දොස්තරට හරියට ලෙඩේ කියන්නේ මෙහෙමයි

දොස්තරට හරියට ලෙඩේ කියන්නේ මෙහෙමයි

වෛද්‍යවරයා හා රෝගියා අතර සංවාදයක්

වෛද්‍ය ධම්මික පෙරේරා

වෛද්‍යවරයා -

ලෙඩේ මොකක් ද කියන්න.

රෝගියා - මට 1983 දී මං වැඩ ඇරිලා එනකොට පොඩි ක්ලාන්තයක් හැදුණා. එදා රෑම වම් පැත්තෙ අතයි කකුලයි පණ නැතිව ගියා. රෑම ඉස්පිරිතාලේ අරන් ගියහම හොඳටම ප්‍රෙෂර් වැඩිවෙලා තිබුණා. අංශබාගෙට වගේ ඇවිත් තියෙන්නෙ. අපේ මාමාගේ පුතා දැන් දොස්තර කෙනෙක්නේ. එයා හිටපු නිසා හොඳට බෙහෙත් හේත් ටික කෙරුණා. පස්සෙ දවස් 21 ක් ඉස්පිරිතාලේ ඉඳලා ටිකට් කපාගෙන ආවා. එදා ඉඳලා තාමත් ප්‍රෙෂර් එකට ක්ලිනික් එකෙන් බෙහෙත් ගන්නවා. මං බෙහෙත් ටිකත් අරගෙනයයියි ආවෙ. ඊයේ ඉඳලා පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් තියෙනවා. ඒකට බෙහෙත් ටිකක් ගන්නයි ආවෙ. පුතාට කිව්වනම් ඇවිත් බෙහෙත් දීලම යනවා. ඒත් මම එයාට කරදර කරන්න ගියේ නෑ.

විවේචනය - මෙහිදී රෝගියාට ප්‍රෙෂර් තියෙන බවත් එයට බෙහෙත් බොන බවත් බෙහෙත් ටික අරගෙන ඇවිත් පෙන්නපු එකත් වැදගත් තමා. ඒත් අහපු දේට නෙවෙයි උත්තර දුන්නේ. ඒ වගේම ප්‍රෙෂර් තියෙන බව කිව්වා වුණත් ඒ තරම් විස්තර ගොඩක් අවශ්‍ය වෙන්නේ නෑ. හෙම්බිරිස්සාවට බෙහෙත් කරන්න දැන් තියෙන අමාරුව අංශභාගෙට සම්බන්ධයක්වත් තිබුණා නම් ටිකක් හරි ප්‍රයෝජනයක් වෙනවා.

මේ නිසා අහන දේට කෙටියෙන් සරලව පැහැදිලිව අනවශ්‍ය විස්තර නැතිව කියන්න වග බලාගන්න ඕනෙ.

දැන් තියෙන ලෙඩේට මීට කලින් බෙහෙත් ගත්තා නම් ඒ ගැන දැන් බෙහෙත් ගන්න වෛද්‍යවරයාට හංගන්නේ නැතිව කියන්න ඕනේ.

ඕනෑම කෙනෙකුට තමන් කැමති ඕනෑම වෛද්‍යවරයෙක් ළඟට ගිහින් බෙහෙත් ගන්න අයිතියක් තියෙනවා. ඉතිං ඒ බව කියන්න මැලි වෙන්න ඕනේ නෑ. සමහර හිතනවා තමන් වෙන දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ගියා කිව්වහම දැන් බෙහෙත් ගන්න ආපු වෛද්‍යවරයා අමනාප වෙයි හෝ තමාට නොසලකා හරියි කියලා. මෙය වැරදි මතයක්.

තමන් මුලින් වෙන තැනකින් බෙහෙත් ගත්ත බව විතරක් නෙවෙයි පුළුවන් නම් ඒ ගත්ත බෙහෙත් ගැනත් කියන්න හෝ පෙන්වන්න පුළුවන් නම් තමා වඩාත් හොඳ.

එකම අමාරුවට දෙවරක් බෙහෙත් ගන්න සිද්ධ වුණොත් පළවෙනි වතාවේ ගත් බෙහෙත් වලින් අඩුවුනේ මොන අමාරුද කියලා කියන්න ඕනේ. අඩු නැති අමාරු ගැනත් අඩු නැතිව කියන්න ඕනේ. ටිකක් හරි තියෙන අමාරුවක් ඇත්තම් නැහැ කියන්නේ නැතිව ටිකක් තියෙන අමාරු ගැනත් කියන්න ඕනෙ. එහෙම නැතිව දෙවෙනි වර බෙහෙත් කරන්න හෝ බෙහෙත් වෙනස් කරන්න අපහසුයි.

මුලින් දුන් බෙහෙත් වල ඉතිරි වී තිබෙන බෙහෙත් තියෙනවා නම් ඒවාත් අරගෙන එනවා නම් තමා වඩාත් හොඳ.

මීට කලින් මේ ලෙඩේම හැදුනා නම් හෝ ඒවාට බෙහෙත් ගත්තානම් ඒ ගැනත් සුව වුවාද නැද්ද යන්නත් කියනවා නම් වෛද්‍යවරයාට පහසු වෙනවා ප්‍රතිකාර කිරීමට.

