ඇස් කණ්ණාඩි තෝරා ගැනීමේදී දෘෂ්ටි විශේෂඥවරයා හමුවිය යුතුයි

ඇස් කණ්ණාඩි තෝරා ගැනීමේදී දෘෂ්ටි විශේෂඥවරයා හමුවිය යුතුයි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

සාමාන්‍යයෙන් ඇස් කණ්ණාඩි තෝරා ගැනීමේදී බොහෝ විට ඒවා පිළිබඳව හොඳ අවධානයක් යොමු නොකළ හොත් අවසානයේදී ඇස් අන්ධ වීමට පවා ඉඩ තිබෙනවා. ඒ නිසා තමාගේ පණ හා සමාන දෑස ආරක්ෂා කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කිරීමට අපට යම් අවබෝධයක් තිබුණොත් වැලඳුණු පළමු අවස්ථාවේම ඊට පිළියම් යෙදිය යුතුයි.

මෙහිදී ප්‍රධාන වගකීමක් හිමි වන්නේ අක්ෂි වෛද්‍යවරයාට වගේම දෘෂ්ඨි විශේෂඥයින්ට පමණයි. නමුත් අවාසනාවට බොහෝ දෙනෙක් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නේ නෑ.

සාමාන්‍යයෙන් අපි තෝරා ගන්නා ඇස් කණ්ණාඩිය යම් අක්ෂි දුර්වලතාවක් මඟහරවා ගන්නා උපකරණයකට වඩා පළඳනාවක් ලෙස හැඳින්වීම වඩාත් නුවණට හුරුයි. ඒ අනුව යම් අයෙක් මුලින්ම ඇස් කණ්ණාඩි මිලදී ගැනීමේදී මතක තබා ගත යුතු ඒ වගේම වැදගත්ම කාරණය නම් ඇස් කණ්ණාඩි මිලදී ගන්නා විට සුදුසු දෘෂ්ඨි විශේෂඥයකු ළඟට ගොස් ඇස් පරීක්ෂා කර ගැනීමයි. අක්ෂි වෛද්‍යවරයාට වඩා ඒ සම්බන්ධයෙන් හොඳ අත්දැකීමක් පළපුරුද්දක් දෘෂ්ඨි විශේෂඥයා සතු වෙනවා. ඒ වගේම ඇස් කණ්ණාඩි සඳහා භාවිතාවන කාච පිළිබඳවද නිවැරදිව දන්නේද දෘෂ්ඨි විශේෂඥයා පමණයි. අපි නිතරම ඇස් කණ්ණාඩි භාවිතය පිළිබඳ කතාබහ කරන විට බොහෝ දුරට අවධානය යොමු කරන්නේ කාච පිළිබඳව පමණයි. නමුත් ඒ හා සමානවම කණ්ණාඩියේ රාමුව තෝරා ගැනීමේදි වඩාත් සැලකිලිමත් විය යුතුයි. එම රාමුව නාසයට කන්වලට නිවැරදි ආකාරයට ගැළපෙනවාද කියා විමසා බැලිය යුතුයි. එහිදී ද අපි නිවැරදි උපදේශනයක් කරා යොමු වනවා නම් එසේ යොමු විය යුත්තේ සුදුසුකම්ලත් දෘෂ්ඨි විශේෂඥයකු වෙතම පමණයි.

ඒ වගේම ඔබ මේ වන විටත් හොඳින්ම දන්නවා ඇති විවිධ වෘත්තීන්ට අනුව පලඳින කණ්ණාඩි වර්ග ද වෙනස් වන බව. එහිදී ගුරුවරු, වෛද්‍යවරු, ලිපිකරුවන් භාවිතා කරන කණ්ණාඩිවල තත්ත්වය, කාච වර්ග ක්‍රීඩාවල නිරතවන අය පලඳින කණ්ණාඩිවලට වඩා බෙහෙවින් වෙනස්. මේ පිළිබඳව වටහා ගත හැක්කේද දෘෂ්ඨි විශේෂඥයකුටම පමණයි. නමුත් ඇතැම් අවස්ථාවලදී අනිවාර්යයෙන් අක්ෂි ශල්‍ය වෛද්‍යවරු විසින් පරීක්ෂා කර බැලීම වැදගත්. එහිදී දියවැඩියාව වැනි රෝග අවස්ථාවලදී විශේෂයෙන් වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගත යුතුයි. තවද ඇසේ සුද තිබෙනවා නම් එවන් අවස්ථාවකදීත් වෛද්‍යවරයාගේ සහාය අත්‍යවශ්‍ය වන අතර පොඩි දරුවකුගේ අක්ෂි දෝෂයක් පවතිනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.

තවත් සමහර පිරිසකට කණ්ණාඩි පැළඳීමෙන් පෙනීම ලබා ගන්නට හැකියාවක් නෑ. එවැනි අයට Visual Aids  වලින් පෙනීම හදාගැනීමේ හැකියාවක් තිබෙනවා. කණ්ණාඩි භාවිතා කිරීමට නොහැකි නම් එවැනි අයට සිවිකාච පැලඳීමේ හැකියාවක් තිබෙනවා. පෙර සඳහන් කළ Visual Aids  කණ්ණාඩියක් ඉදිරියෙන් පළඳින නිසා ඉතා සූක්ෂම දේවල් පෙනීමට හසුකර ගැනීමට පහසුයි. කෙසේ වෙතත් දෘෂ්‍ය ආබාධයකට මුල් කාලයේදී පිළියමක් යොදා නොගතහොත් පසුකාලීනව මඟහරවා ගැනීමට නොහැකි තරම් බරපතළ මට්ටමකට එවැනි අයට මුහුණ දීමට සිදුවෙනවා.

ඉතාම කුඩා වයසේ පසුවන දරුවන් ඇතැම් විට කණ්ණාඩි පැලඳීමට කැමැත්තක් නෑ.

ඔවුන්ට ඒ පිළිබඳ තේරුමක් ද නැහැ. ඒ නිසා කුඩා දරුවන් සඳහාම විශේෂිත සිවිකාච මෙවන් අවස්ථාවකදී යොදා ගත හැකියි. මීට අමතරව තවත් සමහර අයට එක් ඇසක පෙනීම පමණක් නැති වී යන්න පුළුවන්. ඒ බව තමන්ටම පරීක්ෂා කරගත හැකියි. ඒ මාරුවෙන් මාරුවට අතින් ඇස වසා ගැනීමෙන්.

මෙවන් තත්ත්වයකට කුඩා දරුවන්, පාසැල් දරුවන්ට මුහුණ දීමට සිදු වුවහොත් ඔවුන්ගේ ඉගනීමද අඩාල වෙනවා.

ඒ වගේම විශේෂයෙන් ඇසේ යම් ඇදයක් සාමාන්‍ය ව්‍යවහාරයේ ඔඬයක් තිබෙනවා නම් එය පිළිබඳව සතුටු හෝ දුක්වෙවි ඉන්නවාට වඩා හැකි ඉක්මනින් වෛද්‍යවරයකුගේ මාර්ගයෙන් පරීක්ෂා කර බලා අදාළ පිළියම් යොදා ගත යුතුයි.