හදවත සුරකින යෝජනා 7ක්

හදවත සුරකින යෝජනා 7ක්

හදවතට තට්ටු කර බලන්න. කවර මොහොතක හෝ ඔබට හතේ හත නැති කරමින් හදවත නතර විය හැකිය. නැතිනම් හෘදයාබාධයක් වැළඳිය හැකිය. ඒ නිසාම ඇමෙරිකානු හෘද සංගමය හදවත සුරකින පියවර 7 ක් ජනතාව වෙත ඉදිරිපත් කරනුයේ හෘදයාබාධ අවදානම අවම කිරීමට උදව් වීම සඳහාය. මෙම යෝජනා ඉදිරිපත් කිරීම තුළින් හෘද සංගමය බලාපොරොත්තු වන්නේ තන්තුකවාහිනී රෝග වලින් සිදුවන මරණ ප්‍රමාණය 20% කින් සහ ආඝාතය නිසා ඇතිවන මරණවලින් 20% ක් වර්ෂ 2020 වනවිට නතර කිරීමටය.

මෙන්න ඒ යෝජනා 7 හා ඉන් අපේක්ෂාව

1 වන යෝජනාව

දුම්පානයෙන් වළකින්න. නැතිනම් එය නවතා දමන්න.

අපේක්ෂාව - කිසිදා දුම්පානය නොකිරීම හෝ දුම්පානය නවතා වසරකට වැඩි කාලයක් ගත වීම.

2 වන යෝජනාව

රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරගන්න.

අපේක්ෂාව - නිරාහාර රුධිර පරීක්ෂණය මඟින් රුධිරගත සීනි ප්‍රමාණය රුධිර ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 100 ට වඩා පහතට ගෙන ඒම.

3 වන යෝජනාව

කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරගන්න.

අපේක්ෂාව - රුධිරගත කොලෙස්ටරෝල් මේද ප්‍රමාණය රුධිර ඩෙසිලීටරයකට මිලි ග්‍රෑම් 200 කට වඩා පහතට ගෙන ඒම.

4 වන යෝජනාව

රුධිර පීඩනය පාලනය කරගන්න.

අපේක්ෂාව - රුධිර පීඩනය රසදිය මිලි මීටර් 120/80 මට්ටමේ තබා ගැනිම.

5 වන යෝජනාව

ශරීරයේ බර අඩු කරගන්න.

අපේක්ෂාව - ශරීර ස්කන්ධ දර්ශකය 18.5 - 25 අතර සාමාන්‍ය මට්ටමක තබා ගැනීම.

6 වන යෝජනාව

සක්‍රියව සිටින්න

අපේක්ෂාව - සතියකට මධ්‍යම මට්ටමේ ව්‍යායාම මිනිත්තු 150 ක් හෝ ශරීරය තදින්. වෙහෙසා ව්‍යායාම මිනිත්තු 75 ක කාලයක් යෙදීම.

7 වන යෝජනාව

යහපත් ආහාර ගන්න.

අපේක්ෂාව - පලතුරු, එළවළු, නිවුඩ්ඩ සහිත ධාන්‍ය, මාළු, මේද රහිත මස්, මේදය රහිත කිරි, ඇට වර්ග බහුල ආහාර ගැනීම.

නැගිටින්! ඇවිදින්!

මෙහෙම විධානයක් ඔබට, මට නැතිනම් අපිට දෙන්නේ ඇමෙරිකානු වෘක්කවේදය සඟරාවයි. මෙම සඟරාවේ පළවෙන එක් පර්යේෂණයක ප්‍රතිඵල අනුව එක දිගට පැය ගණනාවක් ඉඳගෙන සිටින අයට එසේ ඉඳගෙන සිටින සෑම පැයකටම වරක් මිනින්තු දෙකක කාලයක් ඇවිදිය හැකි නම් එසේ ඉඳගෙන සිටීම නිසා ඇතිවන සෞඛ්‍යමය හානි අවම කර දිගු දිවියක් හිමිකර දීමට අවස්ථාව සලසයි.