සමහරවිට එකවර ඔබට ලෙඩ දෙන තුනක් තියෙන්න පුලුවන්. එතකොට සේරම ලෙඩ එකවරම කියන්න. එක ලෙඩකට බෙහෙත් ලියා ඉවරවුණාට පස්සේ අනිත් ලෙඩේ ගැන කියන්න එපා. ඒකට හේතුවක් තියෙනවා. සමහර ලෙඩ ගණනාවකට එක බෙහෙත දෙන්න පුළුවන්. ඒ වගේම එක ලෙඩකට දෙන බෙහෙත් දෙන්න පුලුවන්. ඒ වගේම එක ලෙඩකට දෙන බෙහෙත් තවත් ලෙඩකට දෙන්න බැරි වෙන්නත් පුළුවන්. මේ නිසා ලෙඩ සේරම ගැන එකවර දැනගත්තහම සේරම ලෙඩවලට ගැලපෙන ලෙස බෙහෙත් වට්ටෝරුව සකස් කරන්න වෛද්‍යවරයාට පහසුයි.

සමහරවිට එකවර දෙන්නෙකුට බෙහෙත් ගන්න ආවම දෙන්නගෙම ලෙඩ එක සැරේ කියන්න උත්සාහ කරනවා. මේන හුඟාක් වෙලාවට වෙන්නේ ළමයින්ට බෙහෙත් ගන්න ආවමයි. එකසැරේ ලෙඩ කියනවා විතරක් නෙවෙයි සමහර විට ලෙඩ සේරම කළවමේ කියාගෙන යනවා.

වෛද්‍යවරයා -

මොකක්ද අමාරුව?

අම්මා - මේ ළමයි දෙන්නාටම හොඳටම උණ. මෙයාට නම් කැස්සත් තියෙනවා. අරයට නම් උණයි වමනෙයි විතරයි. මෙයාට හිසරදයත් තියෙනවා.

දෙන්නෙකුට හරි ඊට වැඩි දෙනෙකුට හරි බෙහෙත් ගන්නකොට එක්කෙනෙකුට බෙහෙත් දීලා ඉවර වුනහම අනෙත් කෙනාගේ ලෙඩ කියන එකයි නිවැරදි ක්‍රමය.

විශේෂයෙන්ම කුඩා ළමුන්ට බෙහෙත් ගන්නට එනවිට ඒ එන අය දරුවාට තියෙන රෝග ලක්ෂණ ගැන හොඳින් දැනගෙන එන්න ඕනේ. සමහර අවස්ථාවල බෙහෙත් ගන්න ආවාට දරුවාට තියෙන ලෙඩ ටික මොකක්ද කියලාවත් නොදැන එන දෙමව්පියොත් ඉන්නවා. එහෙම අය වෛද්‍යවරයා ලෙඩ ගැන අහනකොට ඒ වෙලාවේ දෙමව්පියෝ දරුවාගෙන් අහනවා ළමයාට තියෙන ලෙඩ මොනවාද කියලා. ළමයා කියන අමාරුත් යන දෙකම වැදගත් තොරතුරු කීමේදී සමහර ළමයි ලෙඩ ගැන කියන්න දන්නේ නෑ. සමහර ළමයි අඬනවා විතරයි. මේ නිසා දෙමාපියෝ තමයි දරුවන්ගේ රෝග ලක්ෂණ ගැන සැලකිල්ලෙන් බලා විස්තර කියන්න ඕනේ.

*නරක ක්‍රමය -

වෛද්‍යවරයා - බබාට තියෙන අමාරු මොනවද?

දරුවගේ අම්මා - මෙයාට උණ වගේ කැස්සත් තියෙනවා.

වෛද්‍යවරයා - කැස්සත් එක්ක සෙම කැඩිලා යනවද?

අම්මා - පුතේ කැස්සත් එක්ක සෙම යනවද?

*හොඳ ක්‍රමය

වෛද්‍යවරයා - බබාට තියෙන අමාරු මොනවද?

අම්මා - ඊයේ ඉඳන් උණ වගේ. කැස්සත් තියෙනවා.

වෛද්‍යවරයා - සෙම කැඩිලා යන කැස්සක් ද?

අම්මා - සෙම ටිකක් යනවා. සෙම පැසවලා වගේ. දෙපාරක් වමනෙත් දැම්මා සේරම සෙම ගියේ.

සමහර අය බෙහෙත් ගන්න වෛද්‍යවරයා ළඟට ගියහම ලෙඩේට කිසිම සම්බන්ධයක් නැති ඕපාදූප කතා කරන්න වෛද්‍යවරයාව හවුල්කරගන්න උත්සාහ කරනවා. දේශපාලන මාතෘකාවක් හරි තමන් අලුතින් ගත්ත වාහනයක් ගැන හරි කතා කරන්න උත්සාහ කරනවා. මෙයින් වෛද්‍යවරයා අපහසුවට පත්වෙනවා වගේම තමන්ට පස්සෙ බෙහෙත් ගන්න එන්න ඉන්න අයටත් අසාධාරණයක් කරනවා. තමන්ගෙ වැඩේ කෙරුණම හැකිතාක් ඉක්මනින් ඊළඟට බෙහෙත් ගන්න ඉන්න කෙනාට ඉඩ දෙන්න ඕනේ.

මේ ආදී කරුණු ගැන සැලකිලිමත් වෙලා මින්පසු වෛද්‍යවරයකු ළඟට ගියහම තමාට ඇති ලෙඩ පිළිබඳ හොඳ විස්තරයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.