විශේෂඥ වෛද්‍ය හමුව

විශේෂඥ වෛද්‍ය හමුව

ආතරයිටිස් රෝගය පිළිබඳ ගැටලු රැසකටම පිළිතුරු

සන්ධි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ

සන්ධි රෝග ගණනාවකි. ආතරයිටිස් ඉන් ප්‍රධාන ස්ථානයක් ගනී. වේදනාවත් සමඟ අත්වැල් බැඳගෙන ජීවිතයට වධ දෙන රෝග අතරින් ‘ආතරයිටිස්’ රෝගය පෙරමුණේම ඇත. ‘ආතරයිටිස්’ යන තනි වචනයෙන් හැඳින්වුවද, සියයකට අධික රෝග කාණ්ඩ ගණනාවක් මීට අයත් වෙයි. අද අප විශේෂඥ වෛද්‍ය හමුවෙන් ඔබ වෙත ගෙන එන්නේ ආතරයිටිස් රෝගය පිළිබඳ ගැටලු රැසකට විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ මහතා ලබාදුන් පිළිතුරුය.

ආතරයිටිස් රෝගය වැඩිවීමට කන කෑමවල බලපෑමක් තිබෙනවාද?

ආතරයිටිස් රෝගය උත්සන්නවීමට හෝ සුවවීමට, ගන්නා ආහාරවල බලපෑමක් ඇත්තේ නැත. එසේම සන්ධිවල තිබෙන කාටිලේජ වර්ධනය කරන ආහාර වර්ගද නැත. සමබල ආහාරවේලක් ගැනීම ආතරයිටිස් රෝගියකුට අත්‍යාවශ්‍ය වේ.

මෙහිදි වඩාත්ම වැදගත් වන්නේ උසට සරිලන බරක් පවත්වා ගැනීමයි. ගන්නා ආහාර වර්ගය කෙසේ වෙතත් අධික ලෙස ආහාර ගැනීම ආතරයිටිස් මෙන්ම අනෙකුත් සන්ධි රෝග වර්ධනයවීමට හේතුවකි. ඒ, ශරීරයේ අධික බර සන්ධිවලට සෘජුවම බලපාන බැවිනි. යමෙකුගේ ශරීරය තරබාරු වූ විට එම තැනැත්තාගේ සන්ධිවලට අමතර බරක් අමතර පීඩනයක් දැරීමට හේතුවේ. එය ආතරයිටිස් රෝගය නිසා ඇතිවන වේදනාව අපහසුතා වර්ධනයවීමට හේතුවකි. ආතරයිටිස් රෝගීන්ට වෛද්‍යවරු විසින් සීනි, තෙල් අධිකව අඩංගු ක්‍රීම්, චීස්, රතු මස් වැනි ආහාර ගැනීමෙන් වළකින ලෙස උපදෙස් ලබාදෙන්නේ ඒනිසාය.

ආතරයිටිස් රෝගීන් එළවළු, පළතුරු, සම්පූර්ණ පොත්ත සහිත ධාන්‍ය වැඩියෙන් කෑමට එක්කර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන්නේ ඒ නිසාය. රූමටොයිඩ් ආතරයිටිස් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ඔමේගා - 3 රසායනිකය එක්තරා ඖෂධයකි. ඒ, රෝගය නිසා ඇතිවන අපහසුතා වලින් සහනයක් ලැබීමට ඔමේගා - 3 උපකාර වන නිසාය. මුහුදු මසුන් වැඩිපුර ආහාරයට ගන්නා ලෙස උපදෙස් ලබාදෙන්නේ ඒ නිසාය. හුරුල්ලන්, සැමන් වැනි මසුන් තුළ ඔමේගා - 3 රසායනිකය බහුලව අඩංගුය.

ආතරයිටිස් රෝගීන් ව්‍යායාම කිරීම සුදුසුද?

