අකලට හිසකෙස් පැසීම වළක්වා ගන්න බැරිද?

අකලට හිසකෙස් පැසීම වළක්වා ගන්න බැරිද?

ආචාර්ය වෛද්‍ය භූෂන්

මහේෂ් අතුරළිය

අප වයසට යන විට ෆොලිකල් ඇතුලේ ඇති වර්ණක සෛල ක්‍රමයෙන් මැරී යනු ඇත. එවිට හිසකෙස්වල පවතින කළු වර්ණකය රිදී පැහැයට හැරි එය වර්ධනය සමඟ දුඹුරු හා සුදු පැහැයක් ගනී. ඉන් පසු වර්ණක සෛල මැරී ගිය පසු හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු පැහැයක් ගනී.

පීනස, වායු සමීකරණය කරන ලද කාමර වල, වාහන වල නිතර සිටීම නිසාද, අධික ශීතල වතුර හා රාත්‍රී කාලයේ නෑම නිසාද, නිදි වැරීම හා පිනි බෑම නිසාද, විෂ සහිත ආහාර පාන හා සමබල ආහාර වේලක් නොගෙන සිටීම නිසාද හිසකෙස් සුදු වේ.

අකලට හිසකෙස් ගැලවී යාම හා පැසීම සඳහා දේශීය වෙදකම් කැඳ වර්ග

ගොටුකොළ, මොනරකුඩුම්බිය, ඉරමුසු, මුගුණුවැන්න, කී කිරිඳිය, නෙළුම් අල, හාතවාරිය, පොල්පලා, කරපිංචා, ලුණුවිල යන මින් කුමන හෝ ඖෂධයකින් සාදා ගත් කැඳ වර්ගයක් සතියකට දින කිහිපයක් පානය කිරීම.

ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරිමේදී ද හිසකෙස් සුදු වේ. මෙම තත්ත්වය බහුලව දැකගත හැක්කේ පිළිකාවලට හා ඒඩ්ස්වලට ප්‍රතිකාර කිරිමේදී බව සොයාගෙන ඇත. එයට හේතුව එවැනි රෝගීන් බලවත් චිත්ත පීඩාවන්ට පත්ව සිටිමය.

රූ සපුව ගැන උනන්දු වන සෑම කෙනෙක්ම තම කොණ්ඩයට විශේෂ සැලකිල්ලක් දක්වති. කොණ්ඩය සිරුරේ පැහැය, වයස ආරක්ෂා කරමින් වඩාත් තරුණ පෙනුමක් ඔබ වෙත ගෙන එයි. නමුදු කෙස් වයසට යාමට පෙර කෙස් සුදුවීම අද සමාජයේ බහුලව දැක ගත හැකි තත්ත්වයකි. කෙස් සුදුවීමත් සමඟ අවබෝධ වනුයේ අප වයසට ගොස් ඇති බවය.

හිසකෙස් ගැන සැලකිලිමත් වීමේදී ඒවා සෑදී තිබෙන්නේ මතු පිටට පෙනෙන, වර්ණක සහිත කෙන්ද සහ එහි පතුලේ ඇති ෆොලිකල් මඟිනි. සෑම ෆොලිකල් එකක් තුළම වර්ණක සෛල අඩංගු වේ. එම වර්ණක සෛල මඟින් මෙලනින් නම් රසායනික ද්‍රව්‍ය නිපදවනු ලබයි. සිරුරේ පැහැය මෙන්ම හිසකෙස්වල පැහැය ද ඇති කරනුයේ මෙලනින් මඟිනි. මෙලනින් මඟින් පිටතට පෙනෙන කෙන්දේ වර්ණය කළු, දුඹුරු හෝ රතු ලෙස පෙන්නුම් කරයි. හිසකෙස්වල වර්ණ තද පාටට හෝ වර්ණවත් ද යන්න තීරණය වනුයේ මෙලනින් වර්ණකය නිසාය. තද කළු හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය වැඩිපුර පිහිටා තිබේ. ලා පැහැති හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය අඩුය. එසේම සූර්යයාට නිරාවරණය වී සිටින සමේ පැහැය තීරණය කරනුයේ ද මෙලනින් වර්ණකය වීම තවත් විශේෂත්වයකි.