මෙම අධ්‍යනය සඳහා කාලික වකුගඩු රෝගීන් 383 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 3626 ක් ඉදිරිපත්ව ඇත. ඔවුන් අතරින් ඉතා වැඩි දෙනෙක් පැයකට මිනිත්තු 30 -40 ක කාලයක් අකර්මන්‍යව ඉඳගෙන සිටින්නෝ වෙති. අවුරුදු 3 ක කාලයක් තුළ මේ අයට පැයකට මිනිත්තු 2 ක කාලයක් හයියෙන් ඇවිදීමට සැලැස්වීම තුළ ඔවුන් අතර සිදුවන මරණ ප්‍රමාණය 33% කින් පහළ යැවීමට සමත්ව ඇත.

දික්කසාදය හෘදයට අපලද?

“රුධිර සංසරණය - හෘක්වාහිනී ගුණාත්මක භාවය සහ ප්‍රතිඵල” ලෙස නම් ලබා ඇති දීර්ඝකාලීන පර්යේෂණයේ සමහර ප්‍රතිඵල දැන් හෙළිදරව් වී ඇත. එහි එක් ප්‍රතිඵලයකින් පැවසනුයේ දික්කසාද වූ පුද්ගලයන් වැඩි වශයෙන් හෘදයාබාධයන්ට ලක් විය හැකි බවය.

මෙම ප්‍රතිඵලය ඔවුන් ගෙන එනුයේ නිකම්ම නොවේ. යම් දිනයක විවාහකව සිටි වයස අවුරුදු 45 -80 ත් අතර ඇමෙරිකානුන් 16000 ක් අධ්‍යනය කිරීමෙන් පසුවය. අධ්‍යනය සිදු කළ දශක දෙකක කාලය තුළ දික්කසාදයට ලක් වූ කාන්තාවන් සහ තවමත් සිය විවාහය පවත්වා ගෙන යන කාන්තාවන් හා සන්සන්දනය කළ විට සියයට 24 ක ප්‍රතිශතයකින් දික්කසාද වූ කාන්තාවන් හෘදයාබාධයන්ට ලක් වූ බව හෙළි වී ඇත. මේ අතර සමහර කාන්තාවන් දෙවරක් දික්කසාද වූ අවස්ථා ද ඇත. එවැනි අයගේ හෘදයාබාධ අවදානම ඉහළ යාම 77% කි.

දික්කසාද වීමෙන් පසුව නැවත විවාහ වූ කාන්තාවන්ගේ හෘදයාබාධ වැළඳීමේ අවදානම, විවාහ ජීවිතය නොසිඳ ගෙනයන කාන්තාවන්ට වඩා ඉහළ බව මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

දික්කසාද වූ පිරිමින්ගේ තත්ත්වය කෙසේදැයි ඔබ අසනු ඇත. මෙම පර්යේෂකයෝ එයද සොයා බැලූහ. එම ගැටලුවට පිළිතුර වූයේ යහපත් විවාහ ජීවිතයක් ගත කරන පිරිමින්ට වඩා දික්කසාද වූ පිරිමින්ගේ හෘදයාබාධ අවදානම සියයට 30 කින් ඉහළ බවය. එසේ වුවත් යළි විවාහ ජීවිතයට ඇතුළත් වීම තුළින් පිරිමින්ගේ මෙම අවදානම පහව යන බව අධ්‍යයනය පවසයි.

මිටි නම් හෘදයාබාධ වැඩිද?

උසින් අඩු අයට හෘදයාබාධ වැළඳීමේ හැකියාව උඩින් වැඩි අයට වඩා ඉහළ බව කලක සිට කතාබහට ලක් වූවකි. මෙයට හේතුව ලෙස දැන් හෙළිදරව් වී ඇත්තේ ජාන හේතුවෙන් එසේ සිදුවන බවය.

පුද්ගලයන් 200000 ක් අලලා කළ අධ්‍යනයක් මඟින් හෙළිදරව් කර ඇත්තේ සාමාන්‍යයට වඩා අඟල් 2.5 ක් උසින් අඩු අයට හෘදයාබාධයක් වැළඳීමට 13.5% ක ඉහළ හැකියාවක් පවතින බවය. මෙහිදී කිසියම් ජාන බලපෑමක් හේතුවෙන් ධමනි රුධිර නාළ තුළ මේද තැන්පත් වීම සිදුවීම මෙම තත්ත්වයට හේතුව ලෙස සැලකෙයි.