වේදනාව සහ රෝගය වැඩිවේ යැයි බියෙන් ව්‍යායාම නොකිරීම, ක්‍රියාකාරි නොවීම නිසා සිදුවන්නේ රෝගියාගේ තත්ත්වය තවත් පිරිහීමයි. ආතරයිටිස් රෝගයට අමතරව තවත් බෝනොවන රෝග රැසක්ම ඇතිවීමේ අවධානම ව්‍යායාම නොකිරීමෙන් ඉහළ යයි. ව්‍යායාම නොකළ විට, ක්‍රියාකාරි නොවූ විට මාංශපේශි අවට පටක වඩ වඩාත් දුර්වල වෙයි. සන්ධි තිබෙනවාටත් වඩා දැඩි වෙයි. වේදනාව දරා ගැනීමේ හැකියාව අඩුවෙයි. ශරීරයේ සමබරතාවයද ගිලිහී යයි. ව්‍යායාමවල නිරතවන ක්‍රියාශීලීව කටයුතු කරන ආතරයිටිස් රෝගීන් එසේ නැති රෝගීන්ට වඩා යහපත් සෞඛ්‍ය තත්ත්වයකට හිමිකම් කියයි. ඔවුන් ප්‍රීතිමත්ය. වැඩි ආයු කාලයක් භුක්ති විඳියි. වේදනාවේ අඩුවීම් අත්දකියි. සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩ කටයුතු කිරීම ඔවුන්ට පහසුය. සන්ධි වටා ඇති මාංශපේශි ශක්තිමත්වීම, සන්ධිවල ශක්තිය පවත්වාගෙන යාමට උපකාරවීම, දවසපුරා ප්‍රබෝධයෙන් සිටීමට ශක්තිය ලැබීම, සුවදායක නින්දකට මගපෑදීම, උසට සරිලන බරක් පවත්වාගෙනයාමට පහසුවීම ආතරයිටිස් රෝගීන් ව්‍යායාම කිරීමෙන් අත්කරගන්නා ප්‍රතිලාභ අතරින් කීපයකි.

ශීත කාලයේදී ආතරයිටිස් රෝගය වැඩිවනවාද?

ශීත කාලයේදී ආතරයිටිස් රෝගය වැඩිවෙනවා යැයි කීම නිවැරදි නැත. නමුත් සාමාන්‍යයෙන් රෝගියා ජීවත්වන පරිසරයෙන් මිදී අඩු උෂ්ණත්වයක් ඇති, ආර්ද්‍රතාවය අඩු ප්‍රදේශයකට ජීවත්වන විට ආතරයිටිස් රෝගයේ වෙනස්වීම් දක්නට ලැබේ. මෙය සෑම අතරයිටිස් රෝගියෙකුටම බලපාන කරුණක් නොවේ. එහෙත් ඇතැම් ආතරයිටිස් රෝගීන් පරිසරයේ උෂ්ණත්ව වෙනස නිසා අපහසුතාවයන්ට පත්වනු දක්නට ලැබේ. වායුසමනය කළ කාර්යාලවල සේවය කරන ආතරයිටිස් රෝගීන්ට වායුසමනය යන්ත්‍රය නිසා ලැබෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 වැනි අගයක පවත්වාගෙන යන ලෙස උපදෙස් ලබාදෙන්නේ එබැවිනි.

ආතරයිටිස් රෝගය සඳහා දීර්ඝකාලීනව ගන්නා වේදනා නාශක මඟින් ශරීරයට බලපෑමක් එල්ල වෙනවාද?

කුමන රෝගාබාධයක් සඳහා හෝ දීර්ඝ කාලීනව වේදනා නාශක ගන්නාවිට වුවත් හෘදයට අන්ත්‍රවලට මෙන්ම වකුගඩුවලටත් බලපෑමක් එල්ල විය හැකියි. ආතරයිටිස් රෝගයේදී වේදනානාශක නිර්දේශ කිරීමට පෙර ව්‍යායාම මඟින්, නිවැරදි ඉරියව් මඟින්, ශරීර බර අඩු කිරීම මඟින්, එන්නත් ක්‍රම මඟින් වේදනාව සමනය කර ගැනීමට රෝගීන්ට පළමුව උපදෙස් ලබාදෙයි. එසේම නියමිත මාත්‍රාව ගැනීමෙන් ශරීරයට කිසිදු හානියක් නොවන පැරසිටමෝල් මෙන්ම කොඩේන් අඩංගු ඖෂධ ලබාදී වේදනාව නැතිකිරීමට කටයුතු කරනු ලබයි. ස්ටීරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහමය ඖෂධ (NSAID) වන iclofenac, Ibuprofen, Naproxen Celecoxib වැනි ඖෂධ නිර්දේශ කරන්නේ ඉහතින් සඳහන් කළ ක්‍රම මඟින් වේදනාව සමනය නොවන විටදීය. එසේම මෙම වේදනා නාශක ලබාදෙන්නේ කෙටිකාලීනවය. එහෙත් ඇන්කිලෝසිං ස්පොන්ස්ඩිලිටිස් (Ankyslosing Spondylitis) වැනි රෝග තත්ත්වයකදී දීර්ඝ කාලීනව වේදනා නාශක ලබාදීමට සිදුවේ.

