ලිංගාශි‍්‍රත රෝග සායනයෙන් ඇසෙන කතාවක්

ලිංගාශි‍්‍රත රෝග සායනයෙන් ඇසෙන කතාවක්

මසාජ් ක්ලිනික් එකේ වැඩට ගිහින් ලිංගාශ්‍රිත රෝග හදාගෙන

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

බිඳුණු හදවතයි, හිඳුණු සාක්කුවයි කෙනෙකුට ජීවිතේ කිසිදා නොලැබුණු පාඩම් කියාදෙනාවා. ඒ නිසාම තමයි කෙනෙක් එක් වරක් ඉගෙන ගන්න ඒ පාඩම් තමන්ගේ ඉදිරි ජීවිත කාලය පුරාවටම කවදාවත් අමතක නොකරන්නේ.

කොහොම වුණත් ජීවිතය කියන්නේ අදටත් තේරුම් ගන්න අමාරුම තේමාවක්. සැප, දුක, ආදරය, විරහව, දුක්, කඳුළු විතරක්ම නොවෙයි, සතුට අතරින් ද එය ගලායන අපුරුව විශ්මය ජනකයි. එවන් ජීවිතයේ අසරණකම, අහිංසක බව වගේ දේවල් ඉතාම ඉක්මනින් කෙනෙකුට හිමිකරගෙන විනාශ කර දමන්නට පුළුවන් දේවල් බවට පත්වෙලා. මේ කතාවේ අසරණ මල්කිගේ ජීවිතේටත් උරුම වුණේ ඒ විදිහේ ඉරණමක්.

සීතලම සීතල නුවරඑළියේ කුඩා ගම්මානයක උපත ලැබු මල්කි කියන්නේ අහිංසකකම උපතින්ම උරුම කරගත්ත කෙනෙක්. ඒත් අහිංසකකම විතරක් නෙවෙයි මල්කි ඉපදීලා වැඩි කාලයක් ගත වෙන්න කලින් මල්කිගේ තාත්තා මේ ලෝකෙන් සඳහාටම යන්න ගියේ අසරණකමත් අම්මත් මල්කි ළඟත් ඉතිරි කරලා. එදා ඉඳලා අහිංසක අසරණ මල්කිගේ අම්මා තමන්ගේ දරුවත් එක්ක ජීවිතේ ගැට ගහාගන්න නොයෙක් විදිහේ රස්සාවල් කළා. එළවළු, පලතුරු විතරක් නෙවෙයි මල් වගේ දේවල් පාර අයිනේ තියාගෙන විකුණලා ජීවිතේ ගොඩනගා ගන්න තරම් මල්කි ගේ අම්මා ධෛර්යවන්ත වුණා. කාලය ගත වෙලා පින්නට පිපෙන රෝස කැකුළක් වගේ දවසින් සවස මල්කි උස්මහත් වුණා. තාත්තත් නැතිව අම්මා එයාව ජීවත් කරවන්න වෙන මහන්සිය දැක්කාම මල්කිගේ අහිංසක හදවත හොඳටම රිදුණා. ඒ නිසාම තමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්නෙත් නැතුව පාර අයිනේ මල් විකුණන අම්මාගේ උදවුවට ගියේ.

කාලය ටිකෙන් ටික ගතවෙලා ගියත් මල්කිලාගේ ජීවිත වල නම් කියන්න තරම් වෙනසක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. මල්කි මේ වෙනකොට උසස් පෙළ විභාගෙටත් මුහුණ දීලා විශ්ව විද්‍යාලයට තේරිලා හිටියත් ඉගෙනීමට වියදම් කරන්න තියා එදා වේල කන්නවත් අම්මට සල්ලි හොයා ගන්න තිබුණු අමාරුව නිසා තමන්ගේ ඉගෙනීම එයා අත්හැරලා දැම්මා. මල්කිට වුවමණා වුණේ කොහොමහරි රස්සාවක් හොයාගන්න. දන්න කියන හැමකෙනෙක්ගෙන්ම අහලා බැලුවත් තමන්ගේ ඉගෙනීමට ගැලපෙන රස්සාවක් හොයාගන්න මල්කිට පුළුවන් වුණේ නැහැ. කොහොම වුණත් රස්සාවක් කරන්නට වුවමනා වුණු නිසා මල්කි දවසක් පත්තරේ තිබුණු දැන්වීමකට නගරයට එන්නේ රස්සාවක් හොයාගෙන. එයා නගරේට යනවට අම්මා ඒතරම් කැමති නොවුණු නිසා එයා අම්මට නොකියා තවත් යාළුවෙක් එක්ක නගරයට ගියා.

