අධිකරණ වෛද්‍ය විද්‍යාව

අධිකරණ වෛද්‍ය විද්‍යාව

පියල් මිය ගියේ ත්‍රීවිලරයේ දමාගෙන ගිය ඉරියව්ව නිසයි

අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වෙයි

කොළඹ අධිකරණ වෛද්‍ය ඒකකයේ

විශේෂඥ අධිකරණ වෛද්‍ය

එස්.ඩී. චන්න පෙරේරා

අප කලබල වූ අවස්ථාවල ගන්නා වැරදි තීන්දු තීරණ නිසා අපට මෙන්ම පිටස්තර පුද්ගලයන්ට ද හානි සිදුවන අවස්ථා බොහෝ ඇත. ඇතැම් විටෙක ජිවිතයක් අහිමි වීමේ හැකියාව ද ඇත. මෙවැනි අවස්ථාවල බොහෝවිට සිදුවන්නේ කිසියම් සිදුවීමක් නිසා අප කලබල වීමය. එසේත් නැතිනම් බියට පත්වීමය. මේ ඊට කදිම උදාහරණයක් සපයන සිදුවීමකි. මෙම සිදුවීම වාර්තා වූයේ මීට වසර හත අටකට පමණ පෙර මීගමුවට ආසන්න ප්‍රදේශයකිනි.

පියල් පෞද්ගලික ආරක්ෂක සේවයක රැකියාව කළ අයෙකි. වයස අවුරුදු 50 කට ආසන්න පුද්ගලයකු වූ පියල් ඉතා මිත්‍රශීලි සමාජශීලි අයෙකි. ඔහු මත්පැන් පානයට ද දැක්වූයේ ඇල්මකි. එදා පියල්ගේ අතේ මුදල් යහමින් ගැවසුණු දවසක් විය. සවස රැකියාව නිම වී නිවසට යාමට පෙර පියල් මිතුරකු සමඟ හීන් අඩියක් ගැසීමට ගියේ මීගමුව ප්‍රදේශයේ අවන්හලකටය. රාත්‍රී හත පමණ වූයේ පියල්ටත් මිතුරාටත් නොදැනීමය. ඉක්මනින් නිවසට යාමට පියල්ගේ මිතුරාට අවශ්‍ය විය. ඔවුන් දෙදෙනා රාත්‍රී හත වනවිට අවන්හලෙන් එළියට බැස්සේ එබැවිනි. එහෙත් පියල්ට මත්පැන් පානය කළා මදි වගේය. මිතුරාගෙන් වෙන් වී ටික දුරක් ඇවිදගෙන ගිය පියල් තමන් ඉදිරියට එන ත්‍රීවීලර් රථයකට අත දැම්මේය. ත්‍රීවීලය නැවැත්වූ පසුව එයට නැගගත් පියල් තමන්ව තරමක් දුරින් පිහිටි අවන්හලකට රැගෙන යන ලෙස ත්‍රීවිලර් රියදුරාට කීවේය. ත්‍රීවීල් රියදුරා කරුණාවන්තය. ඔහු වයස අවුරුදු 60 කට ආසන්න පුද්ගලයෙකි. ඔහුද මත්පැන් ලෝලියෙකි.

කරුණාරත්න පියල්ව තම ත්‍රීවීලරයේ දමාගෙනන අසල පිහිටි අවන්හලක් වෙත ගියේය. එසේ වුවද එදින එම අවන්හල වසා තිබිණි. තමාව වෙනත් අවන්හලකට රැගෙන යන ලෙස පියල්, කරුණාරත්නගෙන් ඉල්ලා සිටියේය.. ඒ වන විටත් පියල් සහ කරුණාරත්න තරමක් මිතුරු වී සිටියහ. පියල්ගේ ඉල්ලීමට කරුණාරත්නගේ පිළිතුර වූයේ “එහෙමනම් මහත්තයා මගේ ගෙදර යමු. මගේ ගේ මේ ළඟ තියෙන්නේ. අද අපේ ගෙදර ඉන්නේ මම විතරයි. වයිෆ් දුවත් එක්ක වයිෆ්ගෙ අක්කලාගෙ ගෙදර ගියා වුවමනාවකට. එයාල අද එන්නේ නෑ.” යන්නය. පියල් ඊට කැමති විය. පියල් තවත් අරක්කු බෝතලයක් මිලට ගත්තේය. බයිට් මිලට ගත්තේ කරුණාරත්නය. කරුණාරත්නගේ නිවසට ගිය දෙදෙනා හොඳ හැටි මත්පැන් පානය කළේ රටේ දේශපානය ගැන දිගින් දිගටම කතා කරමිනි.

