මුං ඇට සහ තලවල තිබෙන ඖෂධීය ගුණ ඔබ දන්නවාද?

මුං ඇට සහ තලවල තිබෙන ඖෂධීය ගුණ ඔබ දන්නවාද?

ගත සිසිල් කරන මුං ඇට

බොහෝ කලෙක සිට ලක්වැසියන්ගේ ආහාර පිණිස ගැහැණු ධාන්‍ය වර්ග අතුරෙන් මුං ඇටවලට හිමිවනුයේ බතට දෙවැනි තැන යැයි කිව යුතුය.

මුං කැවුම් සෑදීමේදී ප්‍රධාන වශයෙන් ගැණෙනුයේ මුං ඇට පිටිය. එසේම පොතු හැර පියලි කර පිසගත් විට හොඳ ව්‍යංජනයකි. අතුරුපස කෑමක් සේ හෝ උදෑසන කෑමක් සේ හෝ බත්, මුං ඇට නිතර පාවිච්චියට ගැනේ.

එසේ බොහෝ කාලයක් තිස්සේ ම සිංහල ගැමි කත මුං ඇට ප්‍රයෝජනයට ගනු ලබන්නේ එහි ඇති විශේෂ ගුණ කීපයක් නිසාය.

ගුණ වශයෙන් සලකත හොත් මුං ඇට රුක්ෂ ගුණ යුත් ධාන්‍යයකි. එයින් අදහස් කරනුයේ තෙල් ගතිය රහිත බවයි. ග්‍රාහීය, එනම් මල මුත්‍ර වැඩියෙන් යති නම් එය අඩු කරන ගුණයයි. මෙහි ග්‍රාහි ශබ්දයෙන් මල මුත්‍ර වැඩියෙන් යාම අඩු කරන ගුණය මෙන්ම අධිකව දහදිය දැමීම වළක්වන ගුණය ද සැලකිල්ලට ගත යුතුය.

තදින් දහදිය වැගිරෙන ගතිය උෂ්ණ කාලයේදී හෝ ව්‍යායාම කරන විට හෝ ඇති වේ. එය ලෙඩක් නොවේ. එහෙත් සමහර රෝගවලදී රෝගයේ ලක්ෂණයක් වශයෙන් අධිකව දහදිය වැගිරේ. එසේ අධිකව දහදිය දැමීම නිසා රෝගියා දුබල වේ. මේ ගතිය වැළැක්වීම පිණිස සියුම්ව අඹරා ගත් මුං ඇට පිටි ඇඟ සෑම තැනම ඇතිල්ලීම ආදියේ සිට එන හොඳ වෙදකමකි.

දොස් වශයෙන් බලන විට මුං ඇට සෙම් පීඩා නසන ද්‍රව්‍යයකි. පිත් කෝප ගතිය ද දුරු කරයි. ඉතා හොඳ ශීතල ගුණ යුත් ද්‍රව්‍යයකි. සාමාන්‍යයෙන් ශීත ගුණයෙන් යුත් දෙයින් වාත කෝප ඇති වෙතත් මුං ඇටවලින් ලොකු වාත කෝප කිරීමක් සිදු නොවේ. මේ නිසා මහළු වයසේ අයට වුවද මුං ඇට කෑමට දිය හැකිය. ඇස් රෝගවලට ඉතා හොඳ බේතකි.

සමහර ඇස් රෝග වැළදි අයට රෝගයට නියම පිළියම් කරන අතර පථ්‍යයක් සේ මුං ඇට තම්බා කෑම ගුණ යැයි වෛද්‍යවරු කියති.

රත් පිත් කෝපය නිසා අධික දැවිල්ල, මුත්‍ර දැවිල්ල, තදින් දහදිය වැගිරීම හා සිරුරේ දැවිල්ල ඇතිවිට මුං ඇට තම්බා ගත් වතුර බීම හොඳ වෙදකමකි. මෙබඳු අවස්ථාවලදී අපේ ගම්බද මෑණිවරු මුං ඇට කිරිබත් තනා කන්නට දෙති. මෙය හොඳ බේතකි. රසවත් කෑමකි.

