විවාහයට පෙර මේ ගැනත් සිතන්න

විවාහයට පෙර මේ ගැනත් සිතන්න

බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේ

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශමිත දසනායක

* ස්ථුලත්වය අඩු කරගත යුතුයි.

* ආහාර පාලනය සිදු කරගත යුතුයි

* ව්‍යායාමවල යෙදීම සිදු කළ යුතුයි.

* බොහෝදුරට මේ ක්‍රම අනුගමනය තුළින් ඔබගේ

ස්ථුලත්වය නිසා ඇතිවන අවදානම අවම කරගත හැකියි.

බෝ නොවන රෝග අද වැඩි වශයෙන් දැකිය හැකිවන්නේ කාන්තාවන් අතර කිව්වොත් එය නිවැරදියි. දැයක් නඟා සිටුවන්නට ජීවය දෙන කාන්තාව නම් නිරෝගීව සිටිය යුතුයි. නමුත් අද ඇය පත්ව ඇති මේ තත්ත්වය මත අනාගතයේදී නිරෝගී ප්‍රජාවක් බිහි කිරීම ගැන සිතිය හැක්කේ හීනයෙන් පමණක් බවයි පැවසිය යුතු වන්නෙ. ලෝකයේ පැවැත්මට ප්‍රජනනය සිදු කරන ඇය කුඩා අවධියේ පටන් ඊට සරිලන සේ පෝෂණය කළ යුත්තේ දෙමාපියන් විසිනි. තම දියණියව කුඩාම කල පටන් ආහාර පානයෙන් හා නිවැරදි ජීවන රටාවට හුරු කිරීමෙන් අනාගතයේදී නිරෝගී කාන්තාවක් ලෙස සමාජයට දායාද කළ හැකිය.

නිරෝගී ප්‍රජනනයක්

තම දියණිය අනාගතයේදී දරුවකු ප්‍රසූත කරන්නට සැලසුම් කරයි නම් ඇයගේ නිරෝගි බවට පළුදු ඇති නොවිය යුතුයි. ඇය කායික හා මානසික වශයෙන් ස්වතාවය වර්ධනය කරගත යුතු වන අතර එය මනාලෙස පූර්ණ කළ යුතුව ඇත. නමුත් වර්තමානයේ එය සිදුවන්නේ ඉතාමත් අල්ප වශයෙනි. මන්ද යත් වර්තමාන ජීවන රටාව කර ඇති වෙනස ඊට හේතුවයි.

* අධිකව පවතින මානසික පීඩනය

* කාර්යබහුලත්වය මත පැන නඟින ආතතිය (Stress)

* වෙහෙසකාරී බව

* සමාජයේ විවිධ ලෙස පවතින තරඟකාරී බව වැනි කරුණු නිසා බොහෝවිට මානසික ආතතිය ඇති වේ.

මානසික ආතතිය බෝ නොවන රෝග ඇතිවීමට බොහෝ සෙයින් බලපානු ඇත. ඉහත කරුණු එය ඇතිවීම කෙරෙහි විශේෂයෙන් බලපායි.

මල්වර වීමත් සමඟ ඇතිවන වෙනස්කම්

නව යොවුන් වියත් සමඟ ඇතිවන මල්වරය දියණියගේ ජීවිතය එක්තරා සන්ධිස්ථානයකි. එහිදී ඔසප් චක්‍රය නිසි ආකාරයට දින 28 ට වරක් වීම සිදු වේ නම් සිරුරේ මනා ක්‍රියාකාරීත්වයක් ඇති බව කිව හැකියි.

ඔසප් චක්‍රය අක්‍රමවත්

ගර්භාෂයේ හා ඩිම්බ කෝෂ ආශි‍්‍රතව ඇතිවන ගැටලුකාරී තත්ත්වයන් හෝ හෝර්මෝනවල සිදුවන වෙනස්කම් ඔසප් චක්‍රය අක්‍රමවත් බවට හේතුයි. ඊට අමතරව මානසික බලපෑම ද මීට එකතු වේ. උදාහරණ ලෙස පදිංචිය වෙනස්වීම් (හොස්ටල්වල සිටීම) විභාගවලට මුහුණ දීම වැනි කරුණු ගත හැකියි.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට ශරීරයේ පවතින හොර්මෝනවල සිදුවන වෙනස්වීම් හේතුවේ. ඒ අනුව  TSH, FSH, LH වැනි හොර්මෝනවල සිදුවන අසමබරතාවය නිසා මේ තත්තවය උද්ගත වනු ඇත. මෙහිදී ඩිම්බ කෝෂවල Polysistic Ovarion Syndrom  යන රෝගී තත්ත්වය නිසා මෙය බහුලව දැකිය හැකියි.

