පපුව පසාරු කළ වානේ මුගුර ඉවත් කළ පැය හයක සැත්කම

පපුව පසාරු කළ වානේ මුගුර ඉවත් කළ පැය හයක සැත්කම

අඩි පහක් දිගැති වානේ මුගුරක් කෙනෙකුගේ පපුව පසාරු කරගෙන ගොස් තිබේ නම් එවැනි ඉරණමකට මුහුණ දුන් අවාසනාවන්තයාගේ ජීවිතය ගැන විශ්වාසයක් තැබිය හැකි ද?

එහෙත් 22 හැවිරිදි සුප්‍රකිම් දත්තා එවැනි දරුණු එසේම බලාපොරොත්තු සුන් වු ඉරණමකට මුහුණ දී තවමත් ජීවත් වීමේ වාසනාව හිමිකරගත් අයෙකු යැයි කිවහැක.

සුප්‍රකිම් එදා ඔහු විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ සමාගමේ ඔහුගේ නිල රථයෙන් නිවස බලා ගියේ ඔහුගේ සේවාස්ථානයේ අධිපතියන්ට හා සියලුම සගයන්ට සමුදෙමිනි. එයට හේතුව ඔහුට වෙනත් සමාගමක සේවය කිරීමේ අවස්ථාව උදා වී තිබු නිසාය.

එසේ නවදිල්ලියේ ගුර්ගවොස් ප්‍රදේශයේ සිට නිවාස බලා යන විට ඔහුගේ රථය පැද වූ රියදුරුට නින්ද යාම නිසා වේගයෙන් පැද වූ රථ අසල තිබු මාර්ග බාධකයක ගැටී භයානක අනතුරකට පත්විය. එම මාර්ග බාධකයේ තිබු අඩි පහක් දිගැති අඟල් දෙකක් ඝනකම වානේ මුගුරක් සුප්‍රකම් දත්තාගේ පපුව පසරු කරගෙන ගියේ රථය අධික වේගයෙන් ගමන් කරමින් තිබු නිසාය.වානේ මුගුර රථයේ ඉදිරිපස බොනට්ටුව පසාරු කරගෙන එසේම රථයේ ඩෑෂ් බෝඩ් එකත් සිදුරු කරගෙන ඉදිරිපස අසුනේ සිටි සුප්‍ර‍්‍රකිම්ගේ පපුවද පසාරු කර ගෙන ගොස් තිබිණි.

අනතුරු සිදු වූ ස්ථානයේ සිටි පිරිස් වහාම නව දිල්ලියේ සුප්‍රකට පෞද්ගලික රෝහලක් වූ ඡායි ප්‍රකාශ් නාරායන් මධ්‍යස්ථානයට සුප්‍රකිම් ගෙන යනු ලැබිය.

වානේ මුගුර පපුව පාසුරු කරගෙන ගොස් තිබූ නමුත් සුප්‍රකිම් සිහිසුන් වුයේ නැත. ඔහු වහාම ඔහුගේ මෑනියන් වූ රුබීනා දත්තාට ජංගම දුරකථනයෙන් කථා කොට “අම්මේ මට භායනක අනතුරක් සිදුවෙලා වානේ මුගුරක් මගේ පපුව පලාගෙන ගිහිල්ලා වහාම සුකුමාර්ට (ඔහුගේ ඥාති සොහොයුරු) එන්න කියන්න.” යනුවෙන් පවසා තිබිණි.

සුකුමාර් නිවසේ නොසිටි නිසා ඔහුගේ මව වහාම එතැනට ගියනමුත් ඒ වන විට ඔහු රෝහලට ගෙන ගොස් තිබිණි. සුප්‍රකිම් සිටි අතිශයින් භයනක තත්ත්වය දුටු වෛද්‍යවරු සියලු දෙනාම කිසිවක් අදහා ගත නොහැකි තත්ත්වයකට පත් වී සිටියහ. වහාම ශල්‍ය කර්මයක් සිදු කළ යුතුව තිබූ නමුත් එය කොතැනින් ඇරඹිය යුතු ද යන්න ඔවුනට ද ප්‍රහේළිකාවක් විය.

වානේ මුගර සුප්‍රකමිගේ පපුව පාසාරු කරගෙන තිබු තිබු නමුත් ඔහුගේ හෘදය වස්තුව හා සුසුම්නාවට හානියක් සිදුව තිබුණේ නැත. එහෙත් ඔහුගේ සිරුරේ පපුව ප්‍රදේශයට දැඩි හානි සිදු වී තිබිණි.

“තුවාල සිදු වී තිබු තැන් වලින් රුධිරය ගලා යමින් තිබුණා. වාසනාවට මුගුර නිසා වැදගත් ඉන්ද්‍රියන්ට හානි සිදු වී නැහැ. මොහුට සිදු වූ අනතුර නිසා අපිටත් නොයෙකුත් දේවල් ඉගෙන ගන්න ලැබුනා. ඉතාම සියුම් ලෙස සැත්කම ඉතාම ඉක්මනින් සැලසුම් සහගතව කිරීමට සිදුවුණා. “රෝහලේ ප්‍රධාන වෛද්‍ය මහාචාර්ය බිපාලබ් මිශ්රා පැවසීය.

මුලින්ම ඔවුන් විසින් කරනු ලැබුවේ වානේ මුගුර දෙපැත්තෙන් කපා ඉවත් කිරීමයි. ඉන් පසුව සිරුර මැද තිබු කොටස පැය හයක සැත්කමකින් පසුව අවට පිහිටි ඉන්ද්‍රියන්ට අවම හානියකට භාජනය කරමින් සැත්කම සිදු කරනලදී.

“ඔහුව රැගෙන ආ පිරිස එම මුගුර ඉවත් කිරීමට තැත් කළා නම් ඔහු නියත වශයෙන්ම මරණයට පත්වෙනවා. ඒ අයුරින් සිරුර පාසාරු කරගෙන මුගුරක් යනවිට අවට තිබෙන රුධිර නහර වලට හානි සිදු වී රුධිරය වහනය වෙනවා. ඔහුගේ හදවතට වකුගඩු වලට හා සුසුම්නාවට හානි සිදු නොවී තිබීම වාසනාවක්” යැයි පැවසු මිස්රා වෛදවරයා තවදුරටත් පැවසුවේ මුගුරු සිරුර තුළට ඇතුළු වුවාට පසු හරියට ටයර් එකක ඇණයක් ඇණුනු විට සිදුර සීල් වෙනවා වගේ මුගුර විසින් හානියට පත් රුධිර නාල සීල් කරනු ලැබීම නිසා මඳ වෙලාවකින් සැත්කමට තිබූ බාධාව ඉබේම නැවතුණා” යැයි ද පැවසීය.

පැය හයක ශල්‍ය කර්මයක් අනතුරුව සුප්‍රකිම් දත්තාට නැවත වරක් ජිවත් වීමේ වාසනාව මෙම විශේෂඥ වෛද්‍යවරුන් විසින් ලබාදෙනු ලැබීය.

“මගේ පුතාට ජීවත්වීමට තවත් අවස්ථාවක් ලැබුණා. දෙවියන්ට මෙන්ම දෙවියන් බඳු මේ වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙනවා.” යැයි පැවසු සුප්‍රකිමිගේ පියා “මේ වගේ වේදනාවක් දරාගෙන සිටින්න හැකිවීම ගැන මගේ පුතා ගැන ආඩම්බර වෙනවා.” යැයි ද පැවසීය.