උණ හතුරෙකු නොව මිතුරෙකි

උණ හතුරෙකු නොව මිතුරෙකි

මාවනැල්ල ගමගේ රෝහල

ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ආරියසේන යූ ගමගේ

කෙනෙකුගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 36 සිට 37 දක්වා (ෆැරන්හයිට් අංශක 96.8 -98.6) දක්වා විය හැක. ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37.7 ට (ෆැරන්හයිට් අංශක 100) වැඩි වුවහොත් ඔහුට උණ සෑදී ඇතැයි සිතමු. ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව, ශරීරයේ උෂ්ණත්වයේ සුළු වෙනසක් සිදුවීමට පුළුවන. ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු උදේ පාන්දරම ශරීරයේ උෂ්ණත්වය ද අඩුය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වනවිට ශරීරයේ උෂ්ණත්වය තරමක් වැඩි වෙයි. එපමණක් නොවේ, එකම වේලාවකදී ශරීරයේ විවිධ කොටස්වල වුවද උෂ්ණත්වය සුළු වශයෙන් වෙනස් වන්නට පුළුවන.

“උණ වැඩිවන තරමට රෝගයත් උත්සන්නය” යන්න වැරදි වැටහීමකි. සමහර විට සෙම් ගෙඩි ආසාදනය වූවෙකුගේ උණ ෆැරන්හයිට් අංශක 106 ට නැග තිබෙන විට ඊට වඩා භයානක රෝගයක් වන ලියුකේමියා සහ පෝලියෝවෙන් පෙළෙන දරුවකුගේ උණ එතරම් වැඩි වී නොතිබෙන්නට පුළුවන.

ෆැරන්හයිට් 101 ට සටහන් වි ඇති දරුවාගේ නියුමෝනියාව හෝ මොළයේ උණ අංශක 104 ට සටහන් වූ දරුවාට වඩා අසාධ්‍ය විය හැක. එබැවින් රෝගයේ බැරෑරුම්කම විනිශ්චය කිරීමට උණ හැරෙන්නට අනෙක් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

කෙනෙකුගේ නළලට අත (පිට අත්ල) තැබූ විට ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වී නැත්නම් එය දැනගන්නට පුළුවනි. එහෙත් ශරීරයේ උෂ්ණත්වය මැන ගැනීමේ නිවැරදි ක්‍රමය නම් උණ කටුවක් හෙවත් උෂ්ණත්වමානයක් (Thermometer) භාවිතා කිරීමයි.

උෂ්ණත්වමාන ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.

1. රසදිය උෂ්ණත්වමානය

2. අංක වැටෙන ඉලෙක්ට්‍රොනික් උෂ්ණත්වමානය

3. උෂ්ණත්වය අනුව පාට වෙනස් වන නළලේ අලවන පටියක් බඳු උෂ්ණත්වමානය

උෂ්ණත්වමානය

අප රටේ වැඩිපුර භාවිත කරන, ඒ වගේම ඉතාමත් නිවැරදිව උෂ්ණත්වය සටහන් කරගත හැකි උෂ්ණත්වමානය නම් රසදිය උෂ්ණත්වමානයයි. අවුරුදු 1 1/2 අඩු දරුවන්ගේ උෂ්ණත්වමානය මැනීමට උෂ්ණත්වය ගුද මාර්ගයට ඇතුලු කළ හැක. දරුවන්ගේ වයස අවුරුදු 1 1/2 සිට අවුරුදු 6 දක්වා උෂ්ණත්වමානය කිහිල්ලේ තබා උෂ්ණත්වය සටහන් කළ හැකිය. ඊට පසු දරුවාට දැනුම් තේරුම් ඇති බැවින් උෂ්ණත්වමානය දිව යට තබා උෂ්ණත්වය මැනිය හැකිය.

උෂ්ණත්වමානය නිවැරදිව භාවිතා කරන අයුරු

උෂ්ණත්වය බලන විට රසදිය තැනින් තැන වෙන්වී තිබේ නම් ඔබ කියවන උෂ්ණත්වය වැරදිය.