ඔසප් චක්‍රය ක්‍රමවත්ව

තබා ගැනීමට

* ස්ථුලත්වය අඩු කරගත යුතුයි.

* ආහාර පාලනය සිදු කරගත යුතුයි

* ව්‍යායාමවල යෙදීම සිදු කළ යුතුයි.

බොහෝදුරට මේ ක්‍රම අනුගමනය තුළින් ඔබගේ ස්ථුලත්වය නිසා ඇතිවන අවදානම අවම කරගත හැකියි. වර්තමානයේ ඇතැම් අවස්ථාවලදී හෝර්මෝන සහිත පෙති ලබාදීම මඟින් මෙය ක්‍රමවත්ව සකසා ගැනීම සිදු කරයි. ඒ සඳහා උදාහරණ ලෙස “මිතුරී” පෙති ලබාදීම සිදු වේ. ඔසප් චක්‍රය ක්‍රමවත් ව පවත්වා ගැනීම සඳහා ද “මිතුරී” වැනි හෝර්මෝන පෙති ලබාදීම ද සිදුකෙරේ. මෙහිදී සිදුවන්නේ අසමබර වූ හෝර්මෝනය නැවත යථා තත්ත්වයට පත් කිරීමයි. කාන්තාවක් ගර්භණී භාවයට පෙර බොහෝ කරුණු ගණනාවක් ගැන සැලකිලිමත් වීම වැදගත්ය. තමා අනාගතයේ මවක් ලෙස මුහුණ දීමට සිදුවන නිසා පෝෂණීය තත්ත්වයෙන් පිරි ආහාර පාන ලබා ගැනීම හා නිවැරදි ව්‍යායාම සිදු කිරීම වැනි ක්‍රියාදාමයන් කුඩා අවදියේ පටන් පෙළ ගැසී තිබිය යුතුයි.

විවාහ වීමට සිටින කාන්තාවක් දැනගත යුතු දේ

බෝ නොවන රෝග කාන්තාවන්ට බහුලව පවතින නිසා ඒ සම්බන්ධව පරීක්ෂා කර ගැනීම විශේෂයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, මේදය අධික වීම, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම්, රක්ත හීනතාවය වැනි බෝ නොවන රෝග ගැටලු ගැන උනන්දු වී සොයා බලා ගැනීම මෙහිදී වැදගත් වේ. එසේම හෘදය ආශි‍්‍රත රෝග හා තැලසීමියා රෝගය ගැන පරීක්ෂාවන්ට ලක් කිරීම හා සැලකිලිමත් වීම කළ යුතුයි.

දියවැඩියාව

විශේෂයෙන් රුධිර පරීක්ෂාවක් මාර්ගයෙන් මෙය හඳුනාගත හැකියි. මේ සඳහා FBS, PPBS, HbA1c වැනි පරීක්ෂණ භාවිතා කෙරේ. මෙහිදී ඔබට දියවැඩියා රෝග ලක්ෂණ ඇත්නම් එක් රුධිර පරීක්ෂාවක් ද එසේ නොමැති නම් රුධිර පරීක්ෂා 2 ක් ද කිරීම අවශ්‍ය වේ. කේශනාලිකා තුළින් ලබා ගන්නා රුධිරය (Capillary blood) මේ සඳහා සුදුසු නොවේ. මෙම පරීක්ෂාවන් මඟින් දියවැඩියාව වැලඳී ඇති බව හෝ වැලඳීමේ අවදානමක් සහිත පුද්ගලයෙකු ද බව හඳුනාගත හැකියි. FBS - 100ml/dl  ට වඩා අඩු නම් එය සාමාන්‍ය නිරෝගී තත්ත්වයයි. 100 ml/dl - 121ml/dl  අතර නම් අනාගතයේදී දියවැඩියාව වැළඳීමේ අවදානමක් සහිත අයකු ලෙස හඳුනාගත හැකියි. අදාළ වෛද්‍ය උපදෙස් මඟින් එම තත්ත්වය පාලනය කරගත යුතුයි.