අප වයසට යන විට ෆොලිකල් ඇතුලේ ඇති වර්ණක සෛල ක්‍රමයෙන් මැරී යනු ඇත. එවිට හිසකෙස්වල පවතින කළු වර්ණකය රිදී පැහැයට හැරි එය වර්ධනය සමඟ දුඹුරු හා සුදු පැහැයක් ගනී. ඉන් පසු වර්ණක සෛල මැරී ගිය පසු හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදු පැහැයක් ගනී.

එසේ නම් කෙස්වල වර්ණය වෙනස් වීමට බලපානුයේ අපගේ ජාන ක්‍රියාකාරීත්වයයි. මෙහිදී වැදගත් වනුයේ දෙමාපියන්ගෙන් අපට උරුම දේ මත එය සිදුවන බවයි. මව්පියන්ගේ කෙස් වයසට යාමට පෙර සුදු වී ඇත්නම් ඔබගේත් තරුණ අවදියේදීම කෙස් සුදුවීම පටන් ගනී. දෙමාපියන්ගේ කෙස් වයසට ගොස් සුදු වන්නේ නම් ඔබගේත් කෙස් වයසට ගිය පසු සුදු වේ.

ඉහත කී කාරනා ඔබ අප සියලු දෙනාට එකසේ බලනොපාන අතර එය ජානමය හේතු මත සිදුවන දෙයක් බව මතක තබා ගත යුතුය.

බොහෝ දෙනෙකුගේ හිසකෙස් සුදුවීම තරුණ අවදියේදීම සිදු වේ. තවත් සමහර අයගේ අවුරුදු 40 -50 පමණ වනවිට සුදුවන බව සොයා ගෙන ඇත. තරුණ අවධියේදී හිසකෙස් සුදු වීමට හේතු ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ එය දිගුකලක් තිස්සේ පැවත එන ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙසය. පළමුවෙන්ම සුදු හිසකෙස් ගසක් දැකපු දින සිට එය හිස පුරාම ව්‍යාප්ත වන්නට අවුරුදු 10 කට අධික කාලයක් ගත වේ.

හිසෙහි ආලේප කිරීම සඳහා

දෙහි ගැට, උළුහාල් තම්බා හිස සේදීම

නික කොළ, පොකුරු වදමල්, නෙල්ලි, වෙනිවැල්ගැට, සැවැන්දරා, තැම්බූ වතුරින් හිස සේදීම

අමු නෙල්ලි දෙහි යුෂ සමඟ මිශ්‍ර කර නෑමට පෙර හිසේ ආලේපය

වෙරළු කොළ යුෂවලින් හිස සේදීම

කීකිරිදිය, මුගුණුවැන්න, ගොටුකොළ එළකිරි හෝ ජලය සමඟ අඹරා ආලේපය

රත් මල් කැකුළු කුඩු කීකිරිදිය හා පොල් කිරි සමඟ මිශ්‍ර කර ආලේපය

කෝමාරිකා මදය බිත්තර කහ මදය සමඟ මිශ්‍ර කර ආලේපය

දුම්මැල්ල කොළ ඇල් දියෙන් අඹරා ගෑම

නිල්අවරිය කොළ කොටා මිරිකා ගත් යුෂ ආලේපය

පොකුරු වද මල් ජලය සමඟ අඹරා ආලේපය

අරළු, තිප්පිලි, අවරිය කොළ, සහල් කැද සමඟ අඹරා ආලේපය

දෙහි කොළ යුෂ, දෙහි යුෂ, පොල්කිරි, හිරු එළියෙන් රත් කර ආලේපය

තල තෙල් හෝ පොල් තෙල් වලට නෙල්ලි කුඩු දමා සිද ගත් තෙල් ආලේපය

කරපිංචා කොළ දමා රත් කර ගත් පොල්තෙල් ආලේපය

නික කොළ යුෂ තල තෙලට දමා සිදගත් තෙල් ආලේපය

කීකිරිදිය කොළ යුෂ තල තෙලට දමා සිදගත් තෙල් ආලේපය

ගම්මාලු කිරි තල තෙලට දමා සිදගත් තෙල ආලේපය

මෙම ඖෂධ හිසේ ආලේප කර පැය 2 -3 පසු ස්නානය කළ යුතුය.