ආතරයිටිස් රෝගයෙන් වැළකී සිටිය නොහැකිද?

බොහෝ ආතරයිටිස් වර්ග බොහෝවිට ජානමය උරුමයන්ය. එම නිසා ජාන උරුමය වැළැක්වීමට කිසිදු ක්‍රමයක් නැත. උසට සරිලන බරක් පවත්වාගෙන යාමෙන්, ක්‍රමානුකුලන ලෙස ව්‍යායාම කිරීමෙන්, එදිනෙදා වැඩකටයුතු කිරීමේදී නිවැරදි ඉරියව් පවත්වාගෙන යාමෙන්, ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට යම් තරමකට වැට බැඳිය හැකිය. මෙහිදී සන්ධිවලට සිදුවන අනතුරු වළක්වා ගැනීම ඉතාම වැදගත් වේ. ක්‍රීඩා කිරිමේදී සන්ධිවලට අනතුරුවිය හැකි ක්‍රියාකාරකම්වල යෙදීමේදී ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළයුතුය.

ප්‍රතිශක්ති ආතරයිටිස් (Immune Arthritis පාලනය කිරීමේදී කාටිලේජ්වලට වන හානිය වැළැක්වීමට ප්‍රතිශක්තියෙහි වෙනසක් සිදුකරන ඖෂධ ලබාදීම වැදගත්ය. ආතරයිටිස් රෝග කාණ්ඩයට අනුව පාලනය කරන ක්‍රමද වෙනස් වෙයි. කෙසේ වුවද ආතරයිටිස් රෝගය සුවකිරීමට නිශ්චිත ඖෂධයක් නැති වුවද එය මට්ටු කළ ආකාරයේ ක්‍රම රැසක්ම ඇත.

ආතරයිටිස් රෝගයේ එක් ප්‍රතිකාරයක් ලෙස සන්ධිවලින් තරල ඉවත් කිරීම

ශරීරයට හානිකරද?

ආතරයිටිස් රෝගීන්ගේ සන්ධිවල ඇති තරලයෙහි සුදු රුධිරානු සෛල අධිකව අඩංගුය. කාටිලේජ සහ සන්ධිවලට හානිකරනු ලබන්නේ මේවායි. රෝගියාගේ සන්ධි තරල ඉවත් කිරීමෙන් පසුව වෛද්‍යවරයා ස්ටීරොයිඩ් ඖෂධ සන්ධියට එන්නත් කරනු ලබන්නේ සන්ධියේ තරල පිරීම වැළැක්වීමටය. ඉන් රෝගියාට ලැබෙන්නේ අසීමිත සහනයකි. එපමණක් නොව ඉන් සන්ධියට සහ කාටිලේජයට හානිවීම වැළකී යයි. සන්ධියෙන් තරල ඉවත් කළද යළි සන්ධියේ තරල පිරීමේ අවදානමක් පවතී. ඒ සන්ධියේ තරල ගත් නිසා නොවේ. රෝගයේ ස්වභාවය එයයි.

ආතරයිටිස් රෝගයේදී සන්ධිවලට එන්නත් කිරීම ඉතා වේදනාකාරිද?

නැහැ. එය වේදනාකාරි අත්දැකීමක් නොවෙයි. එන්නත් කිරීම ඉතාම ආරක්ෂාකාරි ප්‍රතිඵලදායක ප්‍රතිකාරයකි. එන්නත් කරන්නේ කාටිලේජවලට හෝ අස්ථියට නොවේ. ඒ අතර ඇති අවකාශයටයි. එබැවින් මෙම එන්නත් කිරීම කිසිසේත්ම වේදනාකාරි වන්නේ නැත.

උදෑසන අවදිවන විට සන්ධිවල තදගතියක්, වේදනාවක් දැනෙන්නේ ඇයි?

