අධිකරණ වෛද්‍ය විද්‍යාව

අධිකරණ වෛද්‍ය විද්‍යාව

කරුණාරත්න මිය ගිය හේතුව පටක පරීක්ෂණ වාර්තාවෙන් හෙළිවෙයි

කොළඹ අධිකරණ වෛද්‍ය ඒකකයේ

විශේෂඥ අධිකරණ වෛද්‍ය

එස්.ඩී. චන්න පෙරේරා

යම්කිසි පුද්ගලයකුගේ ශරීරයේ පවතින තුවාලයක් කෙතරම් පැරණිදැයි, එම තුවාලය සිදු වී කොපමණ කලක් ගතවී ඇතිදැයි සොයා ගැනීමට අවශ්‍ය නම් එම තුවාලය අවට ශරීර පටක පරික්ෂණයකට ලක් කිරීමෙන් සිදු කරගත හැකිය. එම තුවාලය සිදු වී පැය 24 ක් ගත වන්නට ප්‍රථම තුවාලයෙන් ලබා ගන්නා පටක පරීක්ෂා කිරීමෙන් එම පැය 24 ඇතුලත කුමන පැයේ එම තුවාලය සිදු වී ඇතිදැයි නිවැරදිව ප්‍රකාශ කළ හැකිය.

තුවාලය සිදුවීමෙන් දින 3 කට 5 කට පමණ පසුව ලබා ගත් පටකවලින් ප්‍රකාශ කළ හැක්කේ දින දෙක තුනක් ඇතුළත මෙම තුවාලය සිදු වූ බවය. තුවාලය සිදු වී කල්ගත වනවිට දින 10 ක් 15 ක් අතර කාලයකදී එම තුවාලය සිදු වී ඇති බව ප්‍රකාශ කළත් නිවැරදිවම දිනය ප්‍රකාශ කිරීමට හැකියාව නැත. මෙවැනි පටක පරීක්ෂණ වාර්තා වඩාත් අවශ්‍ය වන්නේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහාය. ඒ සඳහා රසායනික ද්‍රව්‍ය මත තුවාලයෙන් ලබාගන්නා පටක වර්ධනය කළ යුතුය. මෙවැනි අධිකරණ පරීක්ෂණ වාර්තා මඟින්, සොයා ගැනීමට අපහසු වූ අපරාධකරුවන් සොයාගත් අවස්ථාවන් ද අපරාධකරුවන් ලෙස නම් කළ පුද්ගලයින් නිදොස් වු අවස්ථාවන්ද අධිකරණ වෛද්‍ය ඉතිහාසයක් ඇත. එවන් සිදුවීමක් පිළිබඳ කතා පුවතකි මේ. මෙය සිදු වී දැනට අවුරුදු 3 ක් පමණ වන්නට ඇත.

කරුණාරත්න සහ ජූඩි යනු නෑකමට අනුව මාමා සහ බෑනාය. ඒ, කරුණාරත්නගේ අක්කාගේ පුතා ජූඩ් වන නිසාය. කරුණාරත්න වයස අවුරුදු 50 ට ආසන්න පුද්ගලයෙකි. ජූඩ් තවම වයස අවුරුදු 25 ක් පමණ වූ තරුණයෙකි. මොවුන් ජීවත් වූයේ හලාවතට ආසන්න ගමකය. කරුණාරත්න කලෙක පටන් සොරකමට යොමු වූ පුද්ගලයෙකි. ජූඩ් තම මාමා සමඟ සොරකම් කිරීමට හවුල් වී අවුරුදු 2 ක් පමණ වන්නට ඇත. මොවුන් වැඩියෙන්ම සිදු කළේ ගෙවල් බිඳීම්ය. කරුණාරත්නට සහ ජූඩ්ට විරුද්ධව පොලිසියේ පැමිණිලි කීපයක්ම ගොනු වී තිබුණ ද පොලිසියට කට්ටි පනිමින් සිටි නිසා මොවුන් දෙදෙනා සිටියේ නිදැල්ලේය. එහෙත් හදිසියේම ලද ඔත්තුවක් අනුව ප්‍රදේශයේ පොලිස් ස්්ථානය මඟින් කරුණාරත්න සහ ජූඩ්ව අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් පසුව මොවුන් දෙදෙනාම භාර වූයේ ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිළධාරින් වෙතටය. එයින් දින කීපයකට පසුව ප්‍රදේශයේ ප්‍රධාන පොලිස් ස්ථානයකට මොවුන් භාර දෙන ලදී. මහේස්ත්‍රාත්වරයකු වෙත කරුණාරත්න සහ ජූඩ්ව ඉදිරිපත් කළේ එම පොලිසීය මඟිනි. කරුණාරත්න සහ ජූඩ් අත්අඩංගුවට ගෙන පැය 24 ක් ඇතුළත පොලිස් ස්ථාන 3 ක භාරයේ සිටින්නට සිදුවිය. මෙය සිදු වූයේ ජනවාරි මාසයකදීය.

මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූඩ් සහ කරුණාරත්න බන්ධනාගාර ගත කෙරිණි. ඒ බන්ධනාගාර දෙකකටය. බන්ධනාගාර දෙක අතර දුර කිලෝමීටර් 25 ක් පමණ වේ. මාස දෙකකට පමණ පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් කරුණාරත්නව ජූඩ් සිටින බන්ධනාගාරය වෙත යොමු කළේය. දැන් මාමාත් බෑනාත් එකම බන්ධනාගාරයේය.

පොලිස් නිලධාරීන් විසින් කරුණාරත්නගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තමන් තම බෑනා වන ජූඩ් සමඟ එකතු වී ගෙවල් බිඳීම් කීපයක්ම සිදු කළ බවත්, මෝටර් බයිසිකල් 2 ක් ද සොරකම් කළ බවත් ප්‍රකාශ කරමින් පාපොච්චාරණයක් සිදු කරන ලදී. තම මාමා විසින් මෙවැනි පාපොච්චාරණයක් සිදු කළ බව දැනගත් පසුව මාමා පිළිබඳව ජූඩ් සිටියේ දැඩි කෝපයෙනි.

කරුණාරත්න, ජූඩ් සිටින බන්ධනාගාරය වෙත මාරු කර දින 10ක් පමණ ගත වූ පසුව හදිසියේම කරුණාරත්න රෝගී වී ඔහුව බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කරන ලදී. කරුණාරත්නගේ රෝගය වූයේ දකුණු පස පාදයේ කලවා ප්‍රදේශය ඉදිමීමය. ඔහුගේ රෝගය උත්සන්න වීම නිසා ප්‍රදේශයේ ප්‍රධාන රජයේ රෝහලකට ඇතුළත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගත්තේය. ඊට දින දෙකකට පමණ පසුව කරුණාරත්න රෝහලේදීම අවසන් හුස්ම හෙළීය.

මෙම මරණය පිළිබඳ සිදු කරනු ලබන මරණ පරීක්ෂණයේදී මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පවසා සිටියේ තම ස්වාමිපුරුෂයාගේ මරණයට හේතුව ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරින් යටතේ සිටියදී එම පොලිස් නිලධාරීන් විසින් දරුණු ලෙස කරුණාරත්නට පහර දීම බවය. එසේ පහර දී ඇත්තේ දකුණු පාදයට බවත් එම තුවාල නිසා තම සැමියා මරණයට පත් වූ බව තමන් සිතන බවත් කරුණාරත්නගේ බිරිඳ ප්‍රකාශ කර සිටියාය.

