේදී ද කතුරුමුරුංගා කොළ මෙන් ම මල් ද ගුණ යි. මේ මල් ගොටුකොළ සමඟ එක්කර ගිතෙල් සමඟ කන්නට දීම මීමැස්මොරයේ දී ගුණය. මෙයින් රෝගය සම්පුර්ණයෙන් සුව නොවූව ද පීඩාව මැඩපැවැත් වේ.

රාජකීය පණ්ඩිත විලියම් අල්විස් වෙදදුරාගේ එළවළු ගුණ ග්‍රන්ථය අනුසාරයෙනි.