දිව ඔසුවකි මී පැණි

දිව ඔසුවකි මී පැණි

මී මැස්සන් විසින් නිපදවනු ලබන මී පැණි අමෘතයක් සේ සැලැකේ. අමෘතය යනු සුරාසුර යුද්ධයේදී කිරිමුහුදන් මතු වූ දෙයකැයි කියති. මේ අමෘතය බී විට අජර අමර වෙතැයි සලකනු ලැබීය. එනම් ජරාවට හෙවත් මහලු බවට නොපැමිaණි නොමැරී ජීවත් වෙතැයි සැලකීය. නොමැරී ජීවත් වෙතැයි යනු අතිශයෝක්තියක් වුවත් එයින් අදහස් කර ඇත්තේ බොහෝ කල් නිරෝගීව ජීවත් විය හැකි බවය.

ඇතැමුන්ගේ මතය අනුව මී පැණි ශීත ගුණයෙන් යුක්තයි. ලඝුයි. එනම්, සැහැල්ලුයි. එයින් පැවැසෙනුයේ පහසුවෙන් දිරවා ශරීරයට ඉක්මණින් ගුණ දෙන බවයි. මිහිරි රසයි. රූක්ෂයි හෙවත් සෙම් නොවඩා සෙම කපා හරියි. මල බුරුල්ව යන විට මී පැණි බීමෙන් රෝගී තත්ත්වයක් සේ මල බුරුල් වී යාම අත්හිටී. ශරීරයේ පමණට වඩා ඇති සෙම, තෙල් කොටස් අඩු කරයි. ඇස්වලට හිතයි.

ගායකයන්ට ගුණයි

ඒ නිසා විවිධ ඇස් රෝගවලට අභ්‍යන්තරව මෙන්ම බාහිරව ද යෙදිය හැකියි. දීපනීය ගුණ යුක්තයි. එනම් මන්දාග්නිය නැති කර හොඳ නිරෝගී බඩගින්නක් උපදවයි. ස්වර්යයි. එනම් කටහඬ යහපත් කරයි. සෙම අඩු කරන නිසා ස්වරය හෙවත් කටහඬ යහපත් කරයි. මේ අනුව ගායකයන්ට දිනපතා මී පැණි බීමෙන් ස්වරය යහපත් කරගත හැකියි.

තුවාල සුව කරයි

තුවාල පිරිසුදු කරයි. රෝපණය කරයි. එනම් කල් ගත වූ හෝ වණ තුවාල ඇති අයට අභ්‍යන්තර වශයෙන් යෙදීමෙන් හෙවත් මී පැණි බොන්නට දීමෙන් රෝගයට ඔරොත්තු දීමේ ශක්තිය ලැබෙන අතර බාහිර වශයෙන් යෙදීමෙන් වණ තුවාල සුවකර ගත හැකියි.

බුදුහාමුදුරුවන් වැඩ සිටි යුගයේ යම් යම් වණ තුවාලවලින් පෙළුණ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස මී පැණි පිඬු සිඟා ගම්වලට වැඩි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

එනම් ශරීරය කාන්තිමත් කරයි. තද අව්වේ සිටීමෙන් සම විවර්ණ වූ විට හෝ තද ශීතල නිසා හමේ ඉරිතැලීම්, පිපිරීම් වැනි පීඩා ඇතිවිට හෝ මී පැණි බීමෙන් මෙන්ම ශරීරයේ ආලේප කිරීමෙන් ද ශරීර ශක්තිය ලබාගත හැකිය. මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් තිබේ. එනම් ශරීර කාන්තිය බලාපොරොත්තුවෙන් දිනක් දෙකක් පමණක් මී පැණි බීමෙන් හෝ මී පැණි ගෑමෙන් හෝ ගුණ ගත නොහැකියි. සමේ කාන්තිය බලාපොරොත්තු වන්නේ නම් සෑහෙන කලක් දිනපතා ම මී පැණි ස්වල්ප වශයෙන් හෝ ගත යුතුයි.

සමේ කාන්තියට

තරුණ විය ඉක්මවා මැදිවිය ගත කරන විට බොහෝ අයගේ හමේ කාන්තිය හීන වන්නට පටන් ගනී. තරුණ කාලයේ තුබූ සමේ කාන්තිය සියයට සියයක්ම තරුණ ස්වභාවයෙන්ම නොරැකුණත් දිනපතා මී පැණි බොන්නේ නම් එසේම නෑමට පෙර මී පැණි ටිකක් සමේ අතුල්ලන්නේ නම් සම නිරෝගීමත් වේ.