රාත්‍රී 11.00 පමණ වනවිට බෝතලය හිස් වී තිබිණි. එසේම පියල්ගේ රතු කට්ට පැන තිබිණි. අධික ලෙස මත්පැන් පානය කළ නිසා පියල් සිටියේ සිහි කල්පනාවකින් තොරවය. එහෙත් කරුණාරත්නගේ සිහිය එතරම්ම හොඳ නැති වී නොතිබිණි. පියල්ට කෙලින් සිටීමට බැරි නිසා ඔහුට සාලයේ තිබූ දිගු බංකුවක නිදා ගැනීමට කරුණාරත්න පිළියෙල කර දුන්නේය. පියල් එහි ඇල වූයේ බීමතින් දොඩවමිනි.

පියල් බංකුවේ ඇල වූ පසුව කරුණාරත්න සාලය අස් කොට මුහුණ කට සෝදා ගෙන නිදා ගැනීමට සූදානම් විය. ඒ වනවිට වේලාව රාත්‍රි 12.00 ට පමණ ආසන්න වී තිබිණි. කරුණාරත්න නැවතත් පියල් අසලට ගොස් ඔහු දෙස බලා සිටියේය. පියල් හැල හොල්මනක් නැත. කරුණාරත්න පියල්ගේ ඇඟට තට්ටු කොට කතා කළ ද පියල්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. පියල්ගේ බෙල්ල තිබුණේ ද පැත්තකට හැරීය. කරුණාරත්නට බියක් දැනුණි. ඔහුට සිතුණේ පියල් මිය ගොස් ඇති බවය.

“නන්නාදුනන මිනිහෙක් මගේ ගේ ඇතුලෙදී මැරුණාම මටත් හිරේ යන්න වෙයි.” ඉක්මනින්ම මොනවහරි කරන්න ඕන. කරුණාරත්න සිතුවේය. කරුණාරත්න වහාම ඔහුගේ නිවසට කිලෝමීටරයක් පමණ දුරින් සිටින ත්‍රීවීලර් මිතුරකු කැඳවාගෙන ආවේය. ඔහුගේ ද උදව් ඇතිව තම ත්‍රීවීල් රථයට පියල්ව දමා ගත්තේය. ඒ දෙදෙනාම පියල් ත්‍රී රෝද රථය වෙත ඔසවාගෙන ආවේ ඉතාම අපහසුවෙනි. ඒ පියල් තරමක හැඩි දැඩි පුද්ගලයකු වන නිසාය. මියගොස් මෙන් සිටි පියල්ව ත්‍රී රෝද රථයේ පිටුපස ආසනයට දමා ගත්තේ ඉතාම අපහසුවෙනි. එහිදී පියල්ගේ දෙපා හකුළුවා උදරය පෙදෙසට තදවන සේ තබා ලණුවකින් ගැට ගැසුවේය. එවිට පියල්ගේ ශරීරය තිබුණේ වකුටු වී සිටින ඉරියව්වකිනි. කෙසේ හෝ පියල්ව දමාගත් කරුණාරත්න තම නිවසේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරකින් ඇති කැලෑබද ප්‍රදේශයකට තනිවම පියල්ව ගොස් දැම්මේය. කරුණාරත්න පියල්ගේ සිරුර ත්‍රීවිල් රථයෙන් බිමට ඇද දමා නැවත නිවසට ගියේ කිසිවක් සිදු නොවූවාක් මෙනි.

පසුදා දහවල් වනවිට පොලීසියට දැන ගැනීමට ලැබුනේ කැලෑබද පෙදෙසක බැඳ දමන ලද පුද්ගලයකුගේ මල සිරුරක් තිබෙන බවය. පොලීසිය එතැනට ගියේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි චන්න පෙරේරා මහතාද සමඟය. චන්න පෙරේරා මහතා එවකට සේවය කළේ මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා ලෙසිනි.