මල්කිලා රස්සාවට ගිය තැන මසාජ් සෙන්ටර් එකක්. ඒ බව දැනගත්ත වෙලාවේ මල්කි තරමක් රස්සාවකට බය වුණත් සල්ලි නැතිව අම්මා ජීවත්වෙන්න විඳින දුක ගැන හිතපු නිසා ආපස්සට හැරෙන්න එයාට වුවමණා වුණේ නැහැ. කොහොම වුණත් මල්කි එතැන වැඩ කරන්න තමන්ගේ හිත දැඩිව ශක්තිමත් කරගත්තා.

මල්කිලට එතැනම නවතින්නත් ලැබුණු නිසා රස්සාව ගැන ඒ තරම් කරදර වෙන්නට වුවමනා වුණේ නැහැ. කාලය ගතවෙලා මේ රස්සාවට මල්කිත් එයාගේ යාළුවත් හොඳට හුරු වුණා. ඒත් මසාජ් සෙන්ටර් එකේ අයිතිකාර මහත්තයා තරමක් සැර පරුෂ කෙනෙක්. මල්කිලට මාසාජ් සෙන්ටර් එකේ වැඩ කරන අතරේදී කස්ටමර්ස්ලා එක්ක කථා කරන්න තහනම් කරලයි තිබුණේ. ඒත් මල්කිට ඒ නීතියට තවදුරටත් යටත් වෙන්න පුළුවන් නොවුණේ හේමන්තව මුණ ගැහුණට පස්සේ. හේමන්ත නිතරම මල්කිලාගේ පාලර් එකට යන එන කෙනෙක්. බොහොම ප්‍රියමනාප පෙනුමක් තිබුණු හේමන්ත හැමවෙලාවකම වගේ උත්සාහ කළේ මල්කිව මුණ ගැහෙන්න. ඒත් හේමන්ත මල්කි ගැන විශේෂයක් දැක්වුවත් මල්කි ඒ ගැන ඒතරම් ගණන් ගත්තේ නැහැ. හේමන්ත හැම වෙලාවෙම මල්කි එක්ක කථා කරන්න උත්සාහ කළත් ලොක්කා කථා කරන්න තහනම් කරලා තිබුණ නිසා මල්කි කථා කරන්න බය වුණා. ඒත් ටික කාලෙකින් මල්කි හේමන්තගේ හොඳ යාළුවෙක් වුණා.

“මල්කි ගමේ ගත කළ අසරණ ජීවිතේ ගැන, තමන්ගේ අම්මා ගැන, මේ හැමදේම හේමන්නට කියන්න පෙළඹුණේ හේමන්ත හොඳ කෙනෙක් කියලා පස්සේ පස්සේ මල්කි තේරුම් ගත්ත නිසා.

