පැය විසිහතරත් මදිද?

පැය විසිහතරත් මදිද?

රන්වලටත් වඩා වටිනා දෙයක් ඇත්නම් ඒ කාලයයි. ධනවතකුටත්, දුප්පතකුටත් ඇත්තේ එකම කාලයක් පමණි. එනම් පැය විසිහතරක් පමණි. එසේ නම් කිසිවකුටත් ත්ත්පරයක් හෝ වැඩියෙන් නොලැබෙන පැය විසිහතර නිවැරදිව භාවිත කරන කලාව ද අප දැනගත යුතුමය. එහිදී බොහෝදෙනෙකුට කොපමණ ඒත්තු ගැන්වූවත් නිතරම මගහැරෙන කරුණු කීපයක් බලමු.

කල්තියා සැලැසුම් කරගන්නේ නැත්තේ ඇයි?

ආයුධයක් මොට වී ඇතිවිට එය මුවහත් නොකොට භාවිත කරන්නට පටන් ගතහොත් නිකරුණේ වැයවෙන්නේ අපගේ වටිනා කාලය හා ශක්තියයි. එලෙසින්ම අප යමක් කරන්නට පෙර එය මනාව සැලසුම් නොකරගන්නේ නම් අපගේ පැය විසිහතර මහත් සේ නාස්ති වී යයි. අනවශ්‍ය දේට වැය වන කාලය සොරාගන්නේ ඔබේ අනාගතයයි. නැතිනම් අනාගත දියුණුවයි. එසේ නම් ඕනෑම වැඩ කටයුත්තකට පෙර ඊට පෙර සූදානමක් ඇතිව සූදානම් වෙන්න. එවිට ඔබගේ කාර්යය පහසු වෙයි. පෙර සූදානමක් ඇතිව ඊට සූදානම් වූ නිසා අදාළ කාර්යය නිමවන විට එය ගුණාත්මක බවින් ද වැඩි වී තිබෙනු ඇත.

මුල්තැන දෙන්නේ වැදගත් දෙයට ද නැතිනම්....

එදිනට කළ යුතු කටයුතු එකකට වැඩියෙන් අප සැමටම ඇත. එසේ නම් දවසේ ආරම්භයත් සමඟින් ඉක්මනින් අවසන් කළ යුතු දේ මුලට සිටින සේ කටයුතු ටික පෙළගස්වා කොළ කැබැල්ලක සටහන් කර ගැනීමෙන් අමතක වීම් සහ පැටලිලි අවම කරගන්නට හැකි බව අත්හදා බැලූ අය දන්නා කරුණකි.

වැඩ කල් දැමීම හා දෙගිඩියාව

වැඩ කල් දැමීම සුළු සුළුවෙන් හෝ බොහෝ දෙනෙකු අතින් සිදු වේ. මෙය කාලය අපතේ යෑමට අදාළ අංක එකේ හේතුවලින් එකකි.

සියල්ලක්ම හොද අතට හැරෙන තුරු බලා සිටින කී දෙනෙකු අප අතර අත්දැයි විපරම් කර බැලුවහොත් අඩු තරමින් හදවතින් හෝ එසේ සිතමින් ලතැවෙන එක් අයෙකු හෝ අපට හමුවනවාම ඇත.

තීරණයක් නොගෙන දෙගිඩියාවෙන් බලා සිටීමට හුරු වුණොත් අප අසමත් වේ. ඒ අසමත් වීම් නම් අපගේ කාලය, මුදල් හෝ අනාගතයයි.

එසේ නම් සිහි බුද්ධිය සහිත අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි. නමුත් මින් හදිසි තීරණ ගැනීම පිළිබඳ අදහස් නොවේ. අලසව කාලය නාස්ති වීමට ඉඩ හැරීම හා හදිසි තීරණ ගැනීම එකිනෙකට වෙනස් ය.

රැකියාව හා විවේකය

රැකියාව අප බොහෝ දෙනෙකුගේ ජීවිතවල ප්‍රමුඛ වේ. ඒ ප්‍රමුඛතාව පසුපසට දැමීම හෝ රැකියාවට අගතියක් වන ලෙස කටයුතු කිරීම කිසිසේත් සුදුසු නොවේ.

එහෙත් රැකියාවට වහල් වූ ලෙසින් හැඩගැසුණු පිරිස් ද අපට මුණ ගැසේ.

