සන්ධි ආශි‍්‍රත රෝගීන්ට ජල චිකිත්සාවෙන් ප්‍රතිලාභ රැසක්

සන්ධි ආශි‍්‍රත රෝගීන්ට ජල චිකිත්සාවෙන් ප්‍රතිලාභ රැසක්

රිඡ්වේ ළමා රෝහලේ භෞතචිකිත්සකවේදී

ශ්‍රී ලංකා භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති

ආචාර්ය ජාලිය උඩුවැල්ල

ජලය වනාහි මිනිසාගේ ජීවිතයේ පැවැත්මෙහිලා අත්‍යවශයම සාධකයකි. ආහාර නොමැතිව දින දෙක තුනක් ජීවත් වුවද ජලය නොමැතිව අපට එක් දිනක් වත් ජීවත් විය නොහැකි වන්නේ යම්හෙයකින් ජලය නොමැතිව විජලනය ඇති වී අපට ජීවිතයෙන් පවා සමුදෙන්නට සිදුවන බැවිනි. එබැවින් මිනිස් ජීවිතයට ජලය කොතරම් බද්ධ වී ඇත්ද යන්නට මෙය හොඳම නිදසුනක් වනු ඇත. පානයට, ආහාර පිළියෙල කිරීමට, ස්නානයට, පිරිසිදු කිරීමට යන ආදී මෙකී නොකී සියලුම දේට ජලය අත්‍යවශ්‍යය. කොටින්ම පැවසුවොත් මිනිස් ජීවිතයේ පැවැත්ම රඳා පවතින ජලය මිල කළ නොහැක්කකි.

බොහෝ දෙනා නොදැන ගෙන සිටිය ද ජලය යනු භෞතචිකිත්සාවේ වැදගත් ප්‍රතිකාර ප්‍රභේදයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක වෙසෙන අප වැනි අයට සන්ධි ආශි‍්‍රත රෝග මඟහරවා ගැනීමට ඉතා සුදුසුම ප්‍රතිකාර ක්‍රමයක් වූ ජල චිකිත්සාවෙන් අද නොමිලේ ප්‍රතිකාර ලබන්නේ කීයෙන් කී දෙනාද?

ශ්‍රී ලංකාව වැනි මුහුදෙන් වටවී ඇති රටක සන්ධි ආශි‍්‍රත රෝගවලට ජලයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයන් අද භෞතචිකිත්සකවේදයෙන් හඳුන්වා දී ඇත. එබැවින් ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබන්නට මේ රෝගීන්ට හැකියාවක් ඇත.

ජල චිකිත්සක ප්‍රතිකාර කළ යුත්තේ සුදුසුකම් ඇති භෞතචිකිත්සකවේදියෙකුගේ උපදෙස් මතය. නිසි ආකාරව මෙම ප්‍රතිකාර ක්‍රමය සිදු කිරීමෙන් සුවය ලබා ගැනීමට බොහෝ දුරට හැකියාවක් ඇත.

විශේෂයෙන්ම සඳහන් කළයුතු දෙයක් වන්නේ ජලයත් සමඟ ක්‍රීඩා කිරීමේදී මිනිසාගේ ආතතිය පහත හෙලන බවයි. ජල චිකිත්සාවේ මූලික සිද්ධාන්තය යනු ජලයේ ඇති උඩුකුරු තෙරපුමයි.

ස්නායු ආබාධ නිසා දෙපා පණ නැති අයට ජල තටාකයක් තුළ ජලයේ උඩුකුරු තෙරපුම නිසා ගුරුත්වාකර්ශනයට එරෙහිව දෙපා එසවිය හැකි බැවින් පහසුවෙන් ඇවිදීමට පුළුවන.

සාමාන්‍යයෙන් ජල චිකිත්සාව සඳහා යොදා ගන්නා ජල තටාකයේ වතුර ගලන දිශාව විවිධ කෝණ ඔස්සේ වෙනස් කළ හැක. වතුර පහර රෝගියාට වදින දිශාව මෙන්ම වේගය අඩු වැඩි කිරීමට ඒ තුළ උපකරණ ඇත. මෙමඟින් දෙපා පණ නැති රෝගියාට දෙපා චලනය කිරීමට අවශ්‍ය ජවය ජලය මඟින් ලබා දේ. මෙම ව්‍යායාම ක්‍රමය සක්‍රීය උදවු ව්‍යායාම ලෙස හඳුන්වයි. (Active assisted exercises) තවද රෝගියාගේ චලනයට විරුද්ධව ජල පහර එවීමෙන් රෝගියා එයට එරෙහිව එම චලනය කිරිම නිසා අදාළ පේශි ශක්තිමත් වේ. (Resisted exercises)

සාමාන්‍යයෙන් ජල චිකිත්සක ප්‍රතිකාර ලබාදීමට ප්‍රථම භෞතචිකිත්සකවරුන් විසින් රෝගියා පරීක්ෂාවට ලක් කර රෝගියාගේ පේශි වර්ගීකරණයක් කරනු ලබයි. එම වර්ගීකරණයට අනුව 2 වන ශ්‍රේණියට පේශිය පැමිණ ඇතිනම් පමණක් ජල චිකිත්සක ප්‍රතිකාරවලට යොමු කරනු ලබයි.

ආඝාතයට ලක් වූ රෝගීන් ජල චිකිත්සාව කිරීම සඳහා භෞතචිකිත්සකවරයාගේ උපදෙස් මත ආරක්ෂාව සහිතව රෝගියෙකුට ගංගාවක, මුහුදකදී ප්‍රතිකාර සිදු කළ හැකිය.

උදාහරණයක් ලෙස කලවයේ ඇති පේශිය වන කොඩ්රිසෙෆ් (Quadricep) ශක්තිමත් කිරීමට මුහුදු වෙරළට ගොස් මුහුද දෙසට මුහුණලා ගොඩට එන රැල්ල කකුලට ස්පර්ශ වන විට එයට විරුද්ධව දණ හිසෙන් කකුල දිග හැරිය යුතුය. රැල්ලේ වේගය හා ජල පහරේ ඝනත්වයට එරෙහිව කකුල දිග හැරීමෙන් කොඩ්රිසෙෆ් පේශිය ශක්තිමත් වේ.

එමෙන්ම සක්‍රීය උදව් ව්‍යායාමයක් කිරීමට නම්, රෝගියාට දණහිසෙන් කකුල දිග හැරීමට තනිවම නොහැකි නම් මුහුදු වෙරලේ මුහුදට පිටුපා සිට ගෙන මුහුදු රැල්ල එනවිට එයත් සමඟ දණහිස දිග හැරීමෙන් එය පහසුවෙන් කළ හැක. එවිට ටික දිනකින් පේශිය ශක්තිමත් වේ.

විකලාංග රෝග අවස්ථාවකදී කිහිලිකරු භාවිතා කරමින් සිටිය ද ජල චිකිත්සක ප්‍රතිකාර ලබා ගත හැක. ජල තටාකයේ සිටින විට රෝගියාට කිහිල ප්‍රදේශය දක්වා ජලය පිරවූ විට රෝගියා දෙපාවලින් සිටගෙන සිටියද රෝගියාගේ බරින් 90%ක් රෝගියාට නොදැනෙන බැවින් ඔහුට ජලයේ සිටගෙන සිටිය හැක.