උණ බැලීමට ප්‍රථම එහි ඉහළ කෙළවරින් අල්ලා රසදිය කඳ සෙන්ටිග්‍රේට් 350 (ෆැරන්හයිට් 950) ලකුණට පහළට යන තුරු පහළට ගසන්න.

කුඩා දරුවකුගේ ගුද මාර්ගයට උණ කටුව ඇතුලු කිරීමට පෙර තෙල් ටිකක් හෝ බේබි ක්‍රීම් ටිකක් රසදිය බල්බයේ ගල්වන්න. උෂ්ණත්වමානය ගුදය තුළට අඟලක් පමණ ඇතුලු කර විනාඩි 2 ක් පමණ තැබීමෙන් පසු උෂ්ණත්වය කියවන්න.

ඔබ මුඛ උෂ්ණත්වය මනින්නේ නම් කට ඇර උණකටුව දිව යට තබා තොල්පට (දත් නොවේ) තද කර පියවන්නට උපදෙස් දෙන්න. උණකටුව මුඛයේ බහා විනාඩි දෙකකට පසු උෂ්ණත්වය සටහන් කරගන්න.

උණකටුව කිහිල්ලේ තබා ද ඔබට උෂ්ණත්වය මැනගත හැක. කිහිල්ල විවෘත වන පරිදි අත ඔසවා උණකටුවේ රසදිය බල්බය කිහිල්ලේ තබා විනාඩි දෙකකට පසු උණ වැඩි වී ඇත්දැයි බලන්න. කිහිල්ලේ උෂ්ණත්වය ශරීරයේ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක දශම 6 ක් හෝ ෆැරන්හයිට් අංශක 1 ක් පමණ අඩු බව මතක තබාගන්න.

දුව පැන සෙල්ලම් කර අවසාන වූ වහාම උෂ්ණත්වය මනින්න එපා. එය වැරදියි.

දරුවාගේ කටේ උණකටුව තබා එහෙම මෙහෙ නොයන්න.

උණ බැලීමෙන් පසුව උණ කටුව සබන් යොදා ඇල් වතුරෙන් සෝදා එහි කොපුවේ බහාලන්න.

උණකටුව කටේදී කැඩුනොත් පරෙස්සමින් එහි කැබලි ඉවත් කරන්න. කටේ ඉතිරි වී ඇති කුඩා කැබලි ගිලින්නේ නැතිව එළියට කෙළ ගසන ලෙස දරුවාට උපදෙස් දෙන්න.

උණ කටුව උණු වතුරේ දමන්න එපා. රසදිය කඳ ප්‍රසාරණය වී එය පුපුරා යා හැක.

උණ රෝගයක් නොවේ. එහි ශරීරයට වැළඳී ඇති රෝගයක් නිසා ඇති වූ රෝග ලක්ෂණයක් පමණි. ශරීරයට ඇතුලු වූ රෝග කාරක විෂබීජයක් සමඟ ශරීරයේ ආරක්ෂක හමුදාවන් සටන් වදින විට ඇතිවන ප්‍රතිඵලයකි. එක අතකින් බලන විට, ඉහළ ගිය උෂ්ණත්වය ශරීරයට හිතකර ප්‍රතිඵලයකි. අනෙක් පැත්තෙන් ඔබට හෝ ඔබේ දරුවාට රෝගය වැළඳී ඇති බවට කල්තියා කරන අනතුරු ඇඟවිමක් ලෙස ද එය සැලකිය හැකිය. රෝගයට කරන ප්‍රතිකාරයක් සමඟ උණ අඩුවන්නේ නැතිනම් එයින් කියාපාන්නේ දෙන ඖෂධ (බොහෝ විට ප්‍රතිජීවක) රෝගකාරක විෂබීජය විනාශ කිරීමට සමත් නොවන බවයි. දවසේදී උණ වෙනස් වන රටාවද රෝගය (මැලේරියාව, උණසන්නිපාතය, ඩෙංගු ආදී වශයෙන්) තේරුම් ගැනීට උදව් වේ.