පියල් වැටී සිටි තැනට ගොස් සිරුර පරීක්ෂා කිරීමේදී වෛද්‍ය චන්නට පෙනී ගියේ පිටතින් කිසිදු තුවාලයක් සිදු වී නොමැති බවය. පියල්ගේ මෘත ශරීරය මීගමුව රෝහලට රැගෙන ගොස් අවශ්‍ය ශරීර කොටස් පරීක්ෂණ සඳහා ලබා ගැනීමට වෛද්‍ය චන්න ක්‍රියා කළේය. ඉන්පසුව පියල්ගේ සිරුර පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කළේය. මේ අතරතුර ලැබී තිබුණු තොරතුරු සහ වෙනත් සාධක මත පියල්ගේ සිරුර ගෙනැවිත් දැමූ කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. පොලීසියේ විශ්වාසය වූයේ කරුණාරත්න විසින් පියල්ව මරා දමා කැලෑවට ගොස් දමන්නට ඇති බවය. එහෙත් කරුණාරත්න කියා සිටියේ තමන් පියල් සමඟ එකට තමන්ගේ නිවසේදී මත්පැන් පානය කළ බවත් රාත්‍රියේදි ඔහු මියගොස් ඇති බව සැක සිතූ නිසා කැලයට ගෙන ගොස් දැමූ බවය.

වෛද්‍ය විද්‍යාත්මක කරුණු මත පියල්ගේ මරණය පිළිබඳව සොයා බැලූ වෛද්‍ය චන්නට පැහැදිලි වූයේ පියල්ව බැඳ ගෙනැවිත් දමා තිබූ ඉරියව්ව නිසා හුස්ම ගැනීමට අපහසු වීමෙන් පියල්ගේ මරණය සිදු වී ඇති බවය. එසේම පියල්ගේ මරණය සිදු වී තිබුණේ රාත්‍රී 12.00 ට ආසන්න වනවිට බවත් කරුණාරත්නගේ නිවසේදී මරණය සිදු වී නොමැති බවත් වෛද්‍ය චන්නට පැහැදිලි විය. පියල්ගේ රුධිරය පරීක්ෂා කිරීමේදී වෛද්‍ය චන්නට පැහැදිලි වූ තවත් කරුණක් වූයේ පියල්ගේ රුධිරයේ අධික ලෙස මත්පැන් ඇති බවය. එය ඉතා විශාල අගයක් විය. මෙතරම් මත්පැන් පානය කළ විට බාහිරින් පෙන්නුම් කෙරෙන්නේ මියගොස් ඇති ආකාරයෙනි. මෙම තත්ත්වය ඒජජභබඥ ඡ්බඩචදධත ඪදබධයඪජචබඪධද ලෙස හඳුන්වයි. පියල් මියගොස් ඇතැයි කරුණාරත්න අනුමාන කළේ පියල් ඉහත කී තත්ත්වයේ සිටින විටදීය. එම අවස්ථාවේ පියල්ව රෝහල් ගත කළේ නම් පියල්ගේ ජීවිතයට හානියක් නොවේ. එවැනි තත්ත්වයක සිටින පුද්ගලයකු දෙපා උදරයට වදින සේ හකුළුවා බැඳ දැමූ විට උදරය සහ පෙනහළු තද වී හුස්ම ගැනීමට අපහසු වී එම පුද්ගලයා ඉක්මනින්ම මිය යයි. පියල්ට සිදු වූයේද එයමය. කරුණාරත්න විසින් පියල්ව මරා නොදැමුව ද මරණය සැඟවීමේ චෝදනාව යටතේ කරුණාරත්න අත්අඩංගුවට පත් විය. පියල්ගේ මරණයට හේතුව හොඳින් පැහැදිලි වූයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න සිදු කළ පරීක්ෂණයෙන් පසුවය.

මෙම සිදුවීමෙන් පැහැදිලි වන කරුණු කීපයක් ඇත. ඒ මෙවැනි හදිසි මරණයකදී එය සැඟවීමට උත්සාහ නොකළ යුතු බවය. එසේම මහ මගදී හදිසි අනතුරක් සිදු වූ විට තුවලකරු කිසි විටෙකත් හකුළුවා ත්‍රීවිරලයක් වැනි කුඩා වාහනයක් තුළට දමා ගැනීම ඉතාම නුසුදුසු බවය.