ඔස්ටියෝ ආතරයිටිස් රෝගයේ ප්‍රධානම රෝග ලක්ෂණයක් වන්නේ උදෑසන අවදිවන විට සන්ධිවල ඇතිවන වේදනාවය. එම වේදනාව මිනිත්තු 30 ක පමණ කාලයක් පැවතිය හැකිය. ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට බොහෝවිට මුල පිරෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ විටය. සමහරවිට සන්ධි ඇල්ලීමටත් බැරිතරම් වේදනාකාරි විය හැකිය. හිටිහැටියේම වේදනාව වැඩි වන්නේ මෑතදී සිදුවූ අනතුරක් හෝ ස්ඵටික තැන්පත්වීම වැනි හේතුවක් නිසා විය හැකිය. උදෑසන අවධි වූ විට සන්ධිවල ඇතිවන වේදනාව ක්‍රියාකාරි නොවී සිටින විට දවස පුරා වරින්වර ඇතිවීමේ හැකියාව ඇත. ඇතැමුන්ට කාලගුණය අනුවත් රෝග ලක්ෂණ වෙනස් විය හැකිය.

මෙම රෝගයේ රෝග ලක්ෂණවලින් සහනයක් ලබා ගැනීමට කුමක් කළ යුතුද?

ප්‍රධාන වශයෙන්ම සන්ධිවල වේදනාව දරුණු වූ විට මිනිත්තු කීපයක් විවේකගත යුතුය. එහෙත් දිගු වේලාවක් විවේක ගැනීම සුදුසු නැත. ඒ මාංශ පේශි දුර්වලවී වේදනාව දරුණු විය හැකි නිසයි. සන්ධිවල ඇතිවෙන වේදනාවෙන් මිදීමට ව්‍යායාම කිරීම ඉතා වැදගත්ය. එසේම හොට්පැක්ස් හෝ කෝල්ට් පැක්ස් වේදනාව ඇති තැනට තැබීමෙන් සහනයක් ලද හැකිය.

ඖෂධීය ආලේපන ජෙල් ආදිය මඟින් රෝගීන්ට සහනයක් ලබාගත හැකිය. ඒ මඟින් සහනයක් නොලැබේනම් කෝටිකෝස්ටිරොයිඩ් ඖෂධ සන්ධියට එන්නත් කිරීමට සිදුවේ.

ආතරයිටිස් රෝගයෙන් පෙළෙන තරුණියකට මවක් වීමට නොහැකිද?

මීට කලකට පෙර නම්, ආතරයිටිස් වැනි රෝගයකින් පීඩා විඳීම මවකවීමේ වාසනාව අහිමි කළ කරුණක් විය. එහෙත් දැන් සන්ධි රෝග වෛද්‍යවරයාගේ සහ නාරි හා ප්‍රසවවේදී වෛද්‍යවරයාගේ එකමුතුවෙන් බොහෝ ආතරයිටිස් රෝගී මව්වරු සාර්ථකව දරුවන් බිහිකරති. සාර්ථක යන වචනයේ තේරුම කිසිදු ගැටලුවක් නැති බව නොවේ.

මෙහිදී ගර්භනී කාන්තාවට සහ කුස තුළ සිටින දරුවාට යම් යම් සංකූලතා ආතරයිටිස් රෝගය නිසා ඇතිවිය හැකි අතර ඒවාට වෛද්‍යවරයාත් රෝගියාත් කල් ඇතිව සූදානම් විය යුතුය. ආතරයිටිස් රෝගය කිසි ලෙස පාලනය නොකර මවකවීම සුදුසු නැත. රෝගය හොඳින් පාලනය වූ පසුව සන්ධි රෝග පිළිබඳ වෛද්‍යවරයා සමඟ සහ නාරි සහ ප්‍රසව වේදය පිළිබඳ වෛද්‍යවරයා සමග ගැබිනියකවීම පිළිබඳව සාකච්ඡා කළ යුතුය.

ආතරයිටිස් රෝගය සඳහා ගනු ලබන ඇතැම් ඖෂධ කුසෙහි වැඩෙන දරුවාට අහිතකර විය හැකිය. නිසි පරිදි මවගේ ආතරයිටිස් රෝගය පාලනය නොවුනහොත් ගැබිනි සමයේදී මවට සහ කුස තුළ සිටින දරුවාටද හානි සිදුවිය හැකිය. ඊට අමතරව වකුගඩු ආබාධය තදින්ම ඇති, අධි රුධිර පීඩනය පාලනය නොකළ කාන්තාවන්ට ගැබ් නොගන්නා ලෙස වෛද්‍යවරයා උපදෙස් ලබාදිය හැකිය.