ඉන් පසුව මේ පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීම පැවරුණේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතාටය. වෛද්‍ය චන්න, කරුණාරත්නගේ බිරිඳගෙන් කරුණු විමසා සිටියේය. එහිදී ද ඇය වැඩිදුරටත් පැවසුවේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ පොලිස් නිලධාරීන් විසින් කළ පහර දීම නිසා තම සැමියා මරණයට පත් වී ඇති බවය. කරුණාරත්න අත්අඩංගුවට පත් වී සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන්ගේ යටතේ සිටියේ ඊට මාස දෙකකට පමණ පෙරදීය. විශේෂඥ වෛද්‍ය චන්න තම රාජකාරිය ආරම්භ කළේය. කරුණාරත්නගේ සිරුර පරීක්ෂා කිරීමේදී වෛද්‍ය චන්නට පැහැදිලි වූයේ මොහුට දියවැඩියා රෝගය ඇති බවත් දකුණු පාදයේ කලවා ප්‍රදේශයේ සම යට පටක ඉදිමී (ඛ්ඥතතභතඪබඪඵ) ඒවා ආසාදනයට ලක් වීම නිසා කරුණාරත්න මරණයට පත් වී ඇති බවත්ය. එසේ පාදයේ පටක ඉදිමීමට හේතුව පාදයේ තිබෙන තැලුම් තුවාල බවත් එයට හේතුව පහර දීමක් විය හැකි බවත් වෛද්‍ය චන්නට පැහැදිලි විය. දියවැඩියා රෝගය ඇති පුද්ගලයකුගේ කිසියම් තැලීමක් සිදු වී සම යට පටක ආසාදනයට ලක් වූ විට එතැනින් විෂබීජයයක් ඇතුළු වූවොත් රුධිරය මඟින් එය මුළු ශරීරය පුරාම පැතිරී මරණයට පත් කිරීමට ඉඩ ඇත.

කරුණාරත්නගේ සිරුරේ බාහිර ස්වභාවය අනුව සහ ඔහුගේ බිරිඳගේ ප්‍රකාශය අනුව ඇයගේ ප්‍රකාශය නිවැරදි යැයි පෙනී ගිය ද කරුණාරත්නගේ තුවාලවල කොටස් පටක පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට වෛද්‍ය චන්න පියවර ගත්තේය. ඒ අතරතුර කරුණාරත්න අත්අඩංගුවට පත් වූ දා (මාස 2 කට පෙර) ඔහුව රඳවාගෙන සිටි පොලිස් කණ්ඩායම් තුනම ගෙන්වා විස්තර විමසා සිටීමට වෛද්‍ය චන්න පියවර ගත්තේය. ඔවුන් පැහැදිලි ලෙසම කියා සිටියේ තමන් විසින් කිසිදු පහරදීමක් කරුණාරත්නට සිදු නොකළ බවය. අත්අඩංගුවට පත් අවස්ථාවේ කරුණාරත්න විසින් මහේස්ත්‍රාත්වරයාට ලබා දුන් තොරතුරු අතර ද පහර දීමක් පිළිබඳව සඳහන් නොවිණි.

දින පහකට පමණ පසුව පටක පරීක්ෂණ වාර්තාව වෛද්‍ය චන්න වෙත ලැබිණි. එහි සඳහන් වූයේ මෙම තුවාල මිය යාමට දින 10 කට පෙර දිනකදී සිදු වී ඇති බවය. එනම් ජූඩ් සිටි බන්ධනාගාරය වෙත කරුණාරත්ව ගෙන ඒමෙන් පසුව සිදු වී ඇති බවය. කරුණාරත්න පොලිස් අත්අඩංගුවේ පසු වූයේ මීට මාස 2 කටත් පෙරදීය. කරුණාරත්නගේ මරණයට හේතු වූ තුවාල සිදු වීමට පොලිස් කණ්ඩායම් තුනෙහිම පොලිස් නිළධාරින් සම්බන්ධ නොමැති බවත්, කරුණාරත්නගේ බිරිඳගේ ප්‍රකාශය බොරුවක් බවත් වෛද්‍ය චන්නට පැහැදිලි විය. එම චෝදනාවෙන් පොලිස් නිලධාරින් නිදහස් වූයේ පටක පරීක්ෂණ වාර්තාවෙන් තුවාල සිදු වී ඇති දිනය පිළිබඳව පැහැදිලි වූ නිසාය.