අධි රුධිර පීඩනය

විශේෂයෙන් මානසිකව ඇතිවන පීඩාකාරී බවේ දැඩි කම මත අධි රුධිර පීඩනය ඇති වේ. කාන්තාවට මේ තත්ත්වය විශේෂයෙන් බලපාන්නේ ඔවුන්ට පැවරී ඇති කාර්යයන් බහුලවීම නිසාය. එනමුත් කිසිදු පීඩාවක් හෝ කායික බලපෑමක් නොමැතිව රුධිරයේ පීඩනය වැඩි විය හැකියි. එසේ වීමට හේතු වන්නේ ජානමය හේතු හෝ නොඑසේ නම් අධික ලෙස තම ආහාරයට ලුණු එකතු කර ගැනීම නිසයි. අවුරුදු 40 ට වඩා අඩු අයට මෙම තත්ත්වය ඇති වේ නම් ඒ සඳහා හෘදයාශි‍්‍රත හා වකුගඩු රෝග හෝ හෝර්මෝන පිළිබඳ ගැටලු බලපෑ හැකියි. මේ අනුව ව්‍යායාම කිරීම හා ලුණු භාවිතය ගැන සැලකිලිමත් වීම සුදුසු කරුණකි. මීට අමතරව වෛද්‍ය පරීක්ෂණවලට යොමුවීම ඉතා වැදගත්ය.

මේදය අධික වීම

ගර්භණි අවධියේදී තෙල් අධිකව තිබීමෙන් ඒ සඳහා තිබෙන සංකූලතා මැඩ පැවැත්වීමට ඖෂධ ලබාදිය යුතුයි. නමුත් එවැනි ඖෂධ ලබාදීම මේ අවස්ථාවේදී සුදුසු නොවේ. එබැවින් කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා ගර්භණී වීමට පෙර උනන්දු විය යුතුයි. Saturated fat  (සංතෘප්ත මේදය) සහිත අඩංගු ආහාර ගැනිම සිරුරේ මේදය අධික වීමට හේතුවන බැවින් ඒවා බහුලව අඩංගු බටර්, චීස්, මාගරින් වැනි ආහාර ගැනීම සුදුස නොවේ. තන්තුමය ආහාර වැඩි කර ගැනීම සුදුසුයි. කොලෙස්ටරෝල් අවශෝෂණය අවම කර ගැනීමට එළවළු පලතුරු වැඩිපුර ගැනීම ද සුදුසුයි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ අඩු වැඩි වීම ඔසප් චක්‍රය සඳහා බලපායි. මද සරුභාවය හා ගර්භනී වූ පසු දරුවාගේ නිරෝගී භාවයට ද බලපෑම් ඇති කළ හැකියි. ඔසප් වීමේදී අධික රුධිර වහනය වීම, අලස බව, නිදිමත ගතිය, බඩ වියලීම වැනි රෝග ලක්ෂණ ඇතිවන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ අඩු වීම මතයි. මේ අනුව මානසික වෙනස්වීම්වලට පවා පත් වීමට පුළුවන. එබැවින් තයිරොයිඩ් ග්‍රන්ථිය පරීක්ෂා කිරීමට TSH, FT4 පරීක්ෂණ මඟින් සිදුකළ හැකියි.

රක්තහීනතාවය (Anaemia)

මේ තත්ත්වය ද ගර්භණීත්වයට පෙර පරීක්ෂා කරගත යුතු තත්ත්වයකි. ඒ සඳහා FBC පරීක්ෂාවට යොමු කෙරේ. විශේෂයෙන් ඔබ තැලසීමියා රෝග වාහකයකු ද යන්න පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්ය. හේතුව ඔබේ සහකරු තැලසීමියා වාහකයකු නම් තැලසීමියා මේජ (Thallasemia Major) සහිත දරුවෙකු ඉපදීමේ සම්භාවිතාව ඇති බැවිනි. ඒ සමඟම ඔබ යම් යකඩ ඌනතාවයෙන් පෙළෙන්නේ ද යන බව මෙමඟින් යම්දුරකට හඳුනාගත හැකියි. මේ තත්ත්වයට පත්විය හැකි අවස්ථාවක් ලෙස කොකු පණු රෝගය හඳුන්වා දිය හැකියි. බඩවැලේ එල්ලී ලේ උරා බී තව තැනක සිදුරු ඇති කර ලේ වහනයක් සිදුකිරීම කොකු පණුවා කරන කාර්යයි. එබැවින් කාන්තාවක නිසි කාලවලදී පණු බෙහෙත් භාවිතා කළ යුතුයි.

හෘදයේ ආශි‍්‍රත රෝග

හෘදය ආශි‍්‍රතව ඇතිවන ඇතැම් රෝග හේතුවෙන් ගර්භණී අවධියේදී විවිධ සංකූලතා ඇතිවිය හැකියි. එබැවින් ගැබ් ගැනීමකට සූදානම් ඔබ හෘදයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කර ගැනීම වඩා වැදගත්ය. Echo පරික්ෂාවක් මඟින් මේ ගැන දැනුවත් විය හැකියි.