ලේ කෝප වීම නිසා ඇතැම් හමේ රෝග සුවවීම ප්‍රමාද වේ. එබඳු අවස්ථාවලදී ද මුං ඇට තම්බා කෑම හෝ මුං ඇට තම්බා ගත් වතුර බීම හෝ ගුණය. මෙය පිටි ගතිය වැඩි ධාන්‍යයක් නොවේ. ඒ නිසා බඩේ පිපීමක් සිදු නොවේ. එහෙත් පමණට වඩා මුං ඇට කා ව්‍යායාම නොකර එක්තැන්ව සිටියහොත් බඩට බර ගතියක් දැනේ. සුළු ප්‍රමාණයක් කෑමෙන් බඩ පිපීමක් හටගන්නේ නැත. මුං ඇට තැම්බූ වතුර බීමෙන් බඩගින්න වැඩේ.

නිතර නිතර අමාජීර්ණ ගතියෙන් පෙළෙන අයට මුං ඇට කෑ පසු බඩේ පිපීමක් ඇති වීමට ඉඩ තිබේ. උගුරේ සෙම් බඳින ගතිය ඇති වී නිතර උගුර පාදන්නට සිදුවන අයට මුං ඇට කෑම ගුණයි. හෙම්බිරිස්සාව ඇතිවිට, මුං ඇට කෑ පසු පීඩාව වැඩිවන ලෙසක් දැනුනත් එසේ වන්නේ එවේලෙට ශීත ගුණය ඇතිවන නිසාය. එහෙත් හෙම්බිරිස්සාව පැසවූ පසු ඒ අගුණ ගතිය ඇති නොවේ.

සම ඔප කරන තල

මිනිසාට නොයෙක් විදියෙන් පිහිට වන ධාන්‍ය වර්ග කීපය අතුරෙන් තල ද එක් වර්ගයකි. වඩා ගුණ දෙන්නේ කළු තල ය සුදු තල රසයෙන් මෙන්ම ගුණයෙන් ද හීනය.

තල කටේ දමා හපන විට පළමුව තික්ත රසයක් දැනේ. එසේ වන්නේ පොත්තේ ඇති තිත්ත ගතිය නිසාය. පිට පොත්ත හැරගත් විට තල මධුර රස යුක්තයි. මඳක් කසට රසයි. දිරවීමට වැඩි වේලාවක් ගත වේ. තලවල පවත්නා ප්‍රධාන ගුණ අතුරෙන් ඇඟේ හම සිනිඳු කිරීම විශේෂයි. මඳක් උෂ්ණ ගුණ යුක්තයි. සෙම් පිත් නසයි.

දිනපතා කළු තල මිටක් පමණ කන්නේ නම් ශරීරයට බලය ලැබේ. කෙස්වලට හිතකර දේ අතුරෙන් තල ද එකකි. අපේ බොහෝ බෙහෙත් තෙල් සෑදීම පිණිස ගන්නා ප්‍රධාන තෙල් වර්ග කීපය අතුරෙන් තල තෙල්වලට ලැබෙන්නේ මුල් තැනය.

තනිකර තල තෙල් හෝ තල තෙල් සංයෝගව සාදා ගත් තෙල් හෝ හිස ගල්වන විට හිස් සම නිරෝගී වේ. එසේම කෙස් මුල්වලට හොඳ රසායන ගුණයක් ලැබේ. මේ නිසා අකලට කෙස් පැසීමත්, කෙස් හැලීමත් වලකී. එහෙත් වෙනත් විශේෂ ශාරීරික රෝග හේතුවක් ඇතොත් තල තෙල් ගැල්වීමෙන් පමණක් කෙස් නිරෝගීව තබාගත නොහැකියි. හමේ ගොරෝසු ගතිය, කසන ගතිය හා වණ තුවාල ඇතිවිට තනිකර තල තෙල් ගැල්වීමෙන් සෑහෙන ගුණයක් ලැබේ.