මී පැණිවල පවත්නා විවිධ ඛනිජ පදාර්ථවල ගුණය නිසා සහ ඒවායේ පවත්නා ජිව ධාතු වර්ග ශරීරයේ රෝම කූප මඟින් හමට උරා ගැනීමෙන් සම කාන්තිමත් වේ. තවද මී පැණි හොඳ විෂබීජ නාශක බේතකි. රෝම කූප ඇසුරු කරන සියලුම නල මාර්ගයෙන් සමට ඇතුළු විය හැකි ජීවාණුන් මී පැණි ආලේපයෙන් විනාශ වේ. ඒ අනුව සමේකුෂ්ඨ කැසීම් වැනි පීඩා සුව වේ.

ඇස් පෙනීම කන් ඇසීමට හොඳයි

ඒ අනුව ඇසේ පෙනීම, කනේ ඇසීම යහපත් වේ. නාසයේ අවහිරතා දුරු වේ. කටහඬ යහපත් වේ. මෙපමණක් නොව මුත්‍රා පෙරීමේ හැකියාව ද, මල පිටවීමේ ක්‍රියාව ද පහසු වේ. කාන්තාවනට බොහෝවිට ඇතිවන ඔසප් ශූල පීඩාවට ද මී පැණි හොඳ බේතකි. මී පැණිවල මිහිරි රසය හා බැඳී පවත්නා කසට රසය අධික මධුරත්වය නිසා ඇතැම්විට උපදින අපි‍්‍රයතාවය දුරු කර හිතට පි‍්‍රය උපදවයි.

මොළයට ගුණයි

මී පැණි මොළයට ඉතා හොඳ බේතකි. ඒ නිසා බුද්ධිය දියුණු කරයි. ස්මරණ ශක්තිය වඩයි. ඉගෙන ගත් දේ අවශ්‍ය විටෙක ඉස්මත් කර ගැනීමට හැකි ශක්තිය ස්මරණ ශක්තිය නම් වේ. මොළයේ පවත්නා සෛල කොටස් දිරා යාමට නොසල්වා නීරෝගීව තබා ගැනීමෙන් ස්මරණ ශක්තිය දියුණු වේ.

ධාරණ ශක්තිය දියුණු වේ

මේ නිසා පාසල් යන යුගයේ සිටම දිනපතා මී පැණි තේ හැන්දක් බැගින් ගන්නේ නම් ඉගෙනීමේ ශක්තිය දියුණු වෙව්. විභාගවලට පාඩම් කරන අය මී පැණි ස්වල්පය බැගින් දිනපතා ගන්නේ නම් ශරීර ශක්තිය ආරක්ෂා වන අතර මහන්සිය ද නොදැනේ. වැඩි වැඩියෙන් පාඩම් කිරීමේ රුචියත්, ශක්තියත් ඇති වේ.

කාම ශක්තිය වැඩි වේ

මී පැණිවල පවත්නා ඉතා වටිනා ගුණයක් නම් වෘෂ්‍ය ගුණයයි. එනම් කාම ශක්තිය වැඩීමයි. දිනපතා මී පැණි ස්වල්පය බැගින් ගන්නේ නම් ශරීර ශක්තිය වැඩිමයි. දිනපතා මී පැණි ස්වලපය බැගිනන් ගන්නේ නම් ශරීර ශක්තිය වඩන ගමන් කාම ශක්තිය වඩමින් එහි බලය දියුණු කරන තත්ත්වය ද ඇති කරයි.

හෘදය වස්තුව දුබල කරන ඇතැම් රෝගවලදී රෝගියා අවසන් හුස්ම හෙලන්නට සූදානම් වනවිට පවා මී පැණි ස්වල්පයක් ගා පෙවීමෙන් හෘදය වස්තුව පණ ගැන්වී රෝගියා ජීවත් වන අවස්ථා අප කොතෙකුත් දැක තිබේ. තනිකර මී පැණි වුවද මෙබඳු අවස්ථාවල දී යෙදිය හැකිය. ක්ෂණික ගුණය ගන්නට නම් මකරධ්වජය සමඟ දිය යුතුයි.