රැකියාවට වහල් වූ අයෙකුට ඉන් පරිබාහිර කිසිවක් පිළිබඳ කල්පනා කිරීමට ඉඩක් නොමැත. එවැන්නකු තම මුළු ශක්තිය ද, කාලය ද යොදවන්නේ රැකියාව වෙනුවෙන්මය. එය නිවැරදිද?

එනමුත් රැකියාව සේම විවේකය ද අපගේ ජීවිතවල සමබරතාවට අතිශයින්ම වැදගත් ය. රැකියාව සහ විවේකය සමබරව දරන්නා අතිශයින් ආශිර්වාදවත් පුද්ගලයෙකි. මේ සතුට අතිශයින් අත්විඳිය හැක්කේ කාලය මැනවින් හසුරුවා ගන්නා පුද්ගලයන් හටය.

ජිවිතය බරට ගන්නවා වැඩිද?

කාලය කා දමන ප්‍රයෝජනයක් නොමැති දේ මඟහැර දැමීම මේ කාලයට නම් බොහෝ ගැලපේ. නමුත්, දිනක් තුළ දැරිය හැකි වැඩ ප්‍රමාණයක් පමණක් සැලැසුම් කර ගැනීමට බොහෝ අය පැකිළෙති.

එකම දිනයේ පොළට යාමට, සාදයකට යාමට, නිවසේ අලුත්වැඩියාවක් සැලසුම් කිරීමට උත්සුක වුණොත් මින් එකක්වත් හරියට සිදු නොවේ. මින් පෙර මෙවැනි අත්දැකීමකට මුහුණ දුන් අයකු නම එයින් ලද පීඩනය හොඳින්ම හඳුනනු ඇත.

අන් අයට ආදරය කරන කෙනෙකු වෙන්න

කාලය සමඟ පොරබදින බොහෝදෙනෙකුට ආදරය අහිමි වෙයි. තම ආදරය වැඩිපුරම අවශ්‍ය අයට හෝ දීමට කාලය බොහෝදෙනෙකුට නැතිය. මුදල් ඉපැයීමට සාර්ථකත්වයේ හිනිපෙත්තට නැඟීමට උදේ සවස වෙහෙසෙන බොහෝදෙනෙකුට තමන්ට ආදරය හිමි වී නැති බව දැනෙන්නේ බොහෝ පසු විය.

සෙල්ලක්කාරව දිවියේ කාලයම කා දමන බොහෝ දෙනෙකුට සැබෑ ආදරය හඳුනා ගන්නට අවශ්‍ය වන විට කාලය නැති තරම්ය. එබැවින් නිරතුරුව කරුණාව සමඟ බැඳුණු ආදරණීය පුද්ගලයකු වන්න. ජීවිතය සමඟින් ඔබට ලැබුණු පැය විසි හතරෙන් කොටසක් ආගම දහමට, පවුලට දරුවන්ට සේම මිනිස් වර්ගයාට ද කරුණාවන්ත වීමත් වෙන් කරගන්න.

සුව නින්දක් ලැබීම කාලය අපතේ යැවීමක් ද?

වැඩිහිටි පුද්ගලයකු නිසි නින්දක් ලැබීම අත්‍යවශ්‍යය. ශාරීරිකවත් මානසිකවත් නිරෝගි වීමට එය අත්‍යවශ්‍ය සාධකයකි. සුව නින්දක් ලබා නොගන්නා අයකු අතින් සිදුවිය හැකි අත්වැරදීම් හා අනතුරු ඉහළ මට්ටමක ඇති බව වාර්තා පෙන්වා දෙයි. කාලය ගැන ලතැවෙන බොහෝදෙනෙක් කාලය ඉතිරි කර ගැනීමට යොදා ගන්නා සුලබම උපාය කාලය නින්දෙන් ඉතිරි කර ගැනීමයි. එනමුත් කාලය ගැන ලතැවී ශාරීරික පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක් මගහැර ගන්නා අයට බොහෝ කායික රෝග පීඩා ඇතුළු ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදු වේ. එබැවින් නිසි නින්දක් ලැබීම කාලය අපතේ යැවීමක් නොවන බව තරයේ අවබෝධ කර ගැනීම වැදගත්ය. විශේෂයෙන් පෙර දිනයේ වෙහෙස වූ ඔබ පසුදාට සාර්ථකව මුහුණ දීමට නම් සුව නින්ද ඉතාමත් වැදගත් වේ.