ස්තී‍්‍රත්වයට සුන්දරත්වයත් ලාලිත්‍යයත් ලබාදෙන “ඊස්ට්‍රජන්” හෝර්මෝනය

ස්තී‍්‍රත්වයට සුන්දරත්වයත් ලාලිත්‍යයත් ලබාදෙන “ඊස්ට්‍රජන්” හෝර්මෝනය

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍ය

මහින්ද හේමප්‍රිය

මේ දිනවල අපගේ මාතෘකා වන්නේ හෝර්මෝන ගැන සුල මුල නිසා තවත් වැදගත් හෝර්මෝනයක් ගැන අද අපි සාකච්ඡා කරමු. ඒ ස්තී‍්‍රන්ගේ සුන්දර “ස්ත්‍රීත්වය” ලබා දෙන ඊස්ට්‍රජන් නම් වූ හෝර්මෝනයයි.

ස්ත්‍රීන්ගේ ඔවුන් තුළ ඇති ස්ත්‍රීත්වය හෙවත් කායික හා මානසික ගැහැනු ස්වභාවය ඇති කර දෙන්නේ මේ ඊස්ට්‍රජන් නැමති හෝර්මෝනය මඟිනුයි. දියුණු වූ වෛද්‍ය විද්‍යාව මඟින් මෙම හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දියුණු කර ගත් දැනුම භාවිතා කරමින්, ශරීරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ඖෂධ ලෙස නොයෙකුත් ප්‍රයෝජන ලබා ගන්නවා. ඒ අතරින් උපත් පාලන පෙති හා ඔසප් චක්‍රය නැවතීමෙන් පසුව ජීවිතයේ පසු භාගයේදී ඇතිවන නොයෙකුත් දුක්ඛ දෝමනස්සයන් සඳහා හෝර්මෝන ප්‍රතිකාර ආදිය ප්‍රධාන තැනක් ගන්නවා.

ස්ත්‍රී ශරීරය තුළ ඊස්ට්‍රජන් හෝර්මෝන විවිධ ආකාර ලෙස දකින්න ලැබෙනවා. වෛද්‍ය පදනම පිළිබඳ උනන්දුවක් ඇති ශිෂ්‍යයන්ගේ දැනුම පිණිස ඒ පිළිබඳව කෙටියෙන් සඳහන් කරන්නම්. ඒවා ප්‍රධාන ආකාර 3 කට දකින්නට ලැබෙනවා. Estrone, Estradiol සහ Estriol ඒ ආකාරයි. කිසියම් ස්ත්‍රියකගේ ගර්භණී අවස්ථාව ගර්භණී නොවන අවස්ථාව හා ඔසප් වීම නැවතුන ජීවිතයේ දෙවන භාගයේදී ලෙස එක් එක් ජීවන අවස්ථාවල මේ එක් එක් හෝර්මෝන ප්‍රමුඛ ක්‍රියාවලියක් සිදු කරනු ලබනවා. මීට අමතරව Estetrol නැමති ඊස්ට්‍රජන් වර්ගයක් ගර්භණී කාලය තුළ පමණක් නිපදවෙනවා.

ඊස්ට්‍රජන් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය ගැන සාකච්ඡා කිරීමට පෙර තවත් වැදගත් දෙයක් ගැන දැනගනිමු. ඒ මෙම හෝර්මෝනය පිරිමින් තුළ ද තිබීමයි. විශේෂය වන්නේ පිරිමින්ට වඩා ඉතා අධික ප්‍රමාණයක් ස්තී‍්‍රන් තුළ මෙම හෝර්මෝනය තිබීමයි. පිරිමින් තුළ මෙහි ඇති ක්‍රියාකාරීත්වය නැතිනම් ප්‍රයෝජනය වන්නේ පුරුෂයන්ගේ පුරුෂ බීජ හෙවත් ශුක්‍රාණු පරිණත කිරීම් හෙවත් නිසි පදමට සකස් කිරීමත්, නිරෝගී ලිංගික ආශාවන් ලබා දීමත් යන කාරනයන්ය. ස්ත්‍රීන් තුළ මෙම හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වය මඟින් ඇතිවන ප්‍රයෝජන අතර ප්‍රධාන වන්නේ ද්විතීක ලිංගික ලක්ෂණ හෙවත් වැඩිහිටි ස්ත්‍රී ලක්ෂණ ඇති කිරීමයි. එය තවදුරටත් පැහැදිලි කළොත් පියයුරු හා තනපුඩු විශාල වීමත්, කිහිලි හා ලිංග ප්‍රදේශවල රෝම ඇති වීමත්, කලවා හා තට්ටම් ප්‍රදේශයේ මාංශ ප්‍රමාණය වැඩි වීමත් උකුල පළල් වීමත්, අත්ල හා පාද පිරිමින්ට සාපේක්ෂව කුඩා වීමත් මුහුණ රවුම් වීමත්, ඉන කුඩා වීමත්, සමෙහි යට ඇතිවන තෙල් ගතිය විශේෂයෙන් කලවා, තට්ටම් හා උකුල ආශි‍්‍රතව වැඩි වීමත් ආදී ලෙස වූ ස්තී‍්‍ර ලාලිත්‍යමය ලක්ෂණ ඇති කරනු ලබන්නේ මෙම ඊස්ට්‍රජන් ක්‍රියාකාරීත්වය මඟිනුයි. මීට අමතරව ශරීර අභ්‍යන්තරයේදී ගර්භාෂය වර්ධනය වීමත්, දරුවෙකු පිළිසිඳ ගන්නා ගර්භාෂයේ ආවරණය වැඩි දියුණු වීමත්, යෝනි මාර්ගය නිරෝගීව පවත්වා ගෙන යාමත් ඇටකටු නිරෝගීව තබා ගැනීමත්, ශරීරය පුරාම පිරිමින්ට සාපේක්ෂව මාංශ පේශි ප්‍රමාණය අඩුවෙන් පවත්වා ගැනීමත්, ප්‍රෝටීන නිෂ්පාදනයත්, රුධිරය කැටි ගැසීම සඳහා බලපෑමත් සිරුරට හිතකර HDL නම් රුධිර කොලෙස්ටරෝල් වැඩි කිරීමත් අහිතකර LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමත්, ශරීරයේ දියර ප්‍රමාණය හෙවත් වතුර ප්‍රමාණය පාලනය කිරීමත් ආහාර මාර්ගයේ හා හුස්ම ගැනීම සඳහා වූ ශ්වසන පද්ධතියේත් ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා.