කුඩා දරුවන්ටත් ආතරයිටිස් රෝගය වැළඳෙනවාද?

කුඩා දරුවන්ටත් මෙම රෝගය වැළඳේ. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට ආතරයිටිස් රෝගය වැළදේ. දරුවන්ට වැළඳෙන ආතරයිටිස් රෝගය විවිධ නම් වලින් හඳුන්වයි. ජුවෙනයිල් රුමෙටොයිඩ් ආතරයිටිස් (Juvenile Rheumatoid Arthritis), ජුවෙනයිල් ඉඩියොපතික් ආතරයිටිස් (Juvenile Idiopathic Arthritis) නම් ද ඊට ඇතුළත් ය.

ළමා වියේදී දිගින් දිගටම සන්ධි ප්‍රදාහයට (Inflammation) පත්වීම දරුවන්ට වැළඳෙන සියලුම ආතරයිටිස් වර්ගවල පොදු ලක්ෂණයයි. ප්‍රදාහය ඇරඹෙන්නේ වයස අවුරුදු දහසය පිරීමට පෙරදීය. එක් සන්ධියක් හෝ සන්ධි කීපයක් ප්‍රදාහයට පත්වන අතර උණ, පලු දැමීම, ඇස් රතුවීම වැනි ලක්ෂණ පෙන්වයි.

ප්‍රතිශක්තිකරන පද්ධතිය නිසි ලෙස ක්‍රියා නොකිරීම සන්ධිවලට බලපා ප්‍රදාහ ඇතිවේ. ප්‍රදාහය දිගටම පවතිනවිට සන්ධිවලට හානි සිදුවේ. (ප්‍රදාහයක් යනු ශරීරයේ කිසියම් කොටසක් රතුවී, ඉදිමී, උණුසුම්වී, වේදනාකාරිවීමය) දරුවන් දහසකගෙන් එක් අයකු කුමන හෝ ජුවෙනයිල් ආතරයිටිස් කාණ්ඩයකට ගොදුරු විය හැකිය. දරුවන් වෙතින් රෝගය හදුනාගැනීම දුෂ්කර වන්නේ මුලින්ම සන්ධි වේදනාවක්, ඉදිමුමක්, ගැන කිසිදු පැමිණිල්ලක් නොකරන නිසාය. මෙහිදී රෝගය හඳුනා ගත හැකි එකදු රුධිර පරීක්ෂණයක් හෝ නැත. එබැවින් දරුවා බාහිරව පරීක්ෂා කිරීමෙන් රෝග ඉතිහාසයෙන් සහ වෙනත් ලක්ෂණවලින් එනම්,

දරුවා කොර ගසමින් ඇවිදීම.

ඇවිදින විට සන්ධිවල තද ගතියක් දැනීම.

අත් පා සෙලවීමට අපහසුවීම.

ළමයාගේ ක්‍රියාකාරීත්වය අඩුවීම.

දිගින් දිගටම උණ පැවතීම.

සන්ධි ඉදිමීම වැනි රෝග ලක්ෂණයන්ගෙන් දරුවාට ආතරයිටිස් රෝගය ඇති බව නිගමනය කළ හැකිය.

ආතරයිටිස් රෝගය සඳහා භෞතචිකිත්සක ප්‍රතිකාර කෙතරම් ප්‍රයෝජනවත්ද?

භෞතචිකිත්සකව (Physiotherapy) සහ වෘත්තිය චිකිත්සාව (Occupational Therapy) යන ප්‍රතිකාර ක්‍රම ආතරයිටිස් රෝගයෙන් පෙළෙන්නන්ගේ වේදනාව අඩු කිරීමටත් සන්ධිවල ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වාගෙන යාමටත් උපකාරී වේ. කළ යුත්තේ කුමන චිකිත්සාවද, එය කොපමණ කාලයක් කළ යුතුද යන්න තීරණය වන්නේ රෝගයේ ස්වභාවය අනුවය.

සන්ධිවලට හානි නොවී සන්ධිවල තද ගතිය නැතිකිරීමට භෞත චිකිත්සකවේදියා රෝගියාට උපකාර කරයි. මෙමගින් යළිත් එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට රෝගියාට අවස්ථාව ලැබේ. භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් ආසාදිත සන්ධි අවට ඇති මාංසපේශි සවිමත් කරයි. සවිමත් මාංසපේශි සන්ධි දුර්වලවීම වළක්වාලයි.