හිසකෙස් සුදු වීමට බලපාන වෙනත් සාධක

විටමින් බී හා විටමින් ඕ 12 ඌණතාවය නිසා මන්දපෝෂණය, රක්ත හීනතාවය වැනි රෝග තත්ත්ව ඇති වේ. එම රෝග තත්ත්ව හිසකෙස් සුදුවීම කෙරෙහි ද බලපානු ලබයි. තවද තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරකම් අඩුවීම මත හා දුම්පානය නිසාද හිසකෙස් සුදු වේ. දුම් නොබොන තරුණ අයට වඩා හතර ගුණයක් ඉක්මනින් දුම් බොන අයගේ හිසකෙස් සුදුවීම ආරම්භ වේ. එයට හේතුව ශරීරයේ පටකවල ඇති ඔක්සිජන් බිද වැටීමයි.

ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරිමේදී ද හිසකෙස් සුදු වේ. මෙම තත්ත්වය බහුලව දැකගත හැක්කේ පිළිකාවලට හා ඒඩ්ස්වලට ප්‍රතිකාර කිරිමේදී බව සොයාගෙන ඇත. එයට හේතුව එවැනි රෝගීන් බලවත් චිත්ත පීඩාවන්ට පත්ව සිටිමය.

මෙම හේතුන්ට අමතරව පීනස, වායු සමීකරණය කරන ලද කාමර වල, වාහන වල නිතර සිටීම නිසාද, අධික ශීතල වතුර හා රාත්‍රී කාලයේ නෑම නිසාද, නිදි වැරීම හා පිනි බෑම නිසාද, විෂ සහිත ආහාර පාන හා සමබල ආහාර වේලක් නොගෙන සිටීම නිසාද හිසකෙස් සුදු වේ. මෙහිදී ජාන ක්‍රියාකාරීත්වය මත සිදුවන හිසකෙස් සුදුවිම වළක්වා ගත නොහැකි මුත් අන් හේතු මත සිදුවන හිසකෙස් සුදුවීම වළක්වා ගත හැකිය. මේ සියල්ලටම ඔබේ හිසකෙස් සුදුවීම වළක්වා ගත නොහැකි නම් ශාක ශාර වලින් සාදා ගන්නා ඩයි වර්ග භාවිත කළ හැක. නමුත් එම ඩයි වර්ග භාවිතයෙන් ද අතුරු ආබාධ ඇති වේ.

හිසට දැමිය හැකි තෙල්

* පොල් තෙල්

* භෘංගාමාලක තෙල්

* තැඹිලි තෙල්

* මයුර කාන්ති තෙල්

* කේශ වර්ධනි තෙල්

* තල තෙල්

* දශවග ප්‍රමේහ තෙල්

* බ්‍රාහ්මී තෙල්

* අරූද තෙල්

* නීල්්‍යාදි තෙල්

අකලට හිසකෙස් යාමට හා පැසීමට ඉහත තෙල් වර්ග නිර්දේශ කළ හැකි නමුත් පීනස වැනි රෝගී තත්ත්වයන් ගැනද සැලකිලිමත් විය යුතුය.

දිගු නිරෝගී කෙස් කළඹකට

* නෙල්ලි තැම්බූ වතුර පානය කිරීම

* ඉරිවේරිය තැම්බූ වතුර පානය කිරීම

* බුළු කුඩු උක් හකුරු සමඟ මිශ්‍ර කර තේ හැන්දක ප්‍රමාණය උදෑසන කෑම

* රසකිද යුෂ හිසෙහි ආලේපය

* සැවැන්දරා තැම්බූ ජලයෙන් හිස සේදීම

* තිබ්බටු, කීකිරිදිය ව්‍යංජන වශයෙන් භාවිතය