මීට අමතරව මානසික සෞඛ්‍යය කෙරෙහිත් මෙම හෝර්මෝනය බලපෑමක් එල්ල කරනවා. අපගේ මුහුණෙන් හා ශරීරයෙන් පිළිබිඹු වන මානසික ස්වභාවය හෙවත් Mood  එක අඩු වීමත් ඒ කියන්නේ දුර්වල මානසික මට්ටමත් ඊස්ට්‍රජන් අඩු වීමකදී හෝ වේගයෙන් අඩු වීමකදී දකින්නට ලැබෙනවා. විශේෂයෙන් ගර්භණීභාවයෙන් පසුව ඇතිවිය හැකි දුර්වල මානසික මට්ටම සඳහා ශරීරයේ ඊස්ට්‍රජන් ප්‍රමාණය ස්ථාවර කිරීමෙන් ඉමහත් සහනයක් ලබා දෙන බව විශ්වාස කරනවා. මීයන් ආශි‍්‍රතව කරගෙන කරනු ලැබූ පරීක්ෂණවලදී Obessive Compulsive Disoder හෙවත් එකම දෙය නැවත නැවත කරන මානසික රෝග තත්ත්ව සඳහා ඊස්ට්‍රජන් හෝර්මෝනය ඖෂධයක් ලෙස ලබා දීමෙන් සතුටුදායක ප්‍රතිඵල අත් කරගෙන තිබෙනවා. මේ කරුණුවලින් මා අදහස් කළේ “මානසිකත්වය” සම්බන්ධයෙන් මෙම හෝර්මෝනයේ සෑහෙන බලපෑමක් ඇති බව දැනුවත් කිරීමයි.

මෙම හෝර්මෝනය ඖෂධ ලෙස විවිධ අවස්ථාවල යොදා ගැනෙනවා. ස්ත්‍රී උපත් පාලන පෙති ඒ අතර ප්‍රධාන වෙනවා. කෘත්‍රිමව සකස් කරන ලද ඊස්ට්‍රජන් හෝර්මෝනය මඟින් ස්ත්‍රී බිත්තර හෙවත් ඩිම්බ නිපදවීම හා නිදහස් කිරීම අවහිර කර උපත් පාලනය සිදු කරනු ලබනවා.

ඔසප් වීම නැවතුන පසු එළඹෙන ජීවිතයේ දෙවන භාගයේ (Postme menapoual)  මෙම හෝර්මෝනය අඩු වීමට පටන් ගන්නවා. මේ නිසා ස්ත්‍රී ශරීරය කායිකව හා මානසිකව දුර්වල වීමට පටන් ගන්නවා. ඇග රත් වීම, දැවිල්ල ඇතිවීම වැනි රෝග ලක්ෂණ වලින් පටන් ගන්නා ක්‍රියාවලිය ඔස්ටියෝපොරෝසීස් නම් වූ ඇට කටු දුර්වල වන තත්ත්වය පවා ඇති කර ස්ත්‍රී ශරීරය පිඩාවට ලක් කරනු ලබනවා. මෙවැනි අවස්ථාවල කෘත්‍රිමව ඊස්ට්‍රජන් හෝර්මෝනය ලබා දෙනු ලබනවා. මෙය Hormono replacement therapy ලෙස හඳුන්වනු ලබනවා.

මීට අමතරව මෙම ඊස්ට්‍රජන් හෝර්මෝනය පියයුරු හා ගර්භාෂ පිළිකා සඳහා ද ප්‍රබල ලෙස බලපාන සාධකයක් වෙනවා. එවැනි අවස්ථාවල ඊස්ට්‍රජන් ප්‍රතිවිරෝධි ප්‍රතිකාර මඟින් ප්‍රතිකාර සපයනු ලබනවා. ඒ වාගේම පුරුෂයන්ගේ ඇතිවන පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා (Prostate cance) සඳහා ඊස්ට්‍රජන් හෝර්මෝනය ප්‍රතිකාරයක් ලෙස භාවිතා වෙනවා.