කෙසේ වුවත් අධික උණ ශරීරයට වේදනාකාරීය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට එමඟින් වලිප්පුව ඇති විය හැක. එයට හේතුව කුඩා දරුවන්ගේ මොළයේ නොමේරූ බවයි. මොළයේ ඇති උෂ්ණත්වය පාලනය කිරීමේ මධ්‍යස්ථානය හොඳින් වැඩි නැති නිසා කුඩා දරුවන්ගේ උෂ්ණත්වය වැඩිහිටියන්ගේ මෙන් නොව එකවර ඉහළ යෑමෙන් වලිප්පුව ඇති වේ.

උණ ගත් දරුවෙකුගේ ශරීරය ආවරණය කර ඇති ඝන රෙදි ඉවත් කරන්න. සැැහැල්ලු කපු ඇඳුමකින් පමණක් ශරීරය ආවරණ්‍ය වන සේ සකසන්න. ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 3900 (පැරන්හයිට් 102.20) ට වැඩි නම් දරුවාට කිසිවක් පොරවන්න එපා.

දරුවාගේ උෂ්ණත්වය සෙන්ටටිග්‍රේඩ් අංශක 40 (පැරන්හයිට් අංශක 104) ට වැඩියෙන් පැය භාගයකට වඩා පවතින්නේ නම් ඇල් මැරූ දිය ප්‍රතිකාරය (ඊඥනඪඤ ඉනධදඨඪදඨ) සුදුසුය. ඇල් මැරූ වතුර මිස සීතල වතුර කිසිවිටෙකත් පාවිච්චි කරන්න එපා. ඇල්වතුර නිසා හමෙහි ඇති රුධිරවාහිනී සංකෝචනය වීම නිසා ඇඟේ උණ රැඳී තිබීමට එය හේතු වේ.

කට ලොකු භාජනයක් (ප්ලාස්ටික් බාල්දියක්, කොප්පයක් වැනි) ගෙන එය ඔබේ අතට සුවදායක රස්නයක් දැනෙන තරමට ඇල් මැරූ ජලය දමාගන්න. එයට ලෙහෙසියෙන් පෙඟෙන ෆ්ලැනල් හෝ තුවා වැනි රෙදි කැබැලි කිහිපයක් දමන්න. වැඩි වතුර මිරිකාගත් තුවායෙන් බෙල්ලෙන් පහළ මුළු සිරුර පුරාම හම රතු පැහැ වන තෙක් තෙත මාත්තු කරන්න. තුවාය රස්නය වන විට ඇල් මැරූ වතුරේ ඇති අනෙක් තුවාය ගෙන ඒ දෙයම කරන්න. ඉන්පසු හම ඉබේ වියලෙන්නට හරින්න. විනාඩි 5 -10 කට පමණ පසු නැවත දරුවාගේ උෂ්ණත්වය බලන්න. එය සෙන්ටිග්‍රේඩ් අංශක 38 (පැරන්හයිට් අංශක 100.4 ට අඩු වී ඇත්නම් ඇල් මැරුණු දිය ප්‍රතිකාරය නවත්වන්න. නොඑසේ නම් විනාඩි 5 කට වරක් උෂ්ණත්වය මනිමින් ඇල්මැරූ දිය ප්‍රතිකාරය දිගටම කරන්න. ඇල් මැරූ දිය ප්‍රතිකාරයෙන් පසු දරුවා සැහැල්ලු කපු රෙද්දකින් ආවරණය කරන්න. දරුවාගේ ඇඟට අධික ශීතල දැනෙන්නට ඉඩ හරින්න එපා. ඇල්මැරූ දිය ප්‍රතිකාරයෙන් දරුවාගේ ශරීරයේ උෂ්ණත්වය අඩු නොවන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යන්න.