මුලින් මුලින් හොර රහසේ මසාජ් සෙන්ටර් එකට පමණක් සීමා වුණු මේ දෙන්නාගේ කථා බහ ටිකින් ටික පාර්ක් එකේ දී, බස් හෝල්ට් වගේ විවිධ තැන්වලට සේන්දු වුණා. ජීවිතේ කවදාවත් නොලැබුණු අවධානයට, කරුණාවන්තකමට මල්කි හේමන්ත ගැන පුදුම විදිහේ පැහැදීමකින් හිටියේ. ඒ නිසාම වැඩි කාලයක් ගත වෙන්න කලින් මල්කි හේමන්තගේ පෙම්වතිය බවට පත් වුණා. එයා තමන්ටත් වඩා හේමන්තව විශ්වාස කළා. ඒ නිසාම තමයි මල්කි තමන්ගේ ජීවිතේ හැමදෙයක්ම හේමන්ත වෙනුවෙන් කැප කළේ. ඒත් මේ කිසිදෙයක් මල්කිගේ අහිංසක අම්මා දැනගෙන හිටියේ නැහැ. අසරණ මල්කි සමහර දවස් හේමන්ත එක්ක එකටම ගත කළේ තමන්ගේ රස්සාව ගැනවත් හිතන්නේ නැතිව. වැඩි කාලයක් ගත වෙන්න කලින් මල්කිට ඇති වුණු හදිසි අසනීප ගතිය නිසා එයා ඩොක්ටර් කෙනෙක් මුණ ගැහෙන්න ගියා. ඒ වෙලාවේ අහපු දේ නිසා මල්කිට තමන්ගේ ජීවිතේ ගැන ඇති වුණේ තරමක තැති ගැනීමක්.

“හේමන්ත ... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඔයා දන්නවද මම අම්මා කෙනෙක් වෙන්න යනවා. අපි දැන් ඉක්මනට කසාද බඳිමු. නැතුව මම කොහොමද මගේ අම්මට මුහුණ දෙන්නේ.”

මේ ආරංචිය නිසා හේමන්තගේ හැසිරීම මුළු මනින්ම වෙනස් වුණා. වෙනදාට කිහිප වතාවක් තමාට කථා කරන හේමන්ත මල්කිව අමතකම වෙන තරමට එයාගෙන් දුරස් වුණා. හේමන්ත මල්කිව බලන්න ආව දවසට එයා හේමන්තගේ පය පාමුල වැටිලා ඇඩුවා.

“මල්කි අපිට දැන්ම මැරි කරන්න බැහැ. අපි ඔය දරුවා නැති කරමු.” නැතිනම් මම ඔයාව අතහරිනවා.”

මේ කථාව නිසා මල්කිව තව තවත් අසරණ වුණා. එක් පැත්තකින් තමන්ගේ රස්සාව, අනිත් පැත්තෙන් හේමන්ත, මේ හැම පැත්තෙන්ම මල්කි අසරණයි. කොහොම වුණත් අන්තිමේදී මල්කි දරුවව නැති කරන්න තීරණය කළේ හේමන්තගේ බලකිරීම ගැන හිතලා මිසක් දරුවට ආදරේ නැතිව නෙවෙයි.

දරුවා නැති කළාට පස්සේ හේමන්ත ආයේ කවදාවත් මල්කිව බලන්නවත් ආවේ නැහැ. දන්න කියන හැම තැනම ගිහිල්ලා මල්කි එයාව හෙව්වත් හේමන්ත ගැන මොනවත් තොරතුරක් දැන ගන්න ලැබුණේ නැහැ. ඒ වෙන කොට මල්කිට තමන්ගේ රස්සාවත් නැතිවෙලා. අසරණ මල්කිගේ අසරණ ජීවිතේ තව තවත් අමාරුවේ වැටෙන්නේ හදිසියේ ඇති වුණ අසනීප තත්ත්වයකුත් එක්ක. මල්කිට ලිංගාශි‍්‍රත ප්‍රදේශවල විවිධ අසාමාන්‍යතා ඇති වුණා. මේ හින්දාම ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ සායනයකට ගිය මල්කි ඒ බව පරීක්ෂා කළ වෙලාවේ එයාට ලිංගික ඉන්නන් නැමති රෝග තත්ත්වය ඇති බවට තහවුරු කරගන්න පුළුවන් වුණා.

ගමේ, තමා ගත කළ ජීවිතේට සමුදීලා නගරයට ආවේ දහසක් බලාපොරොත්තු දෝත දරාගෙන වුණත් ඒ වෙනකොට අසරණ මල්කිට අත්වුණු ඉරණම සමාජයේ ඉන්න හැම කෙනෙකුටම ඉතා හොඳ ආදර්ශයක්.