කළු තලවල පුදුම අන්දමේ රසායන ගුණයක් තිබේ. මේ නිසා දිනපතා උදෑසන කළු තල මිට මිට කෑමට පුරුදු කරගත හොත් ශරීර කාන්තිය ඇති වේ. සම නිරෝගී වේ. මේ ගුණය ලැබෙන්නේ තද අව්වෙන් හා තද ශීතලෙන් සම ආරක්ෂා කර ගතහොත් පමණි.

තල තෙල් ඇඟේ හා ශරීරය පිරිමදින කතුන් ගේ හමේ අමුතු දීප්තියක් පවතින බව දකින්නට ලැබේ. මේ ගුණය ලැබෙන්නේ තල තෙල් ශරීරය පිරිමැද සබන් නොගා නාන විට යි.

ඇතැම් සබන්වල පවත්නා රසායනික පදාර්ථ හමට හිතකර නොවේ. එසේ වුවද අද සමාජයේ පවතින ජීවන ක්‍රමය අනුව තල තෙල් ගා පිරිමැද සබන් නොගා නෑවහොත් ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදු වේ.

බොහෝ උතුරු ඉන්දියානු කතුන් අද ද සබන් පාවිච්චි නොකරන බව දනිමි. ඒ වෙනුවට සියුම් මැටි වර්ගයක් නාන විට ඇඟේ ගානු දකින්නට ලැබේ. ඇතැම් කාන්තාවෝ කොකුම් පොතු ඇඟේ ආලේප කරති. කොකුම් පොතු වෙනුවට වෙනත් ගස් පොතු කිහිපයක හරය එක්කර තනා ගත් දෙයක් ඇඟේ ආලේප කරති.

තල දත්වලට ඉතා ගුණය. කළු තල කෑමෙන් දත් ආරක්ෂා වේ. එහෙත් විදුරු මස් දියවී දත් සෙලවෙන්නට පටන් ගත් පසු තලවලින් ගුණයක් නොලැබේ. තල තෙලින් කට සේදීම ද ගුණයි.

ශුක්‍ර ශක්තිය හීනව ඇති අයට ද තල ඉතා ගුණයි. තල ප්‍රධානව තනා ගන්නා රසායනික බේත් කෑමෙන් වාජිකරණ ගුණය ලැබේ.

දරුපල නැති අයට ද දිනපතා කළු තල කෑම ඉතා ගුණ යි. දරුවන් බිහි වූ ඇතැම් මවුවරුනට තන කිරි හිඟ වේ. එබඳු අයට ද කළු තල කෑම ගුණයි. කිරි වැඩේ.

ඉදිමුම ඇතිවිට අපේ වෙද මහත්වරුන් විසින් නියම කෙරෙන ඇතැම් බෙහෙත් පත්තුවලට අනිවාර්යයෙන්ම තල එක්වන බව පෙනේ. තල ආලේපනයෙන් ගෙඩි වණ නිසා ඇතිවන ඉදිමුමත්, වේදනාවක් අඩු වේ. හොඳ කළු තල ඇට සපයා ගැනීම අපහසු නම් ඉතා හොඳ තල තෙල් තේ හැන්දක් පමණ දවසේ කවර වේලාවක හෝ ගත හැකියි. ආහාර සකස් කර ගැනීමේදී තල තෙල් යොදා ගැනීම ද ගුණදායකය.

වාත වේදනා ඇති විට පීඩාව ඇති තැන උණු වතුරෙන් තවා තෙත හිඳුනාට පසු තල තෙල් ගා පිරිමැදීම ගුණදායකය.

රාජකීය පණ්ඩිත විලියම් අල්විස් මහතාගේ එළවළු ගුණ කෘතිය ඇසුරිනි